පොල්තෙල් කාලයක් තිස්සේ රටේ විවිධ විවේචනයන්ට ලක්වූ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයකි. පාරම්පරිකව පොල්තෙල් අපේ ආහාර, ඖෂධ සහ ඉන්ධන අවශ්‍යතා පිරිමැසීම සඳහා භාවිත වන පිළිගැනීමක් සහිත ද්‍රව්‍යයක්ව තිබුණි. එහෙත් මෑතක සිට පොල්තෙල්වල අගුණ මෙන්ම පොල්තෙල් තුළ ඇති අපද්‍රව්‍ය සහ විෂ ද්‍රව්‍ය ගැන මහා පරිමාණ කතාබහක් වරින් වර ඇතිව-නැතිව යයි. ඒ අතර පොල්තෙල් වෙනුවට වඩාත් සුදුසු බව නිර්දේශ කරමින් විවිධ තෙල් වර්ග වෙළෙඳපොළ වරින් වර ආක්‍රමණය කරයි. දැන් නැවතත් පොල්තෙල් ගැන නරක ආරංචි පැතිරෙමින් පවතී.
පිරිපහදුවට ලක් කළ නමුදු අහිතකර ද්‍රව්‍ය අඩංගු පිටරටින් ගෙන්වූ තෙල් පිළිබඳ කතාව ද දැන් වසර ගණනාවක සිට මේ ලෙසටම කරළියට එන්නකි. දේශීය පොල්තෙල් නිෂ්පාදන ලෙස හඟවමින් පිටරටවල භාවිතයට ගෙන ඉවතලන මේ පොල්තෙල් සහ ෆාම් තෙල් මහා පරිමාණයෙන් මෙරටට ගෙන්වා කෘත්‍රිමව පිරිසිදු කර දේශීය පොල්තෙල් ලෙස අලෙවි කිරීමේ ජාවාරමක් පවතින බවත් එය වහාම නතර කිරීමට කටයුතු කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පසුගිය දා ඉල්ලා තිබුණේ මේ පිළිබඳ මතක අලුත් කරමිනි.
කෘත්‍රිමව පිරිපහදු කළ නමුත් සෞඛ්‍යයට අහිතකර බවට සැක කළ හැකි පොල්තෙල් කිලෝග්‍රෑම් 8000 ක් මේ වසරේ වෙළෙඳපොළට නිකුත් කර ඇති බව අනාවරණය වී ඇත. මීට අමතරව, මෙම හානිකර පොල්තෙල් සඳහා ආනයනකරුවන් ඩොලර් 11,000 ක් වියදම් කර ඇති බවද වාර්තා වේ. මෙහිදී වඩාත් වැදගත් කරුණ නම් රසායනිකව පිරිපහදු කළ, ආනයනික කෘත්‍රිම පොල්තෙල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ලෙස සලකා වැට් බද්දෙන් නිදහස් කර තිබීමය. මේ බදු සහනය ද ලබා ගන්නා අතර රටට ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර පොල්තෙල් මෙලෙස ගෙන්වා භාවිතයට යෙදවීම සිදුවනවා නම් එය බරපතළ තත්ත්වයකි.
කොප්පරා මෙන්ම, විෂ කාරක අඩංගු බවට සැක සහිත පිරිසුදු නොකළ, භාවිත කළ පොල්තෙල් සහ ෆාම් ඔයිල් විශාල ප්‍රමාණයක් පසුගිය කාලයේ ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව ආනයන දත්ත පරීක්ෂාවේදී අනාවරණය වී තිබේ. 2020 ට පෙර ෆාම් ඔයිල් ආනයනය සැලකිය යුතු මට්ටමක පැවති අතර, ශ්‍රී ලංකා රේගු දත්ත පැහැදිලිව පෙන්වා දෙන්නේ එතැන් සිට විෂ සහිත භාවිත කළ පොල්තෙල් මෙරටට ආනයනය කර ඇති බවයි. දේශීය පොල්තෙල් කර්මාන්තය දියුණු කර ඊට සහන ලබා දෙනවා වෙනුවට විෂ සහිත පොල්තෙල් ආනයනය කරන්නන්ට බදු සහන ලබාදීම අඛණ්ඩව සිදු කර ඇත. දේශීය පොල්තෙල් කර්මාන්තයේ නියැලී සිටින අය කියා සිටින්නේ මෙම ක්‍රියාදාමයන් හේතුවෙන් තමන්ට බලවත් අසාධාරණයක් වී ඇති බවයි.
දේශීය පොල්තෙල් නිෂ්පාදනය විවිධ සංවිධානාත්මක බාධකවලට කාලාන්තරයක් තිස්සේ මුහුණ දී සිටියි. ඒ අනුව පොල්තෙල්වල අගුණ ප්‍රචාරණය කෙරෙන අතර ෆාම් තෙල් වැනි විකල්පයන්ගේ ගුණ ගායනා සිදු කෙරේ. වෙළෙඳපොළ තුළ අඩු මිලක් ද නියම වී තිබේ. සැබැවින්ම දැන් ඇති තත්ත්වය අනුව දේශීයව පොල්තෙල් නිපදවීම අසීරු සහ ආර්ථික වාසි නොගෙනෙන කර්මාන්තයකි. එයට වඩා භාවිත කළ තෙල් රටින් ගෙන්වීම හෝ ෆාම් තෙල් රටින් ගෙන්වා බෙදා හැරීම වාසිදායකය. දැන් සැබැවින්ම සිදුවන්නේ ද මෙයයි.
දේශීය පොල්තෙල් නිෂ්පාදකයකු පොල්තෙල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කරන්නේ නම් රුපියල් 132 ක බද්දක් ගෙවිය යුතුය. මෙලෙස පොල්තෙල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 830 ක් පමණ වැය වන බව කියයි. බදු එකතු කළ විට මුළු වියදම රුපියල් 962 දක්වා ඉහළ යයි. පුන්නක්කු වැනි අතුරු නිෂ්පාදනවලින් ලැබෙන ලාභයෙන් යම් පිරිවැයක් පියවා ගත්තද, කර්මාන්තය පවත්වාගෙන යාම මේ යටතේ එන්න එන්නම දුෂ්කර වී ඇත.
එසේ වුවද ආනයනික පොල්තෙල් යොදා ලීටරයක් නිෂ්පාදනය කිරීමේ වියදම රුපියල් 872 කි. ඒ අතර ආනයනික සැක සහිත පොල්තෙල් වෙළෙඳපොළේ අලෙවි වන්නේ ලීටරයක් (බෝතල 1.333 ක්) රුපියල් 630 කට පමණි. මේවා කෘත්‍රිමව පිරිපහදු කළ තෙල්ය.
මේ අතර, ශ්‍රී ලංකාවේ පොල්තෙල් නිෂ්පාදනය කරනවාට වඩා මැලේසියාවෙන් ෆාම් ඔයිල් ආනයනය ලාභදායක බව ඇතැම් ආනයනකරුවන් පෙන්වා දී තිබුණි. එයින් නොනැවතී ඔවුන් එය ක්‍රියාවෙන් ද පිළිපදින ලදී. ඒ අනුව දේශීය පොල්තෙල්වලට වඩා ෆාම් ඔයිල් ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාර දියත් කරන ලදී. ෆාම් ඔයිල් පිරිපහදු කර එළවළු තෙල් ලෙස අලෙවි කරන ලද අතර මෙම ප්‍රවණතාවය 1980 ගණන්වල පමණ සිට ආරම්භ විය.
මෙලෙස දේශීය පොල්තෙල් කර්මාන්තය හෑල්ලුවට ලක් කරමින් ෆාම් ඔයිල් සහ විෂ සහිත පොල්තෙල් ආනයනය කරමින් රටේ ආර්ථිකය හසුරුවන පුද්ගලයන් සිටින බවත්, ඔවුන් දේශීය පොල්තෙල් නිෂ්පාදනය සක්‍රීයව කඩාකප්පල් කර ඇති බවත් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා පෙන්වා දෙයි. මෙයට සමගාමීව භාවිත කළ සහ පසුව පිරිසුදු කළ බව කියන පොල්තෙල් මෙරටට ගෙන්වා බෙදා හැරීම ද දැන් ජාවාරමක් බවට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට පොල්තෙල් ආනයනය කිරීමට කිසිදු තහනමක් නොමැත. ආහාර පනත යටතේ, පිරිපහදු නොකළ පොල්තෙල් සහ පිරිපහදු කළ, විරංජනය කළ සහ ඩියෝඩරීකරණය කළ (RBD) පොල්තෙල් ආනයනය කිරීමට අවසර ඇත. ආනයනය කරන ලද පොල්තෙල් පරීක්ෂා කර පිරිපහදු නොකළ පොල්තෙල් ඇෆ්ලැටොක්සින් පිළිකා කාරක සඳහා පරීක්ෂා කරනු ලැබේ. RBD තෙල් ආනයනය කිරීමේදී එහි FFA අගය, වර්ධක අගය, අයඩින් අගය සහ ඇෆ්ලැටොක්සින් අගය ඉහළින්ම සලකා බලනු ලැබේ. මෙම ප්‍රමිතීන් උල්ලංඝනය කරන කිසිදු පොල්තෙල් වර්ගයක් ශ්‍රී ලංකාවට නීත්‍යානුකූලව ආනයනය කළ නොහැක. නීතිය එබඳුය.
එසේ වුවද, මෙම රීතිය බොහෝ විට නොසලකා හැර ඇති අතර පිටරටින් ගෙන්වූ පිසීමෙන් පසු ඉවතලන තෙල් විශාල ප්‍රමාණයක් නැවත පිරිපහදු කර වෙළෙඳපොළේ විකුණන බව සිල්වා මහතා පෙන්වා දෙයි.
පිරිපහදු කිරීමේ ක්‍රියාවලියෙන් පසු, මෙම පොල්තෙල් සුවඳක් නැත. නමුත් අවශ්‍ය රසායනික ද්‍රව්‍ය එකතු කිරීමෙන් පසු එයට සිත් ඇදගන්නාසුළු සුවඳක් එක් කෙරේ. මෙම තෙල් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන බවට පාරිභෝගිකයන් බොහෝ විට විශ්වාස කරන නමුත් ඇත්ත වශයෙන්ම මෙම පොල්තෙල් නිෂ්පාදනය සිදුව ඇත්තේ මේ දිවයිනේ නොවන අතර දේශීයව සිදු කරන එකම ක්‍රියාවලිය වන්නේ කෘත්‍රිම රසකාරක මගින් පිරිපහදු කිරීම සහ එකතු කිරීම බව ද බුද්ධික සිල්වා මහතා පවසයි.
බොහෝ සමාගම් මේ ආකාරයෙන් පොල්තෙල් ආනයනය කරන අතර ඇතැම්හු තම නිෂ්පාදන ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරති. ඇත්ත වශයෙන්ම, මෙම සමහර සමාගම්වලට රට තුළ පොල්තෙල් කර්මාන්ත ශාලා පවා නොමැති බව සිල්වා මහතා කියයි. ඔවුන් දේශීයව පොල්තෙල් නිෂ්පාදනය කරන්නේ නම් එම සමාගම් පිටරටින් පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කරන්නේ මන්දැයි ද බුද්ධික සිල්වා මහතා ප්‍රශ්න කර සිටියි.
මෙලෙස ආනයනය කරන ලද තෙල් වර්ගවල සුදුසු නුසුදුසු බව රේගුවේ සිට වෙළෙඳපොළ අහඹු පරීක්ෂණ දක්වා අවස්ථා ගණනාවකදීම පරීක්ෂාවට ලක් කර ඒවායේ ගුණාත්මක බව තහවුරු කළ යුතුව ඇත. නමුත් මෙ පරීක්ෂණ නිසි පරිදි සිදුවනවාද? යන්න ගැටලුවකි.
පසුගිය කාලයේ දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් ආරක්ෂා කර ගැනීම සඳහා ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 350 ක බදු පැනවීමක් සිදු කර තිබියදී දේශපාලන හිතවත්කම් මත ඇතැමුන් එම බදු මුදල රුපියල් 150 දක්වා අඩු කරගෙන ඇති බවට බුද්ධික ද සිල්වා පෙන්වා දෙයි. මේ වනවිට දේශීය වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 150 ක ආසන්නයට පැමිණෙමින් තිබෙන බවත් දේශීය පොල් ගෙඩි අපනයනයෙන් විශාල ආදායමක් රටට ලැබෙන බව පවසමින් දේශීය පොල් ගෙඩි පිටරටවලට අලෙවි කරවීමට රාජ්‍ය ආයතනයක් මැදිහත් වන බවත් සඳහන් කරන ඔහු, මෙම තත්ත්වය හමුවේ විදෙස් බාල පොල්තෙල් රටේ ප්‍රවර්ධනය වන බවද කියයි.
මේ වන විටද ලක්ෂ 05 ක පමණ පිරිසක් යැපෙන දේශීය පොල් කර්මාන්තයෙන් ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය නිෂ්පාදකයන් සඳහා පනවා ඇති වැට් බද්ද ඉවත් කිරීම, ආනයනකරුවන්ට දී තිබෙන බදු සහනය රුපියල් 350 දක්වා වැඩි කිරීම සහ වියළි පොල් මද, බදු සහනයක් යටතේ ආනයනය කිරීමට අවස්ථාව ලබාදීම ආදී පහසුකම් සලසන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද බුද්ධික සිල්වා මහතා කියයි. මේ ජාවාරම් හේතුවෙන් දේශීය නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා මුහුණ දෙන ගැටලුවලින් ඔවුන් මුදා ගැනීම රජය සතු වගකීමක් බව ඔහු අවධාරණය කර සිටියි.
• සුගත් පී. කුලතුංග ආරච්චි