2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

හිටපු රාජ්‍ය ඇමැති ලොහන්ගේ ලේකම් සිය දිවි නසා ගත්තාද?

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 19

මහනුවර දේශපාලන ධාරාවේ ප්‍රධාන චරිතයක් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ නම පසුගිය කාලවකවානුව තුළ දේශපාලන කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක චරිතයක් විය.
ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවී නිහඬ විය. එහෙත් ඔහුගේ නම වරින් වර රට පුරා පැතිර ගියේ ඔහුගේ සමීපතම විශ්වාසවන්තම ලේකම්වරයා ලෙස කටයුතු කළ සංජීව බස්නායක මහතා (අවු. 52), හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මහනුවර මහයියාවේ කාර්යාලයක් තුළ වෙඩි වැදී මරණයට පත්වීමත් සමඟය.

පසුගිය 20 වැනි දින දහවල් සංජීව බස්නායක මහතා වෙඩි වැදීමෙන් ලත් බරපතළ තුවාල හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ දී මරණයට පත්වීමත් සමඟ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ නම මාධ්‍ය ඔස්සේ රට පුරා මෙන්ම ජාත්‍යන්තර වෙබ් මාධ්‍යවල ද ප්‍රචලිත විය.

කිසිවකු නොසිතූ පරිදි වෙඩි වැදීමෙන් මියගිය සංජීව බස්නායක මහතාගේ මරණය ගැන විවිධ මත පළ විය. එහෙත් ඔහු ඔහුට ලබා දී තිබූ නිල ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවට ඔහු මිය යන්නට පෙර ඔහුගේ අත් අකුරින් ලියූ ලිපියක සඳහන් කර තිබූ බව මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කරන කටුගස්තොට පොලිසිය පොලිස් මාධ්‍ය ප්‍රකාශකට දැනුම් දී තිබිණි.
පරීක්ෂණ සිදුවෙද්දී මෙම මරණය ගැන පැතිර යන විවිධ කටකතා නිසාම සංජීව බස්නායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම්ගේ මරණය පිළිබඳව පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති (සී.අයි.ඩී) බව මහනුවර උසස් නිලධාරියෙක් පැවසීය.

මියගිය බස්නායක මහතා එක්දරු පියෙකි. ඔහු වැරැල්ලගම පදිංචිකරුවෙකි. දිගු කලක් තිස්සේ ලොහාන් රත්වත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ සියලු කටයුතුවලට සම්බන්ධව ලේකම්වරයකු ලෙස කටයුතු කළ ඔහු රත්වත්තේ මහතාගේ දේශපාලන කටයුතුවලදී මහනුවර දිස්ත්‍රික්කයේ සියලු සම්බන්ධීකරණ කටයුතු ද රාජ්‍ය අමාත්‍ය ධුරය දරද්දී රත්වත්තේ මහතාගේ අමාත්‍යාංශයට අදාළ කටයුතු ද මැනවින් ඉටුකළ ලේකම්වරයකු බව තතු දත් පිරිසක් පැවසූහ.

ඉතා විශ්වාසවන්ත ලේකම්වරයකුව සිටි බස්නායක මහතාගේ මරණය පිළිබඳව තොරතුරු ලැබුණු පසු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ අවශ්‍ය කටයුතු පිළිබඳව ද සොයා බලා තිබේ.

මහනුවර නගරයේ බොහෝ දෙනකු සමඟ ද කුළුපහව සිටි සංජීව බස්නායක මහතාට කිසිදු විෂමාචාර චෝදනාවක් හෝ නොතිබූ බව ඔහුගේ සමීපතමයෝ පැවසූහ.

කුමන හේතුවකට ඔහු වෙඩි තබාගත්තා ද යන්න බොහෝ දෙනකුට ප්‍රහේළිකාවක් වී ඇත. ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් ඔහු මරණයට පත් වුවද, ඔහු වෙඩි වැදී සිටි ස්ථානයට ආසන්න වතුර වළක තිබී ඔහු භාවිත කළ ජංගම දුරකථනය ද මහනුවර පොලිසිය විසින් සොයාගෙන එම දුරකථනය ද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට පත් කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීම මත කටුගස්තොට පොලිසිය ද මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු සහ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතුවලට සහාය දැක්වීය.
මියගිය සංජීව බස්නායක මහතාගේ ජංගම දුරකථනයේ විශ්ලේෂණ පරීක්ෂණවලින් සිද්ධියට අදාළ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන රහස් පොලිසියේ නිලධාරීන්ට හැකිවනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාසය පළ කරති.

• ජේ.ඒ.එල්. ජයසිංහ