කෘත්‍රිම බුද්ධිය ලෝකය පාලනය කරන යුගය වැඩි ඈතක නොවේ. රියැදුරකු නොමැතිව මෝටර් රථයකින් ඔබට අවශ්‍ය තැනකට යා හැකි නම් එය කෙතරම් අරුමයක්ද? 2026 සිට ඇමෙරිකානු වැසියන්ට, වාහන පැදවීමකින් තොරව තමන් කැමති ස්ථානයකට ගමන් කිරීමට හැකි මෝටර් රථයක් හඳුන්වා දීමට ටෙස්ලා සමාගමේ ප්‍රධානියා වන එලොන් මස්ක් පියවර ගෙන තිබේ. පසුගිය දා කැලිෆෝනියාවේ බර්බෑන්ක් හි වෝනර් බ්‍රදර්ස් චිත්‍රාගාරයේදී හඳුන්වා දුන් කෘත්‍රිම බුද්ධියෙන් ස්වයංක්‍රියව ධාවනය කෙරෙන මෙම ටැක්සි රථය නම් කර ඇත්තේ “සයිබර් කැබ්” ලෙසිනි. එය පොදු ප්‍රවාහනයේ ඉදිරි පිම්මක් ලෙස මස්ක් හඳුන්වා තිබේ.
සමනළ පියාපත් වැනි දොරවල් දෙකක් සහිත, පැඩල, සුක්කානම හෝ පැති කණ්නාඩි නොමැති ආසන දෙකක් සහිත එහි ඉදිරිපස ඇත්තේ AI5 තාක්ෂණයෙන් යුතු අඟල් 20 ක පරිගණක තිරයක් පමණි. ඉදිරිපස සහ පසුපස කැමරා කිහිපයකින් සමන්විත මෙම අනාගත පෙනුමැති වාහනය ප්‍රේරක (induction) ආරෝපණ පද්ධතියකින් ක්‍රියාත්මක වන අතර එය නවතා තබන අවස්ථාවන්හි රැහැන් සම්බන්ධතාවකින් තොරව ආරෝපණය කර ගත හැකිය. මෙම මෝටර් රථය ටෙස්ලා සමාගමේ ඉදිරි වැඩපිළිවෙළේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් වනු ඇත.
“අපි, රොබෝ” නමින් පැවැති රොබෝ කැබ් රථය එළිදැක්වීමේ උත්සවයේදී එලොන් මස්ක් ප්‍රකාශ කළේ “වර්තමානයේ මහා මාර්ගවල විශාල තදබදයක් තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ එහි රියැදුරා දැඩි පීඩාවකට පත් වෙනවා. මෙම නව කැබ් රථයට රියැදුරකු අවශ්‍ය නොවන නිසා එහි ගමන් කරන්නාට වෙහෙසක් නැහැ. ඔහුට තියෙන්නේ රථයේ වාඩි වී තමන්ගේ වැඩක් කර ගැනීමයි. වර්තමානයේ සියලු වැඩ කටයුතු කර ගැනීම සඳහා රථයක් අවශ්‍යයි. රථවාහනවල මිල අධික වීම, රක්ෂණ ගාස්තු සහ පාකිං වැනි දේ සඳහා අධික මිලක් ගෙවන්නට සිදු වෙනවා. ඔබ සතියකට වැඩිම වශයෙන් පැය දහයක පමණ කාලයක් මෝටර් රථය භාවිත කරාවි. ස්වයංක්‍රීය රථයකින් ඔබේ කාලය ඉතිරි වනවා වගේම භාවිත නොකරන අවස්ථාවල ධාවනයට යොදවා අමතර ආදායමක් උපයාගත හැකි වේවි. අනාගතයේදී මාර්ගවල සැරිසරන මිලියන ගණනක් වන මෙවැනි ස්වයංක්‍රීය වාහන මගින් මිනිසුන්ට තමන් අපේක්ෂිත ස්ථානය කරා ගමන් කළ හැකියි. ජීවිත හානි අනතුරු වළක්වාගත හැකියි. පුද්ගලයකු පදවනවාට වඩා ස්වයංක්‍රීය වාහනය දස ගුණයකින් ආරක්ෂිතයි. කිසිවකුට පෞද්ගලික මෝටර් රථ අවශ්‍ය නොවන අතර ඔබ සුව සේ නිදාගෙන හෝ රාජකාරියක නිරතව සිටින අතර ඔබේ ගමනාන්තයට ළඟාවිය හැකිය. වාහන පැදවීමට ඔබ වැය කරන කාලය, වෙනත් ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා වැය කරන්නට ඔබට අවස්ථාව හිමිවනු ඇත. පොදු ප්‍රවාහනයට වැය කෙරෙන මුදලට වඩා ස්වයංක්‍රීය වාහනයක පිරිවැය අවමයි. පොදු ප්‍රවාහනයේදී සැතපුමක් සඳහා ඩොලරයක් පමණ වැය වන අතර මෙම වාහනයේ සැතපුමක් සඳහා වැය වන්නේ ඩොලර් සත විස්සක් වැනි මුදලකි. අපි අනාගතය අනාගතය ලෙස දකිමු. මෙම රථය 2026 දී වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා අතර, එහි මිල ඇමෙරිකානු ඩොලර් 30,000 කට වඩා අවම වනු ඇතැ”යි යනුවෙනි.
මෙම නව නිර්මාණය සාමාන්‍ය ටැක්සි රථ සේවයට අභියෝගයක් වන අතර නාගරික රථවාහන පද්ධතියේ විශාල වෙනස්කමක් සිදු කරනු ඇත. නව කැබ් රථය හඳුන්වා දීමේදී ටෙස්ලා සමාගමට යම් යම් ගැටලුවලට මුහුණ පෑමට සිදුවනු ඇත. ඒ ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල ස්වයංක්‍රීය වාහන ධාවනය සඳහා නීති සම්පාදනය වී නොතිබීමය. වාහනයේ ගමන් කරන්නාගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතුය. නාගරික ප්‍රවාහනයේ විප්ලවයක් සිදු කෙරෙනු ඇතැයි ටෙස්ලා සමාගම ප්‍රකාශ කළ ද සයිබර් කැබ් රථ මහා පරිමාණයෙන් හඳුන්වා දීමට පෙර ඒවායේ නියාමනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් දැඩි තත්ත්ව සහතිකයක් දිය යුතුය.
මෙම කැබ් රථයට අමතරව 20 දෙනකුට එකවර ගමන් කළ හැකි රොබෝ වෑන් රථයක් ද හඳුන්වා දීමට නියමිතය. එයම නම්කර ඇත්තේ “රෝවෑන්” නමිනි. වාණිජ හෝ පෞද්ගලික භාවිතය සඳහා මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද යොදාගත හැකි එය ටෝස්ටරයක හැඩයෙන් යුතුය. රොබෝ වෑනය තුළ එකිනෙකට මුහුණලා ඇති ආසන පේළි කිහිපයක් ඇත. එහි අසුන් ගෙන ඔබට අවශ්‍ය තැනකට ගමන් කළ හැකිය.
එමෙන්ම ඕනෑම පුද්ගලයකුට තමන්ට සේවය කිරීමට සහයකයකු ලෙස ලබාගත හැකි රොබෝවෙක් ද ටෙස්ලා සමාගම නිර්මාණය කර තිබේ. R2 D2 ලෙසින් නම් කර ඇති මෙම රොබෝව ඩොලර් විසිදහසකට පමණ ලබාගත හැකි වනු ඇතැයි එලෝන් මස්ක් සඳහන් කරයි. ඔබට අවශ්‍ය ද්‍රව්‍ය කඩපළෙන් ගෙන ඒමට, දරුවන් බලා ගැනීමට, ආහාරපාන ගෙන ඒමට, බල්ලන් ඇවිදවීමට ගෙන යාමට, නිවෙස පිරිසුදු කර ගැනීමට, මල් පැළවලට වතුර දැමීමට මෙන්ම මිතුරකු ලෙස ද මෙම රොබෝව කටයුතු කරනු ඇත.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා