2017 ජුනි 24 වන සෙනසුරාදා

ඉන්දියාව එක්ක යුද්දෙකට ජේ.ආර්. අණදුන් දවස

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 589

“ඇමැතිතුමා ඔයාලා යාපනය අල්ලා ගන්න හදන්න එපා. එහෙම කළොත් අපි නිකම් ඉන්නෙ නෑ...”  එවකට ලංකාවේ ජාතික ආරක්ෂක ඇමැතිව සිටි ලලිත් ඇතුලත්මුදලි මහතාට මෙම තර්ජනය කළේ එදා කොළඹ සිටි ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත්ය. එම ප්‍රකාශය කළ 1987 වසරේ මුල් භාගයේ ප්‍රභාකරන් උතුරේ සටන් උත්සන්න කර තිබුණි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනටත්, ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලිටත් කොටිනායකයාගේ මනුෂ්‍ය ඝාතන තවදුරටත් ඉවසා සිටීමට නොහැකි විය. 

1987 මැයි මස මුල් සතියේ හැන්දෑවක ජේ.ආර්.ගේ කොළඹ වෝඩ් පෙදෙස නිවෙසට ජාතික ආරක්ෂක ඇමැතිවරයා කැඳවූ ජේ.ආර්. “ගහලා මේ යුද්ධය ඉවරයක් කරනවා” කියා දැඩි උපදෙසක් දුන්නේ තරමක කේන්තියෙනි. ලලිත් ඒ මොහොතේ සිටම අවසන් මහ සටන සැලසුම් කළේය. හමුදා සෙන්පතියන් සමඟ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය හමාර කිරීමට සංවිධානය කළ මෙහෙයුම හැඳින්වූයේ විමුක්ති මෙහෙයුම නමිනි. එහෙත් මෙම සටන රටේ වඩාත් ප්‍රචලිත වූයේ වඩමාරච්චි යුද්ධය ලෙසයි.

මේජර් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව බ්‍රිගේඩියර් විජය විමලරත්න සටනේ හමුදා නියමුවෝ වූහ. වඩමාරච්චි මෙහෙයුම ආරම්භ කිරීමට දිනයක් තීරණය කිරීම සඳහා ජේ.ආර්. සහ ඇමැති ලලිත් නැවතත් රහසිගත සාකච්ඡාවක් පැවැත්වූහ. මොළය ඇති සූර දේශපාලනඥයකු වූ ජේ.ආර්. කීවේ අවසන් මහසටන කළ යුත්තේ ඉන්දීය පාර්ලිමේන්තුව නිවාඩු සමයේ බවයි. ඒ අනුව 1987 මැයි මස 26 වැනි දින කල් යල් බලා වඩමාරච්චි මෙහෙයුම ආරම්භ කෙරිණි. කොටි හමුදා සුණු විසුණු කරමින් ප්‍රභාකරන් වඩමාරච්චියට කොටුවන තුරුම ලලිත්, ඩෙන්සිල් සහ විජය ජයග්‍රාහී ලෙස සටන මෙහෙයවූහ. ප්‍රභාකරන් නහය ළඟටම එරුණාට පසු සැමදා කරන්නා සේ අන්තිම උදව්ව ඉල්ලුවේ ඉන්දියාවෙනි. “අනේ මාව බේරාගන්න යැයි” ඔහු අගමැති රජීව් ගාන්ධි මහතාට ආයාචනාත්මක පණිවිඩයක් යැව්වේ එවකට තමිල්නාඩු මහ ඇමැතිව සිටි එම්.ජී. රාමචන්ද්‍රන් හරහාය. අප මුලින් සඳහන් කළ මහ කොමසාරිස් ඩික්සිත්ගේ තර්ජනාත්මක ප්‍රකාශය නිකුත් වූයේ ඔය අල්ල පනල්ලේය.

ඉන්දියාව වෙනුවෙන් ලංකාවේ පෙනී සිටින යුවරජු යැයි සිතා සිටි ඩික්සිත්ගේ කතාව තුට්ටුවකට මායිම් නොකළ ලලිත් නොකඩවා සටන ගෙනයන්නැයි සිය හමුදා සෙන්පතීන්ට අණ දුන්නේය. ඉන්දියාව කළේ දවසක් දෙකක් නිහඬව සිදුවන දේ අධ්‍යයනය කිරීමයි. අනතුරුව රජීව් ගාන්ධි අගමැතිගේ දෛවෝපගත මැදිහත්වීම සිදුවිය. උතුරේ යුද්ධය නිසා මහජනතාවට අවශ්‍ය ආහාර නැතැයි කියා පුවතක් මැවූ ඉන්දියාව රජයට අයත් යාත්‍රා 20කින් උතුරට ආහාර ද්‍රව්‍ය එවන්නට තැත් කළේය. ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය මැද අපේ නාවික හමුදා එම යාත්‍රා ආපසු හරවා යැවූහ. ඒ වනවිට ප්‍රභාකරන් අල්ලා ගන්නට අවශ්‍ය වූයේ තවත් පැය ගණනක් පමණි. ඉන්දියාව සිටියේ කෝපයෙනි. ලංකාව ආණ්ඩු මට්ටු කරන්නට ඔවුහු ගුවන් මෙහෙයුමක් සැලසුමක් කළෝය. මුහුදින් බැරිනම් අහසින් උතුරට ආහාර සපයනවා යැයි වහසි බස් දෙඩූ ඉන්දියාව ඔපරේෂන් පූමාලෙයි නමින් හැඳින්වුණ ගුවන් මෙහෙයුම මගින් ආහාර ද්‍රව්‍ය ටොන් 22ක් අහසින් ගෙනැවිත් හෙළීමට කටයුතු සම්පාදනය කළේය.

රාජ්‍යතාන්ත්‍රික වත්පිළිවෙත් අනුව මෙය දේශසීමා අමු අමුවේ උල්ලංඝනයකි. ඉන්දියාව කොතරම් උද්දච්ඡ ස්වභාවයෙන් ක්‍රියා කළේදැයි කිවහොත් දකුණු ඉන්දියාවේ ගුවන් තොටුපොළකින් ආහාර ද්‍රව්‍ය රැගත් ඇන්ටනොව් යානා ගුවන්ගත වීමට හරියටම පැය භාගයකට කලින් දිල්ලියේ සිට ශ්‍රී ලංකා මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්න මහතා එරට විදේශ අමාත්‍යංශයට කැඳවා තමන් කරන්නට යන හපන්කම ගැන නිල වශයෙන් දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා මෙහිදී ඊට දැඩි විරෝධය පළකළද ඉන්දියාව එය සත පහකට මායිම් කළේ නැත. බර්නාඩ් තිලකරත්න මහතා ඉන්දීය විදේශ ලේකම්වරයාට සැර භාෂාවෙන් කීවේ මගේ ජනාධිපතිතුමාට මම දැන් මේක වහාම දැනුම්දිය යුතුයි. මට මේ අමාත්‍යංශයේ දුරකථනය පාවිච්චි කිරීමට අවශ්‍යයයි කියාය. එවිට සැන්ඩ්විච් පිඟානක් සහ තේ බඳුනක් රැගෙන පැමිණි විදේශ ලේකම්වරයාගේ කාර්යාල කාර්ය සහායකයා ඉදිරියේම විදේශ ලේකම් අපේ මහ කොමසාරිස්වරයාට කීවේ ඔය පණිවිඩය ජේ.ආර්.ට කියන්න ඔච්චර හදිස්සි වෙන්න ඕනෙ නෑ. ඔයා මොනවා කීවත් තව ටික වෙලාවකින් අපි යාපනයට කෑම දානවා. ඒ නිසා මේ සැන්ඩ්විච් එකක් කාලා තේ ටිකක් බීලා හෙමින් ගිහින් කියන්න කියා ටික වේලාවක් දුරකථන ඇමතුම පමා කළේය.

ඒ වනවිට කොළඹ විදේශ අමාත්‍යංශයේ විශේෂ මෙහෙයුම් මැදිරියට එවකට සිටි විදේශ ඇමැති ඒ.සී.එස්. හමීඩ්, ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි, විදේශ ලේකම් ඩබ්ලිව්.ටී. ජයසිංහ සහ හමුදාපතිවරුද ආරක්ෂක ලේකම්ව සිටි ජනරාල් සේපාල ආටිගල මහතාද පැමිණ සිටියහ. විදේශ ඇමැති හමීඩ් තමන් ආසා කරන මැනිලා සුරුට්ටුවක් දල්වාගෙන කල්පනාබරව කාමරය වටා යමින් සිටියේය. බර්නාඩ් තිලකරත්න ඉන්දියාවේ සිට විදේශ අමාත්‍යංශය අමතා තිබෙන අනතුර ගැන දැනුම්වත් කළේය. වහා යමක් කළ යුතුවිය. අන්තිම උපදෙස් ගත යුත්තේ ජේ.ආර්. ජයවර්ධන මහතාගෙන් බව කාගේත් මතය විය. ආරක්ෂක ලේකම් ජෙනරල් සේපාල ආටිගල ජේ.ආර්.ට දුරකථන ඇමතුමක් ගත්තේය. ඒ වනවිට ජේ.ආර්. කතාව දැන සිටි බව පෙනුණි.

සර් ප්ලේන්ස් ඔන් ද වේ. අපි මොකද කරන්නේ* කියා ජනාධිපතිතුමාගෙන් උපදෙස් පැතීය. සර් අපි මේක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැමිණිලි කරමු. ඉන්දියාව කරන්නෙ වස වැරැද්දක්. කියා දීර්ඝ වශයෙන් කරැණු දක්වා නැවතත් ජේ.ආර්.ගෙන් කළ යුත්තේ කුමක්දැයි විමසා සිටියේය. ලලිත් ඇතුලත්මුදලි මහතා සහ ඒ.සී.එස්. හමීඩ් මහතා තුෂ්ණිම්භූතව එහෙත් කෝපයෙන් දත්මිටි කමින් ජේ.ආර්.ගේ පිළිතුර බලාපොරොත්තුවෙන් පසුවූහ.

ජේ.ආර්. හා සංවාදයේ යෙදුණු ආරක්ෂක ලේකම්වරයා එකවරම නිහඬ විය. දුරකථනය කනේ තබාගෙන ජේ.ආර්. කියන දෙයට සාවධානව ඇහුම්කන් දෙන බවක් පෙනුණි. ටික වේලාවක් එසේ නිහඬව සිට එකවරම කීවේ නෝ සර් වී ඩෝන්ට් හෑව් දැට් කයින්ඩ් ඔෆ් ගන්ස් (නෑ සර් ඒ වගේ තුවක්කු අප සතුව නැහැ) කියාය. 

ආරක්ෂක ලේකම්වරයා ජේ.ආර්.ට එම පිළිතුර ලබා දුන්නේ ජේ.ආර්. කෝපයෙන් යුතුව අනවසරයෙන් පැමිණෙන ඉන්දීය ගුවන් යානාවලට පහරදී බිම දමන ලෙස දුරකතනයෙන් කළ නියෝගයට කන්දීමෙන් පසුවය. මෙම කතාව ප්‍රථමවරට අප සමඟ හෙළිදරව් කළේ අදටත් ජීවතුන් අතර සිටින මේ සිද්ධිය ඇසින් දුටු කනින් ඇසූ මෙරට ප්‍රවීණතම රාජතාන්ත්‍රික නිලධරයෙකි.

ජේ.ආර්. ජයවර්ධන මහතා එකල දකුණු ආසියාවේ සිටි ජ්‍යෙෂ්ඨතම සහ පරිණතම රාජ්‍ය නායකයායි. එහෙත් ඉන්දියාව බලහත්කාරයෙන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කළා යැයි ඇසූ ජේ.ආර්.ට ඉහිලුම් නැතුව ගියේය. යුද ශක්තිය නැතත් ඉන්දීය යානාවලට පහර දෙනු යැයි ජේ.ආර්. නියෝග කළේ රාජතාන්ත්‍රිකත්වය ඉක්මවා ගිය දේශප්‍රේමිත්වයක් ඔහුගේ හදවතේ ඇතුළු ගැබ තුළ තැන්පත්ව තිබූ බැවිනි.

රන්ජිත් ආනන්ද ජයසිංහ