2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

දිගුකාලීන ආර්ථික සැලසුමක් අවශ්‍යමයි

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 22
අලුත් ආණ්ඩුව බලයට පත්වී තවම මාසයක් ගෙවුණේ හෝ නැත. ජනතාව බලාපොරොත්තු වන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ තමන් දැවුණු ගැටලුවලට ඉක්මන් විසඳුමක් ලැබිය යුතුය යන්නය. මෙම ප්‍රශ්න වැඩි කොටසක් විසඳීම සඳහා මුදල් අවශ්‍ය වෙයි. මේ වසර අවසන් වනතුරු ආණ්ඩුවට දුවන්නට සිදුව ඇත්තේ පෙර රජයෙන් අනුමත වූ 2024 අයවැය ලේඛනය හරහාය. ආණ්ඩුවට අලුතින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට හෝ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට හෝ මේ කාලය තුළ අපහසුය. එසේ වුවද නොලැබී හිඟ හිටුවා ඇති ආදායම කඩිනමින් අය කරගත යුතු අතර, වියදම් පැත්ත හැකි තරම් සීමා කළ යුතුව ඇත. මේ සඳහා දැනටමත් පියවර ගෙන ඇති අතර ප්‍රධාන ආයතනවල සිටි ආදායම් එකතු කිරීමට සහයෝගය නොදක්වන උසස් නිලධාරීන් පවා ඉවත් කිරීමට සිදුවිය.
 
එසේම රජයේ අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමට පටන්ගෙන ඇති අතර කුලී පදනමට ලබාගෙන ඇති රාජ්‍ය ආයතන ගොඩනැගිලි හැකි පමණින් ඉවත් කිරීමට කටයුතු කෙරේ. උසස් නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා අඩුකර ඇත. වාහන පාවිච්චිය පාලනය කිරීමෙන් ඉන්ධන පිරිවැය අඩු කිරීමට පියවර ගනී. දැනටමත් මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 11 ක් වෙන්කර ඇති අතර ඊළඟට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට මුදල් නිදහස් කළ යුතුව ඇත. ඒ අතරම ප්‍රශ්නයක්ව ඇත්තේ පසුගිය ආණ්ඩු ලබාගත් ණය සහ පොලී ගෙවීමය. භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් නිකුත් කර මේ සඳහා මුදල් සොයන අතර ඇතැමුන් ඒ පිළිබඳ විවේචන ඉදිරිපත් කරන බව පෙනේ. එසේ වුවද කෙටි කාලීනව මේ සඳහා විසඳුමක් නැති බව ආණ්ඩුව කියයි. එසේම ජනතාව ඉල්ලන සහනාධාර දීම, වැටුප් වැඩි කිරීම් ආදිය සඳහා ද විශාල මුදලක් වෙන්කළ යුතුව ඇත. ඒ අතර පසුගිය සතියේ ඇතිවූ ගංවතුර තර්ජනයට සහන සැලසීම සඳහා ද රුපියල් මිලියන 100 ක් පමණ වැය කිරීමට සිදුව තිබේ. ආණ්ඩුව සිටින්නේ රැවුලත් කැඳත් දෙකම බේරාගත යුතු තත්ත්වයකය.
 
මේ පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ අවධාරණය කරනුයේ රජය ආදායම් වියදම් කළමනාකරණය පිළිබඳ අවුරුදු පහක් සඳහා වූ දීර්ඝ කාලීන සැලසුමකට යා යුතු බවයි. එසේ නැතිව කෙටි කාලීනව පැලැස්තර විසඳුම් ඉදිරිපත් කිරීම අනාගතය උදෙසා යහපත් ප්‍රතිඵල ගෙන නොදෙනු ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.
 
“2024 වසරට රජයේ අනුමත අයවැය ලේඛනයට අනුව රජයේ මුළු ආදායම රුපියල් බිලියන 4127 ක් වන අතර බදු ආදායම බිලියන 3820 ක් වෙනවා. ආදායම් බදු බිලියන 1080 ක් භාණ්ඩ හා සේවා බදු බිලියන 2235 ක් සහ විදේශ වෙළෙඳ බදු බිලියන 505 ක්ද මෙයට අඩංගුයි. බදු ගෙවන ආදායම බිලියන 287 ක් හා ප්‍රදාන ආදායම බිලියන 20 ක්.
 
ජනවාරි සිට ජූලි දක්වා මාස 7 තුළ ආදායම් ඉලක්කය වූයේ රුපියල් බිලියන 2161 ක් වන අතර මේ ඉලක්කයට ළඟා වීමට අපහසු නොවන බව කිව යුතුයි. මේ කාලය තුළ ඇත්තවශයෙන්ම ලබාගෙන ඇති බදු ආදායම බිලියන 1976 ක්. බදු නොවන ආදායම වශයෙන් බිලියන 179 ක් ලැබී තිබෙනවා. එසේම ලැබුණු ප්‍රදාන බිලියන 6 ක්. මෙයින් පැහැදිලි වන්නේ මේ මාස 7 තුළ අපේක්ෂිත බිලියන 3820 න් බිලියන 1976 ක් ලැබී ඇති බවයි. බිලියන 2000 කට ආසන්න ප්‍රමාණයක් ලබාගත හැකි බව පෙනෙනවා. මේ නිසා අපේක්ෂා කළ මට්ටමට ළඟා විය හැකි බව පෙනෙන්නට තිබෙනවා.
 
වියදම් පැත්ත සලකා බැලූ විට රජයේ මුළු වියදම රුපියල් බිලියන 6978 ක් වෙනවා. එයින් පුනරාවර්තන වියදම් බිලියන 5277 ක්. එය මෙලෙස බෙදා දැක්විය හැකි වෙනවා.
 
වැටුප් හා වේතන ගෙවීම් 1127
භාණ්ඩ හා සේවා මිලට ගැනීම් 341
පොලී ගෙවීම් 2651
සහනාධාර හා පැවරුම් 1158
මුළු පුනරාවර්තන වැය 5277
 
මේ හැර ප්‍රාග්ධන වියදම් වශයෙන් අයවැය අනුව බිලියන 1701 ක් අපේක්ෂා කෙරේ.
 
මෙහි වර්තමාන ප්‍රගතිය අනුව රජයේ මුළු වියදම බිලියන 3034 ක් වන අතර එය අපේක්ෂා කළ මට්ටමට වඩා අඩුය. අඩක් පමණ ප්‍රමාණයක් අඩු වී තිබේ. මේ නිසා යම් ප්‍රගතියක් ඇති බව ප්‍රකාශ කළ හැකි වේ. පුනරාවර්තන වැය 2673 කි. ප්‍රාග්ධන වියදම 361 ක් වේ. ජූලි දක්වා වියදම වර්ධනය වී නොමැති බව පෙනේ. එහෙත් 2023 වසරේ මෙම මාස 07 තුළ බැලූ විට වර්තන වැය පැවතියේ බිලියන 2674 මට්ටමේය. 2024 දී එය බිලියන 2 කින් පමණ සුළු ප්‍රමාණයකින් අඩු වී තිබෙනු පෙනේ.
 
ආර්ථිකයේ සතුටුදායක වෙනස ගැන සැලකීමේදී 2023 දී මුල් මාස 7 තුළ රුපියල් බිලියන 27 ක හිඟයක් දක්නට ලැබුණද, 2024 දී බිලියන 519 ක අතිරික්තයක් තිබෙන බව පෙනේ. 2023 වසර හා සංසන්දනය කරන විට ඒ වසරේදී අයවැය ශේෂය බිලියන 1470 ක හිඟයක් තිබුණද 2024 දී එම හිඟය බිලියන 872 දක්වා පහළ බැස තිබේ. මෙම පරිසරය තුළ ලබාගෙන ඇති ණයවල පොලී ගෙවීමට පමණක් රුපියල් බිලියන 2651 ක් අවශ්‍ය වන අතර රජයේ අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 70 ක් පමණ ණය හා පොලී ගෙවීමට වැය කළ යුතු බව පෙනේ. මුළු ආදායම වූ මිලියන 3820 න් පොලී ගෙවීමට බිලියන 2651 ක් වැය කළ යුතුව ඇත. වර්තමානයේදීද එම අභියෝගය එලෙසම පවතී.
මේ මුදලින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවල මුදල් කල් පිරෙන දිනයට ගෙවිය යුතුව ඇත. ඒ සඳහා ඇති එකම විකල්පය භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර අලුතින් නිකුත් කර ලැබෙන ආදායමෙන් ඒවා ගෙවීමය. මෙය මාසයකට 2 – 3වරක් සිදු කළ යුතුය. රජයේ ආදායම ඉහළ නංවා ගන්නා තෙක් මුදල් ලබාගත යුත්තේ මේ ආකාරයෙනි. සමහරුන් මේ ගැන විවේචන කළ ද, මෙම මුදල් භාණ්ඩාගාර බිල්පත්වලින් උපයා ගන්නේ පැරණි කාලේ සිට පැමිණි ණය ගෙවීමට මිස
වර්තමාන ආණ්ඩුව ලබාගත් ණය ගෙවීමට නොවේ.
 
2024 අයවැය ලේඛනය තුළ ජනතාවට සහනාධාර පැවරුම් සඳහා රුපියල් බිලියන 1158 ක් වෙන්කර තිබුණි. රජයට පාවිච්චි කළ හැක්කේ එයින් ඉතිරි වී ඇති මුදල පමණය.
 
ජනතාව අපේක්ෂා කරන්නේ සහන ලබා ගැනීමටය. මේ වසරේ කෙටි කාලයට පවතින තත්ත්වය පවත්වාගෙන යාමට රජයට සිදුව ඇත. පොහොර සහනාධාරයට රුපියල් බිලියන 15 ක් වැය කළ යුතු අතර, මැතිවරණ වැය බිලියන 11 කි. මේ මුදල අයවැය මගින් කලින් වෙන්කර තිබුණු මුදලක් නොව අලුතින් එකතු වූවකි. අනවශ්‍ය වියදම් අඩුකිරීම නිසා යම් ලෙසකට මෙම අධික වැයට මුහුණ දීමට හැකිව තිබේ. අමාත්‍යංශ තුනක් පමණක් පවත්වාගෙන යාම, වාහන භාවිතය අඩු කිරීම, ගොඩනැගිලි වැය හා විදුලි වැය අඩු කිරීම වැනි පිරිමැසුම් ක්‍රියාවලියකට ආණ්ඩුව ගොස් ඇති බව පෙනේ. එසේම හිටපු දේශපාලනඥයන් වෙනුවෙන් සිදු කළ වියදම් ද සීමා කිරීමට අපේක්ෂිතය. මේ මත වසරේ ඉතිරි මාස 2 – 3 කරගෙන යාමට අපහසුවෙන් හෝ ක්‍රියා කළ යුතුය.
 
එසේ වුවද සැමවිටම පැලැස්තර විසඳුම් සහ වැය කපා හැරීම් සිදු කිරීම අපහසුය. ඒ නිසා මෙයට ස්ථිරසාර විසඳුමකට යා යුතුය. ලබන වසරේ සිට ඉදිරි වසර 5 සඳහා ව්‍යුහාත්මක ගැටලු ගැන ද සලකා බලා වැඩ සැලසුමක් තනා ජනතාවට ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙයි. මුල් වර්ෂයේදී ස්ථිරසාර පදනමක් දමා ඉදිරි වසර හතර තුළ සාර්ථකව ක්‍රියාත්මක කළ යුතුයි. සැලසුම ඉදිරියට යන විට පසු විපරම් කර යම් වැරදි තිබේ නම් ඒවා නිවැරදි කිරීම මැනවි. ජනතාව රජයෙන් තම ගැටලුවලට විසඳුමක් ලැබේ යැයි බලාපොරොත්තු වෙයි. මේ සඳහා රාජ්‍ය ආදායම හැකි තරම් ඉහළ දමා වියදම් සීමා කිරීම වැදගත්ය. අලුතින් බදු පැනවීමට වඩා පනවා ඇති බදු අයකර ගැනීමට උපරිම ශක්තිය වැය කළ යුතු වේ.
 
මේ වනවිට රටේ ආර්ථිකය කෙටි කාලීන ස්ථායිතාවකට පත්ව තිබේ. රුපියල ශක්තිමත් වී ඇත. භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම අඩු වී තිබේ. පොලී අනුපාතය ද පහළ ගොස් ඇත. ආයෝජන කිරීමට පහසුකම් සැලසී තිබේ. අද ඇත්තේ ණය ගැටලුව පිළිබඳ ප්‍රශ්නයයි. ඉදිරියේදී 2024 වසරේ සිට 2025 නොවැම්බරය දක්වා රුපියල් බිලියන 4859 ක ණය බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් ගෙවීමට තිබේ. මෙම ගෙවීම් කළමනාකරණය කළ යුතුව තිබේ. බැඳුම්කර හා බිල්පත් සෑම සතියකටම වරක් කල් පිරෙන නිසා අලුතින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කර ලැබෙන ආදායමින් ගෙවිය යුතුව ඇත. ඉදිරියට එන්න එන්නම ණය වැඩිවන නිසා ණය ගැනීම් සහ ගෙවීම් නිසි ලෙස කළමනාකරණය කළ යුතුය. ඒ නිසා රටේ ආර්ථිකය ස්ථාවර කරන පස් අවුරුදු දිගු කාලීන සැලසුමක් සකස් කර වහා වැඩට බැසිය යුතුව ඇති බව පෙන්වා දෙමි.
 
• යසවර්ධන රුද්රිගු