2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

රටට කළු පැල්ලමක් ගෙන ආ ශ්‍රීලන්කන් යානයේ ගුවන් නියමු සටන

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

ලෝක සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉතා විරල ගණයේ අසතුටුදායක සිදුවීමක් ඉකුත් 09/21 දින රාත්‍රී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානය නියමුවන් දෙදෙනා අතර සිදු වී තිබේ.

එය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු යූ.එල්.- 607 දරන ගුවන් යානයයි. එම ගුවන් යානය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට 09/21 දින දහවල් 02.00 ට පමණ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණීම සඳහා පිටත් වී තිබුණි. මෙම ගුවන් ගමන සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය තමන් සතු, දැනට විශාලතම මගී ගුවන් යානයක් වන ප්‍රංශයේ නිෂ්පාදිත එයාර් බස් ඒ.- 330 - 300 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබුණි.

මෙම ගුවන් යානය තුළ ඒ වනවිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණීම සඳහා ගුවන් මගීන් 250 කට ආසන්න ප්‍රමාණයක් අසුන්ගෙන සිටි අතර ගුවන් නියමුවන් ඇතුළු ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 15 දෙනෙක් ද එම ගුවන් යානය තුළ සිටියහ.

පැය 09 ක පමණ ගුවන් කාලයක් මෙම ගුවන් ගමන සඳහා ගතවන අතර මෙම ගුවන් යානය 09/21 දින රාත්‍රී 10.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා වීමට නියමිතව තිබුණි. මෙම ගුවන් යානයේ නියමුවන් දෙදෙනාම ශ්‍රී ලාංකිකයන් වීම විශේෂත්වයකි.

මෙම ගුවන් යානය ගුවන්ගත වී පැය කිහිපයකට පසුව මෙම ගුවන් යානයේ සහායක නියමුවා ලෙස කටයුතු කළ නියමුවරියට, සිය ශරීර කෘත්‍ය සඳහා වැසිකිළිය වෙත යාමේ අවශ්‍යතාවයක් ඇති වී තිබේ.

එවැනි අවස්ථාවක මේ බව ප්‍රධාන ගුවන් නියමුවා වෙත වාර්තා කළ යුතු අතර ඉන් පසුව ඔහු විසින් ගුවන් යානා කාර්යය මණ්ඩලයේ එක් සාමාජිකයකු සිය නියමු කුටියේ දොරටුව අසලට ගෙන්වා ගනියි. එහිදී කාර්යය මණ්ඩල සාමාජිකයා, තමා නියමු කුටියේ දොරටුව අසලට පැමිණ ඇති බව ප්‍රධාන ගුවන් නියමුවා වෙත දැනුම් දුන් පසු, ඔහු එම නියමු කුටියේ දොරෙහි සවි කර ඇති කැමරා පද්ධතිය මගින්, එසේ පැමිණ ඇත්දැයි සොයා බලා, එම කාර්යය මණ්ඩල සාමාජිකයා, සිය නියමු කුටිය වෙත ඇතුළු කර ගනියි. ඉන්පසුව නියමු කුටියෙන් පිටතට යාමට අවශ්‍ය නියමුවාට, නියමු කුටියෙන් පිටතට යාමට හැකිය.

ලෝකයේ කවර ගුවන් සේවාවක් වුවද, ගුවන් නියමුවකුට සිය කුටියෙන් පිටතට යාමේදී අනුගමනය කළ යුතු සාමාන්‍ය ක්‍රියා පටිපාටිය එයයි. ඒ අනුව මෙම ගුවන් යානයේ සහායක ගුවන් නියමුවරියට ද සිය ශරීර කෘත්‍ය සඳහා වැසිකිළිය වෙත යාමේ අවශ්‍යතාවයක් පැන නැගී තිබූ අතර, ඇය ඒ බව දන්වා, අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අනුව ඇය නියමු කුටියෙන් පිටතට පැමිණ තිබුණි.
ගැටලුව පැන නගින්නේ ඉන් පසුවය.

ඒ අනුව සිය අවශ්‍යතාවය සපුරාගත් සහායක ගුවන් නියමුවරිය, ආපසු සිය ගුවන් නියමු කුටිය වෙත ඇතුළු වීම සඳහා, නියමු කුටියේ දොරටුව සමීපයට පැමිණ, ඇය නියමු කුටිය වෙත ඇතුළු වීම සඳහා දැනුම් දීම් කිහිපයක්ම සිදු කළ ද, ප්‍රධාන ගුවන් නියමුවා, නියමු කුටියෙහි දොර, ඇයට පැමිණීම සඳහා විවෘත කර නොමැත. මෙය මඳ වේලාවක් ගතවත්ම ගුවන් යානය තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවීමට ද හේතු වී තිබුණි.
මෙම සිදුවීම ගුවන් යානා කාර්යය මණ්ඩලය ද මැදිහත් වී විසඳා ගැනීමට ප්‍රයත්න දැරුවද ඒවා සියල්ලම අසාර්ථක වී තිබුණි. අවසානයේ ලෝක සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම කළු පැල්ලමක් බවට පත් වූ සිදුවීමක් බවට මෙම සිදුවීම පත්වීමට තරම්, ලොව පුරා පැතිරුණු ප්‍රවෘත්තියක් බවට පත් වී තිබුණි.

මෙම සිදුවීම ඍජුවම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයේ සහ එහි ගමන් ගත් මගීන්ගේ සුරක්ෂිතභාවයට දැඩි බලපෑමක් එල්ල කළ සිදුවීමක් බවට පත් වී තිබේ. එනිසා මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධ ප්‍රධාන ගුවන් නියමුවා සහ සහායක ගුවන් නියමුවරියගේ සේවය අත්හිටුවා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් විමර්ශන සිදු කිරීම ආරම්භ කර තිබේ. මෙම සිදුවීම පිළිබඳව තවත් විශේෂ විමර්ශන දෙකක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ද පැවැත්වීම මේ වනවිට ආරම්භ කර තිබේ.

මෙම ගුවන් නියමුවන් දෙදෙනා අතර මෙවැනි සිදුවීමක් ඇතිවීමට හේතු, යළි මෙවැනි සිදුවීමක් ඇති නොවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා පිරිවිතරයන් මේ සිදුවීම නිසා බලපෑමකට ලක් වී ඇත්ද සහ ගුවන් යානයේ සහ එහි ගමන් කළ ගුවන් මගීන්ගේ ආරක්ෂාව යන කරුණු මුල් කර ගනිමින් මෙම සියලු‍ම විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

• කටුනායක ටී.කේ.ජී. කපිල