2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා

නිදන් වදුලට බෙල්ල තියා හිරේ යන්නෝ

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:04 121

මම කලකට පෙර අලංකාර වටපිටාවක පිහිටි කඩුගන්නාව මාවෙල ලෙන් විහාරයට ගියෙමි. එහි ලෙන් කිහිපයක් ඇති අතර එක් ලෙනක දාගැබ ද තවත් ලෙනක සැතපෙන පිළිමය සහිත විහාර මන්දිරයද පිහිටා තිබේ. මෙහි දාගැබ සහිත ලෙනට ඇතුළුවන විටම දැකගත හැක්කේ බිත්තියේ සහ දොරටුවේ සවිකළ දැන්වීම්ය. එහි සඳහන්ව තිබෙන්නේ මෙම දාගැබ මෙයට පෙර හයවරක් නිදන් හොරුන් විසින් හාරා ඇති බවත් ඉන් පසුව ප්‍රතිසංස්කරණයට ලක්කළ බවත් නැවත හාරා ගැනීමට කිසිවක් නැති බවත්ය.

“ඇයි හාමුදුරුවනේ අර වගේ බෝඩ් එකක් ගැහුවේ?” මම නායක හිමියන්ගෙන් ඇසුවෙමි.

“ඕක දැකලාවත් හොරු ආයෙත් මේක හාරන්නෙ නැතිව ඉඳීවිනේ... ” උන්වහන්සේ පිළිතුරු දුන්හ.

නිදන් මිත්‍යාව නිසා අප රටේ පුරාවස්තු වැනසී යාම නිරන්තරයෙන් සිදුවේ.

මෑතකදී යළිත් නිදන් කතාවක් කරළියට පැමිණියේ වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඇති බව කියන නිධානය සොයා අධිකරණ නියෝගයකට අනුව පුරා දින 3ක් සිදුකළ කැණීම් නිසාය. එම කැණීම් පසුගිය 24 දා නිම කෙරුණද හමුවුණු නිධානයක් නම් නැත. රාජ්‍ය ආයතන රැසක් එක්ව සිදුකළ එම කටයුත්තේදී කිසිදු නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කිසිවක් හමුවී නොමැත.

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශය හරහා ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයට නුදුරින්  පොළෝ ගැබ තුළ නිධානයක් ඇතැයි පැතිරෙන කටකතා නිසා පසුගිය කාලයේ විවිධ පුද්ගලයන් නීතිවිරෝධීව මෙහි කැණීම් කටයුතු සිදුකර තිබුණි. අවස්ථා රැසකදී පොලිස් අත්අඩංගුවට ගැනුණු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණත් නැවත නැවතත් එම ස්ථානයේ නිධානය සොයා හෑරීම් සිදුවීම හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාදම කොටසට අවදානම් තත්ත්වයක් මතුවී තිබුණි. ඒ බව වේයන්ගොඩ පොලීසිය, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එම ස්ථානයේ යම්කිසිවක් තිබේදැයි පොලිස් විශේෂ කාර්ය බළකායට සොයා බලන ලෙසය. අවසානයේ එම නිධන් මිත්‍යාව නිසා ආණ්ඩුවට එය හෑරීමට විශාල වියදමක් දැරීමට සිදුවිය.

නිදන් ගැන තොරතුරු ඇතුළත් වන බවට සැලකෙන නිදන් වදුලු‍ ගැනත් පහසුවෙන් ධනවත් වීමට ආසා කරන පුද්ගලයෝ උනන්දු වෙති. නිදන් වදුලු‍වල PDF පිටපත් අන්තර්ජාලය හරහා ඉහළ මිලකට බහුලව අලෙවි වන බව ඒ ගැන නිරීක්ෂණය කරන විට පෙනුණි. මම නම් දන්නා තරමින් නිදන් වදුලු‍වලින් පොළොව හාරා ගත් නිධානයක් නැත.  

වදුලු‍ පොත් ලියවුණේ පුස්කොළ පොත්වලය. පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලය, ජාතික ලේඛනාගාරය, ජාතික කෞතුකාගාර පුස්තකාලය සහ පැරණි පුස්කොළ පොත් සහිත විහාරවලද මේ පොත් කිහිපයක් තිබේ. පෞද්ගලික පුද්ගලයන් සතුව ද මේ පොත් ඇත. ඒවා කියවා එහි දැක්වෙන සලකුණු අනුව ගල් පුපුරවා, පොළොව හාරා නිදන් සෙවීමට සමහරු පෙළඹෙති. නිදන් කෙසේ වෙතත් ඒ උත්සාහ කළ බොහෝ දෙනකු අදටත් බන්ධනාගාරවල සැප විඳිති. මේ ගැන විමසීමට අප කතා කළේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පුරා විද්‍යාඥ ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහටයි:

“1991 අවුරුද්දේ කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලේදී අපූරු සිදුවීමක් වුණා.  නිදන් පිළිබඳ තොරතුරු ඇතුළත් ‘නිදන් වදුල’ නම් වූ පුස්කොළ පොත්වල පිටපත් කිහිපයක්  ජාතික කෞතුකගාරයේ තිබෙනවා. මෙම පුස්කොළ පොත් අධ්‍යයන කටයුතු සඳහා ඕනෑම අයකුට කෞතුකාගාරය තුළදී පරිශීලනය කොට නැවත භාරදීමේ වැඩපිළිවෙළක් එකල පැවතුණා.

වරක් එලෙස කෞතුකාගාරයට පැමිණි අයකු මෙම නිදන් වදුල පුස්කොළ පොත ලබාගෙන කියවන මුවාවෙන් එහි පිටු හොරෙන් කපාගන්න බව කෞතුකාගාරය සේවකයකුට දකින්න ලැබුණා. ප්‍රශ්න කිරීම්වලදී ඔහු පැවසුවේ පුස්කොළ පොතෙහි පිටු කපා රැගෙන ගොස් ඒවායේ ඇති තොරතුරු සොයාගෙන නිදන් ගොඩගැනීම අරමුණ වූ බවයි. මේක තනිකරම මිත්‍යාවක් කියලයි මම නම් කියන්නේ.”
නිදන් වදුල ගැන කෙතරම් ලිපි ලිව්වත් ඒ ගැන උනන්දුවෙන් සිටින පුද්ගලයන් විශ්වාස කරන්නේ වදුලු‍වලින් නිදන් ගැනීමට හැකි බවයි. ඒ සම්බන්ධයෙන් බොහෝ අය දරන මිත්‍යා මතය නම් පුරාණ රජවරුන් විසින් තමන් සතු රන්, රිදී, මුතු මැණික් ආදී වස්තූන් සඟවා තිබෙන තැන් පිළිබඳව සලකුණු කියන ඉපැරණි ලියවිල්ලක්ය යන්නයි.
පුරාණයේ වදුලු‍ වර්ග කිහිපයක්ම ලියැවී තිබුණි. ඉන් පළමුවැන්න බෙහෙත් වදුලයි. නොයෙකුත් වෙද පරම්පරා විසින් තම ප්‍රතිකාර ක්‍රම ආරක්ෂා කර ගැනීම සඳහා ද ඖෂධ නාම බහුලත්වය සරල කොට තේරුම් ගැනීම සඳහාද බෙහෙත් වදුල රචනා කොට තිබේ. දෙවැන්න වැව් වදුලයි. එහි සඳහන් වන්නේ පුරාණ වැව් පැවති ස්ථාන ගැන විස්තරයි. එහි නාමය වශයෙන් දක්වා තිබුණු “ජල බින්දු, ජල ප්‍රමාණ, ජල දීපිකා” යනුවෙන් ද මේ පුස්කොළ පොත් හැඳින්වේ. වදුලු‍ ශාස්ත්‍රයේ ඊළඟට තිබෙන්නේ ධාතු වදුලයි. සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කළ ස්ථාන ගැන තොරතුරු මෙහි අඩංගුය. වදුලු‍ සාහිත්‍යයේ තවත් අංගයක් නම්  චෛත්‍ය වදුලයි. ලොකු කුඩා සෑම ථූපයකම ධාතු ගර්භයේ තැන්පත් කරන වස්තු, රන් කරඬු, බුදුපිළිම ආදිය ගැන විස්තර මේවායේ අඩංගු වේ. ඉන් පසු තිබෙන්නේ අද බහුලව කතාබහට ලක්වී ඇති නිදන් වදුලයි. විවිධ පුද්ගලයන් ලියූ මේවා කිසිම සත්‍යතාවයකින් තොර බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද නිතර සඳහන් කරයි.  

අද අද්භූත නවකතාවක් කියවා ලබන රසයට අමතර රසයයක් මේවායෙන් ලද නොහැකිය. මෙලෙසම පුරාණයේ රත්රන් නිපදවා ගැනීමට හැකි බව සඳහන් කරන පුස්කොළ පොත් ද තිබුණි. මාර්ටින් වික්‍රමසිංහ ලියූ විරාගයේ අරවින්ද එවැනි අද්භුත දේවල් කිරීමට ගොස් පොට වරද්දාගත් චරිතයකි.  

නිදන් වදුල යනු පැරණි සාහිත්‍යයේ එන එක්තරා සාහිත්‍යංගයක් පමණි. මේ ගැන තවදුරටත් සඳහන් කළ ආචාර්ය ලක්දුසිංහ:

“මේවා එකම කෘතියක් නොවේ. විවිධ විෂමතා සහිත කෘතීන් බොහෝ ගණනක් හමුවෙනවා. විවිධ අය පුරාණයේ ලියපුවා. මෙම අසම්භාව්‍ය සාහිත්‍යංගය බිහිවී ඇත්තේ අපේ චිරාගත සම්භාව්‍ය සාහිත්‍යය පිරිහී ගිය දාහත්වැනි සහ දහඅටවැනි සියවස්වලදීයි. මෙම වකවානුවේ යම් තරමකට හෝ සාක්ෂරතාවයක් සහිත පුද්ගලයන් තම තමන්ගේ අද්භූතවාදී සංකල්පනා මත පිහිටා මෙම කෘති ප්‍රබන්ධ කර බෙදාහැර තිබෙනවා. එසේ කිරීමට ඔවුන් පෙළඹී ඇත්තේ එකල නින්දගම් හිමි ප්‍රභූන්ට විශාල වස්තු කන්දරාවක් ඇති බව පෙන්වා වාසි ලබා ගැනීමට බව කිව හැකියි.”

පුරාණ ග්‍රන්ථ අලංකාර කිරීම සඳහා ද නිදන් පවතින බවට කතා ඒවායේ ඇතුළත් කර තිබේ. මහනුවර යුගයේ ලියවුණු මන්දාරම්පුර පුවත කවි පොතේ හඟු‍රන්කෙත ගලඋඩකන්දේ යොදුනක් දිගැති ගුහාවක නිදානයක් තැන්පත් කර ඇති බව දැක්වේ. කුරුණෑගල විස්තරය නම් පැරණි සාහිත්‍ය කෘතියේ ද ඇතුගලේ නිදන් කොට ඇති මහාර්ඝ වස්තුවක් ගැන සඳහන්ය.

නිදන් වදුල යනු සත්‍ය තොරතුරු සහිත වාර්තාවක් නොවේ. නමුත් මේවායේ විස්තර දැක්වෙන්නේ පුද්ගලයන්ගේ වස්තු තණ්හාව ඉස්මතු වන අයුරිනි.

“පර්වතයේ නැගෙනහිරට අශ්ව රූපයකි. වලිගයේ සිට පියවර නවයක් දුරින් රන් සෙම්බුවයි. රන් පහනයි. මැණික් ලාස් හතයි. ගල බිඳ ගනු.” ආදී වශයෙනි. මෙම සාහිත්‍යාංගය ලියැවී ඇත්තේ මහනුවර යුගයේ අවසාන භාගයේ නොදන්නා පුද්ගලයන් විසිනි. ඒවායේ  සඳහන් කිසිදු කරුණක් විද්‍යාත්මකව හෝ ශාස්ත්‍රීය වශයෙන් සනාථ කළ නොහැකි බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. උදාහරණ වශයෙන් ගල් පර්වත තුළ නිදන් කිරීමේදී ගල නැවත එකට සම්බන්ධ කළ තැනක් නැත. ගල් එකට ඇලවීමට ක්‍රමයක් නැති බව නිදන් හොයන අයට නොතේරෙයි. නිදන් වදුලේ සඳහන් ආකාරයට වස්තුව ලබාගත යුත්තේ ඒවාට අධිපති බහිරවයා සතුටු කිරීමෙනි. ඒ සඳහා මිනිස් බිල්ලක් හෝ වෙනත් බිලි දිය යුතුය.

 “නිදන් වදුල පිළිබඳ උනන්දු වන අය වලිගය පාගාගෙන පොට වරද්දා ගන්නා තැනක් තමයි නිදන් වදුලෙහි සඳහන්ව ඇති යම් යම් සලකුණු ගැන විස්තර. එම සලකුණු ඔවුන් සිතා සිටින ආකාරයට නිදානය සොයා යන පාර කියන සැබෑ මං සලකුණු නොවේ. ඒවා බොහෝවිට අතීතයේ දේශසීමා, ගම් සීමා සලකුණු කිරීම සඳහා යොදාගත් කඩඉම් ලකුණුයි. මේ සලකුණු ගැන කඩයම් පොත්වලත් තිබෙනවා.

අදටත් පවතින රත්නපුර අටකලම්පන්න කෝරළේ සීමා ලකුණු කර ඇත්තේ ලේනකුගේ සලකුණකින්. කලන්ද යනු ලේනා හඳුන්වන තවත් නමක්.  

රත්නපුරය අවට පෙදෙසට අතීතයේ කිව්වේ නව යොදුන් රට කියලයි. එම නව යොදුන් රටෙහි සීමා මායිම් ලකුණු වූයේ නාගයාගේ සලකුණුයි. එලෙසම හඳපාන්ගොඩ කඩඉම් සීමා සලකුණු කිරීමට චන්ද්‍ර සංකේතය යොදා ගැනීමත් සීතාවක බැරැන්ඩි කෝවිලේ සීමාවන් ලකුණු කිරීමට ගිරවා යොදා ගැනීමත් දැක්විය හැකියි.”

මෙසේ වස්තු තණ්හාවෙන් නිදන් ගැනීමට උත්සාහ කිරීමට අමතරව දාගැබ් හාරා පෙති පිළිම විනාශ කිරීමට උත්සාහ කර තිබේ. මේ නිසා පැරණි ස්මාරකවලට සිදුවූයේ විශාල හානියකි. මේ නිසා ඉංග්‍රීසි පාලකයන් මුලින්ම ගෙන ආ ආඥාපනත වූයේද නිදන් වස්තු ආඥා පනතයි. එය 1887 අංක 17 දරන පනත ලෙස සම්මත වී තිබේ. එය ඊට වසර තුනකට පසු 1890  අංක 15 දරන පුරාවිද්‍යා ආඥා පනත සම්මත විය.

අදටත් මිල කළ නොහැකි පෞරාණික වටිනාකමක් ඇති පුරාවස්තු විනාශ කරමින්  නිදන් සොයන්නෝ සුලබය. නැති නිධානයක් සොයා වේයන්ගොඩ වදුරව පොළොව හෑරීම නිසා මේ වනවිට 9 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. ඔවුහු නිදන් ගැනීමට තම ජීවිත පවා පරදුවට තබති.  

• කුසුම්සිරි විජයවර්ධන