2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

රුපියල නැගිල්ලේ වාසි - අවාසි

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

රුපියලේ අගය ශක්තිමත් වීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි සියුම් බලපෑමක් ඇතිකර තිබේ. ඉදිරි කාලයේදී විනිමය අනුපාතිකය හැසිරෙන ආකාරය දෙස සැලකිය යුතු අවධානයක් පවතින බව සඳහන් කළ යුතුය. ආයෝජනය සඳහා කැමැත්තක් දක්වන විදේශීය ව්‍යවසායකයෝ විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය අපේක්ෂා කරති. මෙරටට විදේශ ධනය උපයන ශ්‍රමික ප්‍රජාව විනිමය හුවමාරුවේදී සිදුවන අවාසිය ගැන අවධානය යොමු කර ඇති බව රහසක් නොවේ. අපනයන අංශවලට ද තරමක අවාසි සහගත බලපෑමක් එල්ල විය හැකිය.

පසුගිය දා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ පුවත්පත් සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක හා අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ විනිමය සම්බන්ධයෙන් ඉතා ගැඹුරින් අවධානය යොමු කරන බව සඳහන් කළේය. නුදුරු කාලයේදී වාහන ආනයනයට ඉඩ දෙන ආකාරය ගැන මෙහිදී මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අතර, අමාත්‍යවරයාගේ අදහස විදේශ සම්පත් කෙරෙහි සලකා බලා ඉතා සැලකිල්ලකින් යුතුව එම තීරණය ගන්නා බව ප්‍රකාශ කෙරිණ.

• මූල්‍ය අරමුදලේ තීරණ ප්‍රමාදය තවත් වාසියක්ද?

මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මුණගැසී සාකච්ඡා කළහ. දැනට අනුගමනය කරන මූල්‍ය අරමුදලේ, රාමුව නැවත වෙනසකට භාජනය වනු ඇතිද යන්න තවමත් ප්‍රකාශ වී නැත. මූල්‍ය අරමුදලට අනුව තුන්වැනි වතාවට මෙරට ප්‍රගතිය පරීක්ෂා කර ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක විනිමය ප්‍රමාණයෙන් තවත් කොටසක් නිදහස් කරන්නට නියමිතය. ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය හේතු කොටගෙන පරීක්ෂා කිරීමේ වට ප්‍රමාද විය හැකිය. අලුතින් පත්වන ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව සාකච්ඡා තවත් වටයකට දිගුවීමට ද ඉඩ ඇත.

එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය තවදුරටත් ශක්තිමත් විය හැකිද යන ප්‍රශ්නය පැන නැගී ඇත. ශ්‍රී ලංකාවේ වාර්තා අනුව 2024 වසරේ පළමු කාර්තුවේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට හතකින් ශක්තිමත් වූ අතර, අද වන විට සියයට අට ඉක්මවා ශක්තිමත් වීමක් දක්වා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙහිදී රට තුළට ලැබෙන විනිමය ප්‍රමාණය දියුණු වන අතර රටින් බැහැර වන විනිමය සඳහා ඉල්ලුම අඩු වී තිබේ. පසුගිය මාස ගණන තුළ තිබුණු ආර්ථික පසුබිම අනුව රට තුළ ධනය එකතු වෙමින් පවතින අතර එහි වාසිදායක බව ආර්ථිකය සියයට 4.4 කින් 2024 වසරේ දී වර්ධනය වනු ඇති බවට දැනට කෙරෙන පුරෝකථන ද සනාථ කරයි. කෙසේ වෙතත් පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේ දී ද සියයට තුනකට අඩු වර්ධන අගයක තිබිය හැකි බවට පැවැති පුරෝකථන ආපසු හරවා ඇත. විනිමය අගය, රජයේ ආදායම තරවීම හා නිෂ්පාදන ක්‍රියාවලියේ වෙනස්කම් මෙයට බලපා ඇත.

• රුපියලේ අගය නැවතත් පැමිණ ඇති තැන

ජාත්‍යන්තර මූල්‍ය පර්‌යේෂණ ආයතනයක් වන බ්ලූම්බර්ග් වෙබ්අඩවිය වසර තුනකට කලින් දක්වන ලද පරිදි ශ්‍රී ලංකාවේ රුපියල ලෝකයේ වඩාත්ම පිරිහීමට පත් මුදල් විශේෂ කිහිපයක් අතරින් එකක් වශයෙන් දක්වා තිබුණි. 2023 වසරේ ජනවාරි වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් හාරසියයකට ළඟා විය හැකි බව අනතුරු අඟවා තිබුණු බවද මතක් කළ යුතුය. එම පුරෝකථන වෙනස් වී ඇත. 2022 වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 44.5 ක අවප්‍රමාණය වීමක් පෙන්නුම් කළ රුපියල අද වන විට අවුරුද්දකට කලින් තිබුණු තත්ත්වය පරාජය කර ඇත.

මෙම තත්ත්වයට හේතු වූයේ කුමක්ද? ශ්‍රී ලංකාව මෙතෙක් ලබාගෙන ඇති විදේශ ණය හෝ පොලිය ආපසු ගෙවීම නතර කර තිබේ. දැනට කරගෙන යන සාකච්ඡා අනුව ණය ආපසු ගෙවීම සඳහා වසර 2028 දක්වා සහන කාලයක් හිමිවිය හැක. මෙරට විනිමය ප්‍රමාණයෙන් සැලකිය යුතු කොටසක් ණය වාරික හා පොලිය ගෙවීමට වෙන් කරන්නට සිදු වූ අතර එය අභියෝගයක් වී තිබුණි. අවසන් වතාවට සංවර්ධන බැඳුම්කර සඳහා ජාත්‍යන්තරයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ගෙවීමට ගත් තීන්දුව හේතු කොටගෙන ආර්ථිකය නරක තැනට පත් වූ බව අමතක කළ යුතු නැත. කෙසේ වෙතත් එයින් ඉනික්බිතිව ණය ගෙවීම තාවකාලිකව නතර කරන ලද නමුත් ඇතැම් ණය එනම් බංගලිදේශයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් මිලියන දෙසීයක මුදල වාරික හතරකින් ආපසු ගෙවන්නට සමත් විය. එවැනි ණය කිහිපයක් ගෙවන්නට රටට ලැබුණු විනිමය අනුව හසුරුවා ගැනීම වාසිදායක තත්ත්වයක් වී තිබුණි.

සංචාරක කර්මාන්තයෙන් ලැබුණු වාසිය හා මැදපෙරදිග ඇතුළු රටවලින් ලැබුණු විගමනික ප්‍රේෂණ මෙහිලා ඉතාම ප්‍රයෝජනවත් වූ බව සඳහන් කළ යුතු වේ. අනෙක් අතට ඇඟලුම්, තේ හා කාර්මික අපනයන සුළු වශයෙන් වර්ධනය වීම ද වාසිදායක විය. ඛනිජ තෙල් ආනයනය සුළු වශයෙන් අඩු වී තිබේ. අනෙක් ආනයන වර්ග ද වසරේ මැද කාර්තුවේදී පාලනය වී ඇති අතර එය රුපියලේ අගය ශක්තිමත් වීමට බලපා ඇත.

• අපනයනවලට අත්පත් වන ඉරණම

විනිමය අනුපාතිකය සලකා බලා රුපියල ශක්තිමත් වීම වාසිදායක නමුත් එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශවලට ඉදිරියේදී යම් පීඩනයක් ඇතිවිය හැකි අතර එය නොසලකා හැරිය යුතු නැත. විශේෂයෙන් ඇඟලුම් අපනයනයට අවාසි සිදුවීමට ඉඩ තිබේ. ලෝකයේ අනෙක් රටක මිල සමඟ සැසඳීමේදී මෙරට නිෂ්පාදන මිල ඉහළ තැනක පවතී. එය ඇඟලුම් පමණක් නොව තේ රබර් ඇතුළු කෘෂි නිෂ්පාදන අපනයනයේ දී ද රුපියලේ අගය ශක්තිමත් වීම බාධාවකි. මෑත කාලය තුළ තොරතුරු ආශ්‍රිත කර්මාන්තවල හා සේවා අංශවල අපනයන වර්ධනය වූ අතර ඇතැම් විට එය අඩුවීමකට ලක්වනු ඇත.

විනිමය අනුපාතිකය ශක්තිමත් වීම සුදුසු නමුත් එය අනෙක් පැත්තකින් ඇති කරන බලපෑම ද සලකා බැලීම වටී. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට සිදුවන අවාසිය ද ප්‍රශ්නයකි. ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තිහක පමණ පිරිසක් විදේශගත රැකියාවල නිරතය. ඔවුහු නිතිපතා සිය පවුල්වලට මුදල් එවමින් සිටිති. පිටරටවල වැඩ කරන අතර පරිස්සමෙන් ඉතිරි කරන මුදලින් කොටසක් එවීමෙන් පසු පසුගිය කාලයේ ඩොලර් එකකට ලැබුණු මිලට වඩා අඩු අගයක් අද අතට ලැබෙන බව පෙනේ. පිටරටින් එන ආදායමෙන් යැපෙන පවුල්වලට සැලකිය යුතු පාඩුවක් බව දැක්විය යුතු වේ. මෙකී පාඩුව සලකා බලන විදේශගත පිරිස තමන්ගේ ප්‍රේෂණ යම් ප්‍රමාණයකින් ප්‍රමාද කරන්නට ඉඩ තිබෙන තත්ත්වයක් ද ඇතිවිය හැකිය.

අපනයන අංශ එනම් තේ, ඇඟලුම්, කුළුබඩු හා තොරතුරු තාක්ෂණ අංශය උපයන විනිමය ද ප්‍රමාද සහිතව රටට ගෙන්වා ගැනීමට අපනයනයෙහි නිරත පිරිස් කල්පනා කරන්නට ඉඩ ඇත. ශ්‍රී ලංකා ආර්ථිකය සකස් කරන සැලැස්මක සිටින මූල්‍ය අරමුදල පවා දිගින් දිගටම සිදුවන රුපියල ශක්තිමත් වීම තුළ සැලකිය යුතු ආර්ථික අවාසි ඇති කරන්නට හේතු විය හැකි බව දක්වා ඇති බවද මතක් කළ යුතුව තිබේ.

• තුලිතව තබා ගැනීමේ වගකීම

වාණිජ බැංකු අභ්‍යන්තර තොරතුරු දක්වන පරිදි විනිමය අනුපාතිකය හේතු කොටගෙන පත්ව ඇති වාසියෙන් ප්‍රයෝජන ගන්නා ශ්‍රී ලංකා මහ බැංකුව විනිමය එකතු කරමින් සිටී. විදේශ මුදල් තබාගත හැකි සීමා පනවන මහ බැංකුව ඒවා රුපියල් ගෙවා එකතු කරගන්නා තැනට පත්ව ඇත. එය හොඳ උපායකි. රුපියලේ අගය ශක්තිමත් කිරීමේ සැලැස්මක් මහ බැංකුවේ මැදිහත්වීමකින් තොර බවත් එය වෙළෙඳපොළ උවමනාව අනුව සිදුවන බවත් මහ බැංකුවේ අදහස වී තිබේ. කෙසේ නමුත් මෙහිදී සඳහන් කළ යුතු අනෙක් කාරණයක් ද ඇත. රුපියලේ අගය හේතු කොටගෙන ආනයන වියදම අඩු වේ. එහිදී විශේෂයෙන් ආහාර, ඖෂධ වැනි දේ ගෙන්වන විට විනිමය ශක්තිමත් වීම මත පාරිභෝගිකයාට දැනෙන වාසියක් අත්විය යුතුය. දේශීය ආර්ථිකයට වාසි ලැබෙන වාසිය විනිවිද පෙනෙන ක්‍රමවේද මගින් සාමාන්‍ය ජනතාවට ලැබෙන්නට පිළිවෙළක් සකස් කර තැබීම සුදුසුය. එය අලුත් ආණ්ඩුව අවධානය යොමු කළ යුතු අංශයකි.

විනිමය අනුපාතිකය අවප්‍රමාණය මත ශ්‍රී ලන්කන් ගුවන් සේවාව 2023 වසරේදී රුපියල් බිලියන 142.6 ක පාඩුවක් වාර්තා කරන ලද බව එහි මූල්‍ය වාර්තා දක්වයි. මුදල අවප්‍රමාණය වීම මත එක් ආයතනයක අලාභ මෙතරම් දරුණු වන පසුබිමක මෙහි අනෙක් පැත්තට ළඟාවීම සමඟ ශ්‍රී ලන්කන් පමණක් නොව අනෙක් ආයතන ද වාසිදායක තැනකය. මෙහි ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබෙන්නට සැලැස්වීම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි.

• සාරා කන්දෙගොඩ