2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා

කෝටි 80 ක් වටිනා ඉන්දියාවේ පට්ටි ගොනා!

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05 250

ඉන්දියාවේදී ගවයා පූජනීය සතෙකි. මිනිසකුටත් එහා ගිය දේවත්වයෙන්ද පිදුම් ලබන්නෙකි. මේ සියලු‍ ඉන්දියානු ගවයන් අතර දැන් එක රැයින් සමාජ මාධ්‍ය තරුවක් බවට පත්වූ ලෝක ප්‍රසිද්ධියක් ලත් මී හරකෙක් සිටියි. ඒ අන්මෝල් ය. අන්මෝල් හමුවන්නේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයෙනි. සුඛෝපභෝගී ජීවන රටාවක් ගෙවන බොලිවුඩ් තරුවක් බඳු ජනාකර්ශනයක් දරන මෙම මී හරකා කෝටි ගණනක් වටින්නෙකි.
හර්යානා ප්‍රාන්තයේ, සර්සා හි වෙසෙන අන්මෝල් මේ වනවිට ඉන්දියානු රුපියල් කෝටි 23 ක (ලංකා මුදලින් කෝටි 79.34 ක) විශ්මයජනක මිලක් සහිතව මිල අධිකම මී හරකා යන විරුදාවලිය දරයි. කිලෝ 1500 කට ආසන්න බරකින් යුත් මෙම තේජාන්විත මී හරකා ‘පුෂ්කර් මේලා’ සහ මීරුට් හි සමස්ත ඉන්දීය ගොවි ප්‍රදර්ශනය වැනි ප්‍රධාන උත්සවවලදී ජනතා අවධානය දැඩිව සොරාගත් නැතිවම බැරි ප්‍රදර්ශන භාණ්ඩයකි.
අන්මෝල්ගේ දැවැන්ත ශරීර ප්‍රමාණය සහ රුපියල් කෝටි 23 ක් වූ විශ්මයජනක මිල නිසා සමාජ මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත. විචිත්‍රවත් ආහාර වේල සහ මේ සතාට ලැබෙන විශේෂ සැලකිල්ල මගින් ලද ප්‍රසිද්ධිය නිසා අන්මෝල් පුළුල් ජනතා අවධානයක් දිනාගෙන ඇති අතර, දැන් අන්තර්ජාලය තුළ කැපී පෙනෙන චරිතයකි.
වාර්තාවලට අනුව, අන්මෝල්ගේ හිමිකරු ගිල් ඔහුගේ රැකවරණය සඳහා විශාල මුදලක් වැය කරයි. ඔහුට සුඛෝපභෝගී ආහාර වේලක් සහ විශේෂ අවධානයක් ලැබෙන බව සහතික කරයි. මෙලෙස අධික වියදම් තිබියදීත්, අන්මෝල් වඩාත්ම මිල අධික මී හරකා බවට පත් කිරීමට ගිල් අධිෂ්ඨාන කරගෙන සිටී.
අන්මෝල් සිය විශේෂ පෙළපත සහ අභිජනන හැකියාව මෙන්ම උසස් තත්ත්වයේ ජනක තරලය සඳහා ප්‍රසිද්ධය. මේ නිසා ගව අභිජනනයේදී අන්මෝල්ගේ භූමිකාව සතාගේ වටිනාකම වැඩි කර තිබේ. සතියකට දෙවරක් එකතු කරන අන්මෝල්ගේ ශුක්‍ර තරලයට අභිජනනය කරන්නන් අතර ඉහළ ඉල්ලු‍මක් පවතී. හිමිකරු ගිල් පවසන පරිදි, මේ නිසා ඔහුගේ මී හරකාගේ මිල ඉන්දීය රුපියල් කෝටි 23 ක් ලෙස ගණන් බලා ඇත්තේය. ඒ ඌ පිරිසුදු මුරා වර්ගයේ මී හරකෙක් වන බැවිනි. අන්මෝල්ගේ ශුක්‍රාණු නිස්සාරණයක් රුපියල් 250 ක් පමණ වන අතර ගවයන් සිය ගණනක් බෝ කිරීමට එය භාවිත කළ හැකිය. ශුක්‍රාණු අලෙවියෙන් මාසිකව රුපියල් ලක්ෂ 4-5 ක් උපයනු ලබන අතර, එය මී හරකා නඩත්තු කිරීමේ සැලකිය යුතු වියදම් කළමනාකරණය කිරීමට ගිල්ට උපකාර කරයි.
දිනපතා අලංකාර කිරීමත් සමඟ අන්මෝල්ගේ සෞඛ්‍යය හොඳින් නඩත්තු වේ. ඌ දිනකට දෙවරක් ස්නානය කරන අතර, සම නිරෝගීව හා පැහැපත්ව තබා ගැනීමට අබ තෙල් සහ ආමන්ඩ් මිශ්‍රණයක් භාවිත කරයි. ඔහුගේ හිමිකරු ගිල් සතාගේ රැකවරණය සඳහා විශාල මුදලක් වැය කරන අතර අන්මෝල් හොඳම මී හරකා බවට පත් කිරීමට අදිටන් කරගෙන සිටී. වියදම් පියවා ගැනීම සඳහා ගිල් අන්මෝල්ගේ මව සහ සහෝදරිය ද විකුණා ඇත. අන්මෝල්ගේ මව දිනකට කිරි ලීටර් 25 ක් ලබා දුන් සතෙකි.
වාර්තාවලට අනුව, අන්මෝල්ගේ දෛනික ආහාර වේලට ආමන්ඩ් ග්‍රෑම් 250 ක්, දෙළුම් කිලෝග්‍රෑම් 4 ක්, කෙසෙල් ගෙඩි 30 ක්, කිරි කිලෝග්‍රෑම් 5 ක් සහ බිත්තර 20 ක් ඇතුළත් වේ. මේවාට අමතරව තෙල් කැවුම්, මුං ඇට, ගිතෙල්, සෝයා බෝංචි, බඩඉරිඟු‍ ආදිය ද කන්නයට සරිලන පරිදි අන්මෝල්ගේ පෝෂණයට එක් වේ. මේ සියල්ල එකතු වී අන්මෝල්ගේ දෛනික ආහාර වියදම් රු. 1500 ක් දක්වා ගෙන එයි. ඔහු තම ආකර්ශනීය ශරීරය, සෞඛ්‍යය පවත්වාගෙන යාම මගින් නගරයේ මෙන්ම දැන් ලෝකයේද පුළුල් කතාබහට ලක්ව සිටින්නෙක් බවට පත්ව සිටියි. ඉන්දියානු රුපියල් කෝටි 23 ක අති මහත් වටිනාකමකින් යුක්ත වුවද, ගිල් අන්මෝල්ව දකින්නේ සිය පවුලේම සාමාජිකයකු ලෙසය. මේ නිසාම සතාගෙන් වෙන්වීමට ඔහුට කිසිදු අදහසක් නැත.

සුගත්

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05