මාස කිහිපයකට පෙර සිට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයන් වෙත විදුලි බිල්පත් එවීම නතර කර ඇති අතර, ඒ වෙනුවෙන් ජංගම දුරකථන මාර්ගයෙන්, කෙටි පණිවිඩ ලෙස අදාළ කාලසීමාව සඳහා ගෙවිය යුතු ගාස්තු දන්වා එවීම සිදුවේ. ඒ අතර බිල්පතේ සඳහන් ගාස්තු ප්‍රමාණය නියමිත කාලසීමාව තුළදී ගෙවීමට අපොහොසත් වුවහොත් “ප්‍රමාද පොලී” ලෙස, යම් මුදල් ප්‍රමාණයක් සඳහන් කර වෙනත් කෙටි පණිවිඩයක් මගින් පාරිභෝගිකයන් දැනුවත් කරනු ලබයි.
එහෙත්, එසේ කෙටි පණිවිඩ මගින් දැනුම් දීමට පෙර, විදුලි සම්බන්ධතාවයක් ලබාගන්නා සෑම පාරිභෝගිකයකුටම, සම්බන්ධතාවය ලබාගන්නා ලද ප්‍රථම මාසයේ සිටම, අදාළ කාලසීමාව ඇතුළත භාවිත කරන ලද විදුලි ඒකක ප්‍රමාණය සහ ඊට අනුරූපව ගෙවිය/ අයවිය ගාස්තු ප්‍රමාණය දැක්වෙන මුද්‍රිත විදුලි බිල්පතක් සෑම පාරිභෝගිකයකු වෙතම විදුලිබල මණ්ඩලය විසින් ලැබීමට කටයුතු සිදු කෙරිණි.
නමුත්, මෙසේ විදුලි බිල්පත් නොඑවීම හේතුවෙන්, විදුලි පාරිභෝගිකයන්ට අමතක වීම්, අතපසුවීම් සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත වීම් ආදී විවිධ හේතූන් මත, බිල්පත් ගෙවීම් ප්‍රමාද සහ අතපසු වීම් සිදුවිය හැකි වන අවස්ථා ද ඇතිවිය හැක.
ඉහත සඳහන් හේතු මත බිල්පත් ගෙවීම් ප්‍රමාදවීම් හේතුවෙන්, මාස කිහිපයක සිට පාරිභෝගිකයන්ගෙන් “ප්‍රමාද පොලී” අය කර ගැනීමට විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කර ඇති අතර, කෙටි පණිවිඩයක් මගින් මෙම “ප්‍රමාද පොලී” විදුලි පාරිභෝගිකයන් වෙත දන්වා එවනු ලබයි. නමුත්, එම කෙටි පණිවිඩ තුළ, මෙම “ප්‍රමාද පොලී” ගණනය/ අය කරගනු ලබන ආකාරය පිළිබඳව කිසිදු සඳහනක් පෙන්නුම් කර නැත.
එබැවින්, මුද්‍රිත බිල්පත් ලබාදීමෙන් තොරව, මෙසේ ප්‍රමාද පොලී අයකර ගැනීමට උත්සාහ කිරීම සාධාරණ සහ යුක්තිසහගත නොවන ක්‍රියාවකි. මෙම “ප්‍රමාද පොලී” අය කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගෙන ඇති බව, ඒ පිළිබඳව මහජනතාවගේ දැනගැනීම පිණිස අනිවාර්යයෙන්ම අවශ්‍ය ගැසට් පත්‍රයක් මගින් විධිමත් නිවේදනයක් නිකුත් කර ඇති බව හෝ මෙම ගාස්තු අය කිරීම පිළිබඳව මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් විධිමත් දැන්වීම් ප්‍රචාරය කර ඇති බවට ජනතාව දැනුවත් කිරීමට ද අවශ්‍ය පියවර ගෙන නොමැත.
අවම වශයෙන් ඒ පිළිබඳව කෙටි පණිවුඩ මගින් සියලුම විදුලි පාරිභෝගිකයන් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව පිළිබඳව නිරීක්ෂණය කිරීම ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සහ එසේ ඔවුන් දැනුවත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලයේ යුතුකමක් සහ වගකීමකි. එසේ කිරීමකින් තොරව “ප්‍රමාද පොලී” ගාස්තු අය කර ගැනීමට උත්සාහ කිරීම සදාචාරාත්මක ද නොවේ.
එක් විදුලි පාරිභෝගිකයකු වන විශ්‍රාමික රේගු නිලධාරියෙක්, මෙම අකටයුත්ත සහ අසාධාරණය පිළිබඳව මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ලිඛිත විමසීමක් කරන ලදුව, එම කොමිෂන් සභාව විසින් (උපුටා ගැනීම): “තොරතුරු දැන ගැනීමේ පනත අධ්‍යයනය කර, අදාළ පාරිභෝගිකයා විසින් ඉල්ලා ඇති තොරතුරු හා සම්බන්ධව අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස” දන්වා එම පාරිභෝගිකයාට අදාළ ප්‍රදේශයේ ප්‍රධාන විදුලි ඉංජිනේරු වෙත ලිපියක් යොමු කර තිබුණි.
සැබැවින්ම, මෙම ගැටලුවට ස්ථිර සහ නිවැරදි තීරණයක් ලබා ගැනීම සඳහා මෙම ලිපිය යොමු කළ යුතුව තිබුණේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වෙත හෝ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති වෙතය.
පසුව, මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් කොන්දේසි 7 ක් සහිතව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් “විදුලි පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට ද විදුලි බිල්පත් නිකුත් කළයුතු බව” ද එහි එක් කොන්දේසියක් ලෙස සඳහන් කර තිබුණි.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මුද්‍රිත විදුලි බිල්පත්, විදුලි පාරිභෝගිකයන් වෙත එවීමට වැය වන පිරිවැය, විදුලි බිල්පත් මගින් අය කරගනු ලබන අතර, මේ වන විට රට ආර්ථික වශයෙන් යහපත් තත්ත්වයකට පත්ව ඇති බැවින්, ලංකා විදුලිබල මණ්ඩලයට, විදුලි පාරිභෝගිකයන් වෙත මුද්‍රිත විදුලි බිල්පත් එවීමට කටයුතු කිරීම පිළිබඳව ප්‍රායෝගික ගැටලු ඇති නොවන බව අපගේ හැඟීමයි.
• චමිඳු නිසල් ද සිල්වා