2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ප්ලාස්ටික් කෑම පෙට්ටි වතුර බෝතල් දරුවන්ට දෙන්නෙ බලාගෙන!

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:04 107

ටික දිනකින් පසු එළඹෙන්නේ අලු‍ත් අවුරුද්දේ පාසල් වාරයට පාසල් උපකරණ ගන්නා කාලයයි. මේ කාලයට වෙළෙඳපොළේ නෙක පැහැයෙන් එන ප්ලාස්ටික් කෑම පෙට්ටි, වතුර බෝතල් වැහි වැහැලාය. සාප්පුවල පමණක් නොව පදික වේදිකාවලද තබාගෙන මේවා විකිණීම දැකගත හැකිය. දෙමාපියන් ද ලාබෙට ඇති වතුර බෝතල්, කෑම පෙට්ටි වැනි දෑ මිලදී ගන්නේ අතමිටත් දැන් හිඟ නිසාය. නමුත් ඔවුන් නොදැනම තම දරුවන්ට අගතියක් කරන බව පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනාවරණය කළේය. එහි සභාපති උපුල් රෝහණ මාධ්‍ය හමුවකදී පැවසුවේ නිතර නිතර භාවිතය සඳහා පාසල් දරුවන් ඇතුළු මහජනතාව භාවිත කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිලදී ගැනීමේදී එම ප්ලාස්ටික් නිෂ්පාදනවල ආරක්ෂිත සලකුණ පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.

උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කරන්නේ පතුල මත අංක 05 හෝ වීදුරුවක් සමඟ ගෑරුප්පුවක් සලකුණු කර ඇති ආරක්ෂිත සංකේතය සඳහන් ප්ලාස්ටික් උපකරණ පමණක් නැවත නැවත භාවිතය සඳහා සුදුසු බවයි. එම ආරක්ෂිත අංකය වන අංක 5 හෝ ආරක්ෂිත සලකුණ සඳහන් කර නොමැති ප්ලාස්ටික් වතුර බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ඔහු සඳහන් කර සිටියේය. තවදුරටත් මේ කාරණය පැහැදිලි කළ සභාපතිවරයා,
“දරුවන්ගේ භාවිතයට වෙළෙඳපොළේ අලෙවි කරන ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි බහුතරයක් නිපදවා ඇත්තේ අනාරක්ෂිත ප්ලාස්ටික්වලින් බව වෙළෙඳපොළ නිරීක්ෂණවලදී අපට තහවුරු වුණා. භයානකම තත්ත්වය තමයි මේවායේ බිස්ෆීනෝල් වැනි පිළිකාකාරක අඩංගු විය හැකි වීමයි. එවැනි අනාරක්ෂිත ප්ලාස්ටික් උපකරණ ආහාරපාන සඳහා භාවිත කිරීම තුළින් දරුවන්ට පිළිකා වැළඳීමේ අවදානම මෙන්ම මඳසරුභාවය, ලිංගික දුබලතාවය වැනි ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ව්‍යාකූලතා වගේම පියයුරු පිළිකා වැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. මේක දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් භයානක තත්ත්වයක්. ඒ නිසා අංක 5 සහ ආරක්ෂිත සලකුණ සඳහන් වතුර බෝතල් සහ කෑම පෙට්ටි පමණක් දරුවන් වෙනුවෙන් මිලදී ගන්න කියලා මම දෙමාපියන් ඇතුළු රටේ සමස්ත මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ආරක්ෂිත අංකය සහ සලකුණු සඳහන් නොවන හෝ කිසිදු අංකයක් සඳහන් නොවන ප්ලාස්ටික් ආහාර ඇසුරුම් උපකරණ අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව ආහාර පනතට අනුව නඩු පැවරීමට අපි කටයුතු කරනවා.”

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ පිළිබඳ වෙළෙඳපොළ නිරීක්ෂණ සහ වැටලීම් මේ සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බවය.

මෙයට පෙරත් මේ ගැන වෛද්‍යවරුන්ගේ අවධානය යොමුව තිබුණි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ තත්ත්ව පාලන අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි ටික කලකට පෙර මාධ්‍ය හමුවකදී පැවසුවේ ප්‍රමිතියෙන් තොර අනාරක්ෂිත සෞඛ්‍ය උපකරණ භාවිතයෙන් දරුවන් බරපතළ සෞඛ්‍ය අවදානමකට ලක්විය හැකි බවයි. එහිදී ඔහු මෙරටට ආනයනය කරන ලද බාල තත්ත්වයේ ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි පමණක් නොව පැන්සල්, පාට පැන්සල්, සම්බන්ධව සඳහන් කළේය.

ඔහු පවසන පරිදි සිදුවිය හැකි හානිය අප සිතනවාට වඩා බරපතළය.

“ප්ලාස්ටික් සම්බන්ධව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව භාවිතයට සුදුසු ප්ලාස්ටික් ශ්‍රේණිගත කර තියෙනවා. ඒ අංක 01, 02, 04 සහ 05 ලෙසින්. ඒ අතරින් ප්ලාස්ටික් වතුර බෝතල් සහ ප්ලාස්ටික් කෑම පෙට්ටි වැනි නැවත නැවත භාවිතයට ආහාර පාන හැසිරීම සඳහා සුදුසු වන්නේ අංක 05 ලෙස සඳහන් ප්ලාස්ටික්. ඒ අනුව වතුර බෝතල් සහ ඝනකම ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත වතුර බෝතල් සහ කෑම පෙට්ටි පමණක් දරුවන්ගේ භාවිතයට ලබාදීමට දෙමාපියන් සැලකිලිමත් විය යුතුයි.

එපමණක් නොවේ. ආනයනික ප්‍රමිතියෙන් තොර පැන්සල්, පාට පැන්සල්වල මතුපිට ආලේප කරලා තියෙන වර්ණවල බැර ලෝහ අඩංගු විය හැකියි. දරුවන්ට භාවිත කරන්නට දෙන දැව ආශ්‍රිත උපකරණ වර්ණ ගැන්වීම සම්බන්ධ අන්තර්ජාතික ප්‍රමිතියක් තියෙනවා EN71.3 කියලා. දරුවන් භාවිත කරන සෙල්ලම් බඩු, පැන්සල් සහ පාට පැන්සල් වැනි උපකරණවල මතුපිට වර්ණ ගැන්වීමේදී මේ ප්‍රමිතියට අනුකූල විය යුතුයි. එහෙත් වර්තමානයේ වෙළෙඳපොළේ නමක් ගමක් නොමැති ඉතාමත් බාල තත්ත්වයේ ආනයන කරන ලද පැන්සල් සහ පාට පැන්සල් බහුලව අපට දැකගත හැකියි. මේවා ඉහත සඳහන් කළ ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනවා කියලා අපිට විශ්වාස කිරීමට අපහසුයි. එම නිසා මෙම තත්ත්වයෙන් බාල පැන්සල් සහ පාට පැන්සල් භාවිත කරන පොඩි දරුවන්ගේ සිරුරට අහිතකර බැර ලෝහ ඇතුළු වෙන්න පුළුවන්. විශේෂයෙන් කුඩා දරුවන් පැන්සල් කටින් හැපීම සහ මුව තුළ රඳවා ගැනීම නිසා එම බැර ලෝහ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. මේක පාසල් සිසුන්ගේ ජීවිතයට ලොකු අවදානමක්.”

උපුල් රෝහණ සඳහන් කළ සිරුරට අහිතකර බීස්ෆිනෝල් (BPA) ගැන පසුගියදාක ලෝකයේ පර්‌යේෂණයක් සිදුවිය. ඒ සඳහා ලෝකය පුරා රටවල් 98 කින් ප්ලාස්ටික් සාම්පල ලබාගෙන පරීක්ෂාවට බඳුන් කර තිබුණි. ඒවායින් 78% ක, එනම් සාම්පල 76 කම මෙම බීස්ෆීනෝල් A නැතිනම් BPA අඩංගු වී තිබුණි. මෙම පර්‌යේෂණයට ශ්‍රී ලංකාවෙන් සාම්පල 10 ක් යොමු කර තිබුණු අතර ඉන් සාම්පල 03 කම බීස්ෆීනෝල් A අඩංගු බව හෙළි වී තිබේ.

BPA යනු bisphenol A හි කෙටි යෙදුමයි. මෙය කාර්මික රසායනික ද්‍රව්‍යයක් වන අතර 1950 ගණන්වල සිට ඇතැම් ප්ලාස්ටික් වර්ග සහ රේසීන් සෑදීම සඳහා භාවිත කරන ලදී. BPA පොලිකාබනේට් ප්ලාස්ටික් සහ ඉපොක්සි රේසින්වල දකින්න ලැබේ. පොලිකාබනේට් ප්ලාස්ටික් බොහෝ විට භාවිත කරන්නේ වතුර බෝතල් වැනි ආහාරපාන ගබඩා කරන බහාලු‍ම් තැනීම සඳහාය.

ඉපොක්සි රේසින් ආහාර ටින්, බෝතල් මූඩි සහ ජල සැපයුම් මාර්ග වැනි ලෝහ නිෂ්පාදනවල ඇතුළත ආලේප කිරීමට මේවා යොදා ගැනේ. සමහර දන්ත වෛද්‍ය කටයුතුවලදී ද BPA අඩංගු ද්‍රව්‍ය භාවිතය සිදුවේ. ඒ අනුව ළදරු කිරි බෝතල්, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප ආදියෙහි මේවා අන්තර්ගත වීමට පුළුවන.

පර්‌යේෂණ පෙන්වා දී ඇත්තේ BPA අඩංගු බහාලු‍ම්වලින් BPA ආහාර හෝ බීමවලට කාන්දු විය හැකි බවයි. කළලවල, ළදරුවන්ගේ සහ දරුවන්ගේ මොළයට සහ පුරස්ථි ග්‍රන්ථියට මෙමගින් අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. එය දරුවන්ගේ හැසිරීමට ද අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබෙන බව වෛද්‍ය මතයයි.

“අපේ වගේ ගම්පළාත්වල දෙමාපියන්ට නිවැරදි ප්ලාස්ටික් වර්ගය ගැන අවබෝධයක් නෑ. ඒවා පරීක්ෂා කර බලන්නත් දැනුමක් නෑ. බලධාරීන් කළ යුත්තේ මෙවැනි අහිතකර ප්ලාස්ටික් වර්ග අලෙවියට වැට බැඳීමයි. ඒ වගේම රේගුව මේවා ලංකාවට ගේන එක නවත්වන්න ඕනෑ. විකුණන්න ඉඩ දීලා මිලදී ගන්න එපා කිව්වට ප්‍රයෝජනයක් නෑනේ.” යැයි අප සමඟ පැවසුවේ ගම්පොළ විදුහල්පතිවරයකු වන ඩැනියල් හීන් බණ්ඩාය.

ජල බෝතල් ආදියට සුදුසු ප්ලාස්ටික් ලෙස නිර්දේශ කරන්නේ අංක 5 ලෙස හඳුන්වන පොලිප්‍රොපලීන් හෙවත් PP ය. මේවා ආරක්ෂිත සහ උණුසුමට ඔරොත්තු දෙන ප්ලාස්ටික් වර්ගයක් ලෙස නිපදවා තිබේ. එමෙන්ම මේ ප්ලාස්ටික් වර්ගයෙන් තැනූ බඳුන්වල ආම්ලික පළතුරු යුෂ වැනි දෙවල් ගබඩා කිරීමට ද හැකිය. රසායනික ප්‍රතිරෝධයක් තියෙන ප්ලාස්ටික් වර්ගයක් ලෙස මෙය නිපදවා තිබේ. ප්ලාස්ටික් භාවිතයේ විප්ලවයක් කළ මෙම ප්ලාස්ටික් වර්ගය සොයා ගත්තේ 1951 දී පිලිප්ස් පෙට්රෝලියම්හි රසායන විද්‍යාඥයන් වූ ජේ. පෝල් හොගෑන් සහ රොබට් බෑන්ස් විසිනි. බෝතල් සහ පෙට්ටි වැනි කල් පවතින අසුරණ සඳහා, සෞඛ්‍ය උපකරණ, ජල නල, වාහන සහ විද්‍යුත් උපකරණ සඳහා මෙම ප්ලාස්ටික් වර්ගය ලොව පුරා භාවිත කෙරේ. ලෝකයම වාණිජවාදී වීම නිසා මෙම ප්ලාස්ටික් පවා අහිතකර ලෙස නිපදවීම සිදුවන බව ලෝක පුවත් දෙස බැලීමේදී පෙනේ. මේ නිසා ප්ලාස්ටික් භාජන මිලදී ගැනීමට පෙර දෙවරක් පිරික්සා බැලීම කෝකටත් හොඳය.

• කුසුම්සිරි විජයවර්ධන

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05