2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

කෝච්චියට බෙල්ල තියන අලි

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 12

දිනය පසුගිය ඔක්තෝබර් 18 දාය. හාත්පස අඳුර කපාගෙන පැමිණෙමින් තිබුණේ කොළොන්නාවේ සිට මඩකලපුව දක්වා ඉන්ධන ගෙන යන භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි. වෙලාව පාන්දර 3.30 විය. හදිසියේම කෝච්චි පාරට ගොඩවූ අලි රංචුව දුම්රිය රියැදුරාගේ නෙත ගැටුණේ අවසන් මොහොතේදීය. ඔහු තිරිංග තද කළත් දුම්රිය ඉදිරියට ඇදී ගොස් අලින්ගේ සිරුරේ හැපුණි. දෙදරුම් කෑ දුම්රියේ පෙට්ටි පීලි පැන පෙරළී දුම්රිය නැවතුණි.

කොළඹ - මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ දුම්රිය සැතපුම් 146 1/2 ස්ථානයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලි රංචුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වන අලි දෙදෙනකු මියගොස් තවත් වන අලි කිහිප දෙනකුට තුවාල සිදුවිය. ඒ අතරින් නැගිට ගැනීමට බැරිව තුවාල ලබා සිටි අලි පැටවාට ප්‍රතිකාර ලබා දී මින්නේරිය රක්ෂිතයට මුදාහැරි බව මහවැලි කලාප භාර පශු වෛද්‍ය නිලධාරී සමීර කලිගුආරච්චි පැවසුවේය. තුවාල ලබා සිටියේ අවුරුදු 8 ක පමණ අලි පැටවෙකි.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක්ද අවලංගු කිරීමට සිදුවිය. කෙසේ වෙතත් දුම්රිය එන්ජින් රථ රියැදුරන් චෝදනා කළේ අනතුර සිදු වූ දුම්රිය මාර්ගයේ අදාළ ස්ථානය අබලන් තත්ත්වයේ පැවති බවයි. දුම්රියවල ගැටී සිදුවන වන අලි මරණ අවම කර ගැනීම සඳහා, වන අලින් බහුලව ගැවසෙන ප්‍රදේශ ඔස්සේ ගමන් කරන දුම්රියවලට වනජීවී නිලධාරීන් යොමු කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් ද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ මෙසේ සඳහන් කර සිටියේය:

“වනජීවී දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මේ සම්බන්ධව කලකට පෙර විවිධ ක්‍රියාමාර්ග ගත්තා. අත්හදා බැලීම් කළා. නමුත් තවම සාර්ථක ක්‍රමයකට යාමට නොහැකි වී තිබෙනවා. පසුගිය කාලයේ වනජීවී නිලධාරියකු දුම්රිය එන්ජිමේ ගමන් කිරීම සිදු කළා. 2018-2019 කාලවල මේ නිසා යම් ප්‍රමාණයකට අලි දුම්රියේ හැපීම අඩුවී තිබෙනවා. ඉදිරියේදීත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අදහස් කරනවා.”

දුම්රිය ගමන් කරන අවස්ථාවේදී වනජීවී නිලධාරියකු විසින් වන අලින් බහුලව ගැවසෙන ප්‍රදේශ සහ වේලාවන් පිළිබඳව දුම්රිය රියැදුරා දැනුවත් කිරීම තුළින් එම අනතුරු අවම කර ගැනීමට හැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පසුගිය කාලයේ එම ක්‍රමවේදය නවතා දැමීම තුළින් දුම්රියවල ගැටී මියයන වන අලින් ප්‍රමාණය වැඩිවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ සඳහන් කළේය.

2012 වසරේ සිට 2018 වසරේ ඔක්තෝබර් 21 වැනි දින දක්වා දුම්රියේ ගැටී මරණයට පත්ව ඇති වන අලි සංඛ්‍යාව 71 දෙනෙකි. දුම්රියේ ගැටීමෙන් සිදුවූ වන අලි මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ, 2018 වසරේදීය.

2024 ජනවාරි සිට සැප්තැම්බර් මාසය නිමාවන විට විවිධ හේතු නිසා මෙරටින් අලි මරණ 239 ක් වාර්තා වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසා සිටී. එම මරණවලට හේතු ලෙස දුම්රිය අනතුරුවලින් 05 ක්, වෙඩි තැබීම්වලින් 40 ක්, විදුලි සැර වැදීමෙන් 31ක්, ‘හක්ක පටස්’ පුපුරණ ද්‍රව්‍යවලින් 28 ක්, විෂ ශරීරගත වීමෙන් 04 ක්, මාර්ග අනතුරකින් 06 ක්, දියේ ගිලීමෙන් 11 ක් සහ වෙනත් අනතුරු හේතුවෙන් අලින් 07 ක් මියගොස් ඇත. මෙලෙස අවසනාවන්තව දිවි අහිමි වන අලි ඇතුන්ගෙන් බහුතරය තරුණ අලි බවද වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

වනජීවී දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 දී අලි මිනිස් ගැටුම ඇතුළු විවිධ හේතූන් මත අලි ඇතුන් 488 ක් මිය ගොස් තිබූ අතර ගැටුම හේතුවෙන් මිනිස් මරණ 184ක් ඍජුවම සිදු වී තිබිණි.
2010-2023 අතර වන අලි මරණ 10 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිදු වූ දුම්රිය මාර්ග කොටස් වශයෙන් අඹන්පොල - ගල්ගමුව, චෙඩ්ඩිකුලම් - මඩු පාර, පලු‍ගස්වැව - ගල්ඔය, ගල්ඔය - හිඟු‍රක්ගොඩ, මනම්පිටිය – වැලිකන්ද, වැලිකන්ද - පූනානි සඳහන් කළ හැකිය.

දත්ත විශ්ලේෂණයේ දී පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ උතුරුමැද, උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල තිබෙන වනාන්තර පද්ධති යා කෙරෙන අලි කොරිඩෝ හරහා දිවෙන දුම්රිය මාර්ග කොටස්වලදී වැඩි අනතුරු ප්‍රමාණයක් වන අලින්ට සිදුවන බවයි. නිතර අලි දුම්රිය මාර්ගය හරහා යාම එයට හේතුවයි. එම දුම්රිය මාර්ග කොටස්වල අලි-දුම්රිය ගැටුම් අවම කිරීම සඳහා සුදුසු ආකාරයේ විසඳුම් ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ රාජකාරියකි. මහව - අනුරාධපුර දුම්රිය මාර්ග කොටසේ, මේ වන විට වැඩිම වන අලි මරණ ප්‍රමාණයක් සිදුව ඇති ගැටදිවුල යන ස්ථානයේ වනජීවී උමං මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.

පසුගිය 2023 වසරේදී අලි ඇතුන් 470 දෙනකු මරණයට පත්ව ඇති අතර ඒ අතරින් දුම්රියේ ගැටීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 23 කි. දුම්රියේ වැදී අලි බහුලව අනතුරට පත්වන්නේ රාත්‍රියටය. දුම්රිය රියැදුරන්ට අලි රංචු කෝච්චි පාරට එනතුරු නොපෙනීම එයට හේතුවයි. ගල්ඔය හන්දිය කේන්ද්‍ර කර ගනිමින් කන්තලේ කිතුල්උතුව දෙසටත්, පලු‍ගස්වැව හබරණ, මින්නේරිය, මනම්පිටිය ආදී ප්‍රදේශවල දුම්රිය මාර්ග ආශ්‍රිතවත් අලි මරණ සුලබය. ගල්ගමුව කාසිකොටේ ද එසේ අලි මරණවලින් වාර්තා තැබූ ස්ථානයකි. පොළොන්නරුව, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වනාන්තර මැදින් යන දුම්රිය පාරේ දී අලි දුම්රියට බිලිවීම නිතර වාර්තා වේ. වන අලි දුම්රියේ හැපෙන තවත් ස්ථානයක් වන්නේ මන්නාරම දුම්රිය මාර්ගයේ සෙට්ටිකුලම අවටයි.

ධාවනය වන දුම්රියක් නැවැත්වීමට මීටර් 600 කට පමණ පෙර තිරිංග මුදා හැරිය යුතු වේ. හෙමින් දුම්රිය ධාවනය කළත් තිරිංග මුදා හැරීමෙන් පසුව මීටර් 600 ක් ඉදිරියට දුම්රිය ඇදී යාම සිදුවේ. ඒ නිසා වන අලි මාර්ගය හරහා යන වෙලාවට තිරිංග මුදාහැර ඔවුන් බේරා ගැනීම ඉතාම අසීරු කාර්යයක් බව දුම්රිය නිලධාරිහු පවසති.

පසුගිය වර්ෂයේ සැප්තැම්බර් 28 වැනිදා ගල්ගමුව ප්‍රදේශයේදී අලි සිව් දෙනකු සහ හබරණ ප්‍රදේශයේදී දෙදෙනකු වශයෙන් එක් රාත්‍රියකදී දුම්රිය අනතුරුවලින් අලි ඇතුන් සය දෙනකු මිය යාමෙන් පසුව අලි ඇතුන් සහ දුම්රිය යන මාතෘකාව යළිත් කාගේත් අවධානයට ලක්විය. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව දුම්රියේ ගැටීමෙන් මිය යන අලි සංඛ්‍යාව මෙරටින් වාර්තා වන සමස්ත අලි මරණවලින් 5% ක් පමණ වේ. එසේ මියයන අලි ඇතුන් සංඛ්‍යාව වසරකට 15-20 ක් පමණ වන බැවින් එය සුළුපටු නොවේ.

මේ දිනවල මින්නේරියේ අලි අනතුර ගැන කතා කරනු පෙනෙන්නට තිබුණත් තව දින කිහිපයකින් පසු එය අමතකව යනු ඇත. ඉන්දියාවේ ද අලි මරණවලට දෙවැනි හේතුව ලෙස දුම්රියේ ගැටීම සැලකේ. එරට ඇසෑම්, ඔඩිෂා වැනි ප්‍රාන්තවල මේ තත්ත්වය ඉහළය. ඉන්දියාවේ 2009-10 සහ 2020-21 කාලසීමාවේ අලි 186 දෙනකු දුම්රියවලට බිලි වී තිබේ.

මේ සඳහා කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන විසඳුම් ද අවශ්‍යය. නැතහොත් වන අලි ඉදිරියේදීත් නිකරුණේ කෝච්චියට බෙල්ල තියනු ඇත.

• කුසුම්සිරි විජයවර්ධන
ඡායාරූප - අන්තර්ජලයෙන්