2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා

රටම මවිත කළ ඡන්දය දා රාත්‍රිය

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:04 554

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඓතිහාසික මැතිවරණයක ප්‍රතිඵලයේ පහස රටක් ලෙස අපි සැවොම භුක්ති විඳිමින් සිටිමු. සිදුවූයේ කුමක්ද? මෙම ඓතිහාසික කතාව පෙළ ගැසුණේ කෙලෙසද? අප කඩිමුඩියේ නමුත් අවබෝධ කරගත යුතුව තිබේ. උදාවන නව දේශපාලන යුගය වෙත අනුවර්තනය වීමට එය ඉතා වැදගත් වනු ඇත.

සියල්ල ඇරඹියේ ඉකුත් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් සමඟිනි. සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය අත්පත් කර ගත්තේ මෙරට සාම්ප්‍රදායික දේශපාලනයේ දැවැන්ත වෙනසක් සිදු කරමිනි.

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අනුර කුමාර දිසානායක මහතා ඡන්ද පනස් හය ලක්ෂ තිස් හතර දහස් නවසිය පහළොවක් ලබා ගනිමින් ජයග්‍රහණය අත් කරගත් අතර දිස්ත්‍රික්ක 15 ක් ජයග්‍රහණය කළේය. මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් දෙවැනි මනාපය ගණන් කිරීම ද මෙවර ජනාධිපතිවරණයේ සුවිශේෂී සිදුවීමක් විය.

ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව සජිත් ප්‍රේමදාස මහතා දෙවැනි තැනට පත්වූ අතර තෙවැනි තැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය. මෙම මැතිවරණයෙන් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කළ අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුකරණය සඳහා ජනතාවගෙන් පාර්ලිමේන්තු බහුතරය ඉල්ලා සිටියේය. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අනුර කුමාර දිසානායක මහතා තීරණය කළේය. ඉදිරි ආණ්ඩුකරණය සඳහා තිදෙනකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කෙරිණි.

ඉකුත් සැප්තැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගන්නා දිනය වශයෙන් මෙම වසරේ නොවැම්බර් 14 වැනි දින නියම කර ඇති බව නිවේදනය කෙරුණි. මැතිවරණ සටන ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ පැවති සාමකාමී මැතිවරණ සටන මෙම මැතිවරණ සටන වූයේය.

මෙරට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ රැසක සිටි ප්‍රධාන පෙළේ දේශපාලනඥයෝ රැසක් මෙම මැතිවරණය අභිමුව සිය දේශපාලන ගමනට සමු දී සිටියහ. හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ රැසක් නාමයෝජනා ඉදිරිපත් නොකළහ. අට දහසකට අධික අපේක්ෂකයන් මැතිවරණය සඳහා ඉදිරිපත් වුවද, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළ පරිදි මැතිවරණ සටනේ සක්‍රීයව සිටියේ අපේක්ෂකයන් දහසකට අඩු ප්‍රමාණයකි.

ආණ්ඩුවට අභියෝගයක් එල්ල කළ හැකි එකම පාර්ශ්වය වූයේ සමගි ජන බලවේගයයි. එහි නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණ සටනට අවතීර්ණ විය. යම් අපේක්ෂාවක් සහිතව සැලකිය යුතු මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය දියත් වූයේය. සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ජාතික ජන බලවේගයට බහුතරය ලබා නොදිය යුතු බවයි. එසේම ආසන්න කාලයේ ආණ්ඩුව විසින් ගනු ලැබූ තීරණ සමගි ජනබලවේගය දැඩිව විවේචනය කරන්නට වූයේය.

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදුන් පාර්ශ්ව ඔහුගේ උපදේශකත්වය මත ගෑස් සිලින්ඩරය ලකුණෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ මැතිවරණ සටනට අවතීර්ණ වූයේය. ප්‍රසිද්ධියේම විපක්ෂයේ සැලකිය යුතු බලයක් ලබා ගැනීම සිය අරමුණ බව ඔවුහු සඳහන් කළහ. මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නොනිල වශයෙන් සිය කර මතට ගන්නා බව පෙනී ගියේය. ඔහු දිවයින පුරා මැතිවරණ වේදිකා සැලකිය යුතු ප්‍රමාණයකට ගොඩවෙමින් සිය කඳවුරේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රකාශ සිදු කරන්නට විය.

ජාතිකවාදී කඳවුරේ දේශපාලනය වෙනුවෙන් ඉතිරිව පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නාමල් රාජපක්ෂ නායකත්වය ලබා දෙන්නට විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බොහෝ දෙනකු විසින් හැර ගොස් තිබූ අතර, ඉතිරි වූ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් නවකයන් පිරිවරාගෙන මැතිවරණයට ඉදිරිපත් වූහ. රාජපක්ෂවරුන් බොහෝ දෙනකු දේශපාලනයෙන් ඈත්ව සිටි අතර, සක්‍රීය වූ රාජපක්ෂවරයා නාමල් රාජපක්ෂ විය. මහින්ද රාජපක්ෂ අවස්ථා කිහිපයකදීම මැතිවරණ වේදිකාවට ගොඩවූ නමුත් දේශපාලන ක්‍රියාවලිය තුළ එතරම් සක්‍රීය නොවීය.

මීට අමතරව මෙම මැතිවරණය තුළදී ක්‍රියාකාරී වූ නව දේශපාලන ව්‍යාපාර ද්විත්වයක් විය. ඉන් පළමුවැන්න වූයේ සර්වජන බලයයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මාධ්‍ය හිමිකරුවෙක් සහ ව්‍යවසායකයෙක් වන දිලිත් ජයවීර ඊට නායකත්වය සැපයීය. මෙම පක්ෂය ද ජාතිකවාදී මතවාද නිරූපණය කරන්නක් වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වූ හිටපු මැති ඇමැතිවරුන් සැලකිය යුතු පිරිසක් මෙම කඳවුරෙන් නාමයෝජනා ලබා මැතිවරණ සටනට අවතීර්ණ වී සිටියහ. ඔවුන්ගේද අභිමතාර්ථය වූයේ පක්ෂය තුළ ශක්තිමත් පිරිසක් බවට පත් වීමයි.

මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අනෙක් නව දේශපාලන බලවේගය වූයේ සිනමා නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රන්ජන් රාමනායකගේ ප්‍රධානත්වයෙන් යුතු එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයයි. දූෂණ විරෝධී ව්‍යාපාරයක් ලෙස ඔවුහු සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතිය මෙහෙයවමින් සිටියහ. මෙම කඳවුර සඳහා ද හිටපු දේශපාලනඥයන් කිහිප දෙනෙක් සහයෝගය දැක්වූහ.

මේ අතර උතුරේ දේශපාලනය ද තරමක් උණුසුම් වී තිබූ අතර, ආර්. සම්පන්දන් මහතාගේ වියෝවෙන් පසු උතුරේ දේශපාලන බෙදීම් නිරූපණය වන්නට පටන්ගෙන තිබුණි. ඒ අතර ජාතික ජනබලවේගය උතුරේ බලය ලබා ගැනීම සඳහා උත්සාහ කරමින් සිටියේය. ජනාධිපතිවරයා යාපනය ඇතුළු ප්‍රදේශවලට ගොස්, උතුරේ සාම්ප්‍රදායික දේශපාලනය වෙනස් කරමින් තමන් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස උතුරේ ජනතාවට ආරාධනා කළේය.

මේ අතර කාලයේ ජාතික ජන බලවේගයේ අන්තර්වාර ආණ්ඩුව විසින් ගනු ලැබූ ආර්ථික දේශපාලන තීන්දු ද මැතිවරණ ව්‍යාපාරය සඳහා සුවිශේෂී බලපෑමක් සිදු කළේය. ඒ අතරින් ප්‍රමුඛ වූයේ ඉන්ධන මිල අඩු කිරීම පිළිබඳ වූ තීන්දුවයි. ඊට අමතරව වසා දමා තිබූ කොළඹ මහා මාර්ග විවෘත කිරීම, උතුරේ මුර පොළවල් ඉවත් කිරීම සහ මාර්ග විවෘත කිරීම කැපී පෙනෙන තීන්දු විය. ඊට අමතරව ආර්ථික ස්ථායීකරණය සඳහා ජාතික ජනබලවේගය ගනු ලැබූ පියවර පිළිබඳව ද විශාල කතාබහක් නිර්මාණය වූයේය.

ජනප්‍රිය තීන්දු තීරණ ලෙස නිල රථ භාවිතය අවම කිරීම, රාජ්‍ය දේපළ පෙර මහජන නියෝජිතයන් භාවිත කළ ආකාරයට භාවිත නොකිරීම, රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිත කළ අය වෙතින් නැවත ලබා ගැනීම කැපී පෙනුණි. එසේම හිටපු කුප්‍රකට මහජන නියෝජිතයන් කිහිප දෙනකුට එරෙහිව ඇති චෝදනා සම්බන්ධ විමර්ශන ආරම්භ කිරීම විශේෂිත තත්වයක් විය. ජාතික ජනබලවේගය විසින් මෙම සියලු‍ම කාරණා තමන්ගේ පත්වීම සාධාරණීකරණය කිරීමක් ලෙස මැතිවරණ වේදිකාවේදී ඉදිරිපත් කරන්නට විය. කෙසේ වෙතත් සමස්තයක් ලෙස වෙනදා තරම් මෙවර මැතිවරණය උණුසුම් නොවුණි. ප්‍රචාරක රැලි, දැවැන්ත ජනහමු, පෙළපාලි ආදිය සේම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ද වාර්තා වූයේ ඉතා අවම වශයෙනි. මැතිවරණ නිරීක්ෂකයන් මෙය සාමකාමී මැතිවරණයක් ලෙස නම් කරන්නට වූයේ මෙම තත්වය මතය.

තීරණාත්මක මැතිවරණය එළැඹියේ මෙවන් පසුබිමක් තුළය. මැතිවරණ දිනය ද ඉතා සුවිශේෂී එකක් විය. උදෑසන හතට ඡන්ද විමසීම ආරම්භ වූයේය. දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වුණි. ඡන්දය ලබා දීම සඳහා එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හතළිස් දහසකට අධික පිරිසක් සුදුසුකම් ලබා සිටියහ. මැතිවරණ දිනයේ උදෑසනම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාමයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර යන සියලු පළාත් එකතු කරන දේශපාලන සංස්කෘතියක් ඇති කරන බව ඔහු මාධ්‍ය අමතමින් පැවසීය.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයට ශක්තිමත් පාර්ලිමේන්තු නියෝජනයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව සඳහන් කළේය. ජනතාවාදී අණ පනත් සම්මත කළ හැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම තුළින් මේ රට නව දේශපාලන සංස්කෘතියක් සහිතව ඉදිරියට ගෙන යා හැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේ රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදීය. මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, මහ මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී හා සාමකාමී ගුණාංග සපුරාලන, ජනතා අයිතියට මුල් තැන දෙන නිදහස් නිවහල් මැතිවරණයක් බවට පත් කරන ලෙසය.
ඒ අනුව නිදහසේ ජනතාවට තමන්ගේ අදහස හා කැමැත්ත පළ කිරීමට හැකියාව ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම, ගරා වැටුණු කඩා වැටුණු දේශය, බංකොළොත් රට මේ වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට සැවොම අත්වැල් බැඳගෙන ලක්ෂ 220 ම රට ගොඩ ගැනීමේ ගමනට දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදී ඡන්දය භාවිත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී තිබුණි. ඒ අනුව ඔහු කී වැල් පාලමේ කතාවට, ඉකුත් සමයේ එල්ල වූ විවිධ විරෝධතාවලට පිළිතුරු දීමට වික්‍රමසිංහ මහතා එම අවස්ථාව භාවිත කොට තිබුණි. තමා වැල් පාලම සොලවන්නේ නැතැයි ද පසෙකට වී බලා සිටිනවා පමණක් යැයි ද හිටපු ඒ අනුව ජනාධිපතිවරයා කීය. එසේම වැල් පාලම ආණ්ඩුවේ අය විසින්ම හොල්ලමින් සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළහ.

මෙලෙස ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් මැතිවරණය සඳහා උදෑසනම ඡන්දය ප්‍රකාශ කළ ද ජනතාව වෙතින් දැකගත හැකි වූයේ ඇල් මැරුණු ස්වභාවයකි. මධ්‍යහන දොළහ පමණ වනතුරුත් සියයට තිහකට ආසන්න පිරිසක් පමණක් ඡන්දය භාවිත කළ බව දැන ගැනීමට ලැබුණි. ඇතැමුන් ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණ සිටීම සහ උනන්දුවක් නොදැක්වීම පිටුපස විවිධ හේතු වූයේය.

අවසානයේ සමස්තයක් ලෙස පසුගිය මැතිවරණයට සාපේක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ තරමක් අඩු පිරිසකි. බොහෝ දිස්ත්‍රික්කවල සීයට හැට පහ, හැට සීමාවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය කියැවුණි. කෙසේ වෙතත් පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සමස්තයක් ලෙස සාමකාමීව සිදුවූ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය. ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ කටයුතු ආරම්භ විය. ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034 ක් ස්ථාපිත කර තිබුණි. ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා අනුයුක්ත කර සිටි නිලධාරීන් සංඛ්‍යාව 80,000 ක් පමණ වූහ.

2024 මහ මැතිවරණයේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා මැතිවරණ දිනය අවසානයේ නිවේදනය කළේය. ඒ අතර කල්පිටිය සහ වව්නියාව යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් අපේක්ෂකයන් දෙදෙනෙක් ද වූහ. බහුතරයක් දෙනා අත්අඩංගුවට පත්ව සිටියේ නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීම හේතුවෙනි. මීට අමතරව මුදල් ලබා දීම, ඡායාරූප ලබා ගැනීම, ඡන්ද පත්‍රිකා ඉරා දැමීම සහ පහරදීම වැනි සිද්ධි වාර්තා වී තිබුණි. එමෙන්ම මැතිවරණයෙන් පසු ජය සැමරීම්, පෙළපාලි පැවැත්වීම් ආදිය ද සතියකට තහනම් කරන බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කොට තිබුණි.

තීරණාත්මක මැතිවරණ ප්‍රතිඵල රාත්‍රිය මැතිවරණ ප්‍රචාරක කටයුතු පැවති කාලසීමාවට වඩා උණුසුම් එකක් බවට පත් විය. ප්‍රතිඵල පමා වෙතැයි බොහෝ දෙනකු අපේක්ෂා කළ නමුත් මෙවර කඩිනමින් ප්‍රතිඵල ලැබෙන්නට විය. ගාල්ල තැපැල් ඡන්ද ප්‍රතිඵලයෙන් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම ඇරඹුණි. යාපනය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ආරම්භයේදීම සියල්ලන් තුළ මවිතයක් ඇති ඇති කළේය. ජාතික ජනබලවේගය එම ප්‍රතිඵලයට අනුව ජය ගෙන තිබුණි.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමට පෙර ජාතික ජන බලවේගයට සරල බහුතරය තහවුරු කර ගැනීමට හැකිවේද යන්න පිළිබඳ ඇතැම් තැනක සාකච්ඡා නිර්මාණය වී තිබුණි. ජයග්‍රහණය පැහැදිලිව තිබූ නමුත් බහුතරය පිළිබඳ අපේක්ෂාව අපැහැදිලි විය. තුනෙන් දෙකක් පිළිබඳ විශාල අපේක්ෂාවක් නොවීය. එහෙත් ක්‍රමයෙන් ප්‍රතිඵල නිකුත් වන්නට පටන්ගත් විට, එය රටම මවිත කරන ප්‍රතිඵලයක් බවට පත් වූයේය.

අවසානයේදී ශ්‍රී ලංකාවේ මෙතෙක් පාර්ලිමේන්තු මැතිවරණයක ලැබුණු ඓතිහාසිකම ප්‍රතිඵලය 2024 පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරියේ සටහන් වූයේය. ඉතිහාසයේ ප්‍රථම වතාවට සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තනි පක්ෂයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය දිනා ගැනීමට සමත් විය. පැවති පාලන තන්ත්‍රයන් කෙරෙහි ජනතාව තුළ පවතින උග්‍ර කලකිරීමත්, අනාගතය කෙරෙහි පවතින දැවැන්ත අපේක්ෂාවත් අවසානයේ නිරූපණය විය. අපේක්ෂා ලක්ෂ ගණනක් අලු‍ත් ආණ්ඩුව ඉදිරියේ ලියැවුණි.

• චමිඳු නිසල් ද සිල්වා