ශ්‍රී ලාංකීය දේශපාලනයේ යුග කාරක මිනිසුන් සිය දේශපාලන රංගයෙන් ඈත් මෑත් වී යන නව යුගයක් කරා රට ගමන් කරමින් තිබේ. බොහෝ දේශපාලන චරිත ද කරළියෙන් බැස යාම අරඹා තිබේ. එහෙත් මෙය එහි යහපත අයහපත පිළිබඳ විචාරාත්මක සටහනක් නොවේ. දේශපාලන යුග තුනක් හරහා එක්ව ඇවිද ගිය මිනිසුන් දෙදෙනකු පිළිබඳ කතාවකි.
නම කියූ සැණින් ඔබට විවිධ ප්‍රතිරූප මැවිය හැකි මෙම චරිත ද්විත්වය නම් මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාරයි. දේශපාලන චින්තනය සමපාත නොවුණු නමුත්, දේශපාලන රංගයෙහි බොහෝ තැන්හි එකට සිටි මේ චරිත ද්විත්වය මෙවර කරළියෙන් බැස ගොසිනි. මේ ඔවුන් දෙදෙනා පිළිබඳ මතක ආවර්ජනයයි.
මහින්ද සහ වාසු 1970 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසියහ. මෙම චරිත ද්විත්වය මැතිනියගේ දේශපාලන යුගය, ජේ.ආර්. යුගය සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් පසු එළැඹි නූතන දේශපාලන යුගය යන යුග ත්‍රිත්වයම නියෝජනය කළ චරිත ද්විත්වයකි. එහෙත් ලාංකික දේශපාලනයේ දිශානතිය වෙනස් කරමින් එළැඹි අනුර කුමාර දිසානායක යුගයේදී මෙම චරිත සතු වටිනාකම අඩුවී ගොසිනි.
මහින්ද රාජපක්ෂ සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ 1970 දී බෙලිඅත්ත ආසනය නියෝජනය කරමින්, එකල පැවති නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් විය. ඩී.පී. අතපත්තු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයා මෙහිදී ඔහු අතින් පරාජයට පත්වන විට මහින්ද තේරීපත් වූයේ වැඩි ඡන්ද 6629 ක් ලබා ගනිමිනි. වාසුදේව නානායක්කාර 1970 මැතිවරණය ජය ලැබුවේ ලංකා සමසමාජ පක්ෂයෙන් කිරිඇල්ල අසුනින් වැඩි ඡන්ද 6180 කින් ලබා ගනිමිනි. ඔහු අතින් පරාජයට පත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ ලෙනාඩ් කිරිඇල්ලයි.
මෙම චරිත ද්විත්වයම ඒ වන විටත් දේශපාලන වශයෙන් සක්‍රීය තරුණයෝ වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ වියෝව සිදුවූ 1967 වසරේ, එම පවුලේ දේශපාලන උරුමය පවත්වාගෙන යන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රශ්න කර සිටියාය. රාජපක්ෂ පවුලේ වැඩිමහල් පුත්‍රයා වූ චමල් රාජපක්ෂ පොලිස් සේවාවේ කටයුතු කරමින් සිටි බැවින් ඔහු එම අවස්ථාව ප්‍රතික්ෂේප කොට තිබේ. ඒ වන විටත් පොදු සමාජීය කටයුතුවලට උනන්දුවක් දැක්වූ මහින්ද රාජපක්ෂ වෙත මෙම අවස්ථාව පිරිනමන්නට කටයුතු සකස් වූයේ එලෙසිනි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මහින්ද රාජපක්ෂ වෙත පූර්ණ දේශපාලන ආශිර්වාදය පිරිනැමූ අතර, ඔහුගේ දේශපාලන අනාගතය ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය ද නිර්මාණය කර දෙන්නට වූවාය. එහි කූටප්‍රාප්තිය වූයේ 1970 මැතිවරණය සඳහා නාමයෝජනා ලැබීමයි.
ගාල්ලේ වතුපිටි ඉඩකඩම් තිබූ, ඇති හැකි පවුලක තරුණයකු වුවත් වාසුදේව නානායක්කාරගේ තේරීම වාමාංශික කඳවුර විය. ලංකා සමසමාජ පක්ෂය 1968 දී වාසුදේව නානායක්කාර අවිස්සාවේල්ල ආසන සංවිධායක ලෙස පත් කළේය. ඒ අනුව දේශපාලන අවශ්‍යතා නිසාම වාසුට අවිස්සාවේල්ල උසාවියට සම්බන්ධ වීමට සිදුවිය. 1970 පාර්ලිමේන්තු මැතිවරණය උදා වූයේ ඒ අතරය. අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා සමසමාජ පක්ෂයේ නියෝජිතයා ලෙස වාසුව ඉදිරිපත් කිරීම එම පක්ෂයේ මුල් අරමුණ වී තිබිණි. එහෙත් මේ වන විටත් නිර්මාණය වී තිබූ සමගි පෙරමුණ පොදු සන්ධානයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක ඊට එතරම් කැමැත්තක් නොදැක්වීය. වාසුදේව නානායක්කාර හට අලුතින් නිර්මාණය වූ කිරිඇල්ල ආසනය තෝරා ගැනීමට සිදුවූයේ එබැවිනි.
වාසුදේව නානායක්කාර සහ මහින්ද රාජපක්ෂ යන චරිත ද්විත්වයම ප්‍රගතිශීලී දේශපාලන තරුණයන් ලෙස ආරම්භයේ සිටම කැපී පෙනුණි. 1970 පාර්ලිමේන්තු ගිය මහින්ද රාජපක්ෂ එවක පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයා විය. එවකට සම්ප්‍රදාය අනුව සිදු කරනු ලැබූ ආණ්ඩුකාරවරයාගේ රාජාසන කතාවෙන් පසු ස්තූති යෝජනාව රැගෙන ගොස් භාරදීමේ අවස්ථාව හිමි වූයේ පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරයාටයි. ඒ අනුව හැත්තෑවේදී මහින්ද රාජපක්ෂ සහ එඩ්වින් වික්‍රමරත්න මෙම අවස්ථාව උදාකරගත්තෝ වූහ.
මේ අතර වාසුදේව නානායක්කාර කම්කරු නායකයෙක් ලෙසින් කරළියට පැමිණෙමින් සිටියේය. 1971 කැරැල්ල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වුවද කැරැල්ලට සම්බන්ධබවට එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහු සිරබාරයට පත්විය. වමේ කඳවුරේ ප්‍රධාන නායකයන් අතර රැඳෙන්නට වාසු සමත් වූ නමුත් 1977 දේශපාලන නායයෑමේ ඔහු ද ගොදුරක් බවට පත්විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ක්‍රමයෙන් ඉදිරියට පැමිණෙමින් සිටි තරුණ නායකයකු වූ මහින්ද රාජපක්ෂගේ ඉරණම ද එයම විය. එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කරගෙන තිබුණි.
මේ අතර කාලයේ වාසුදේව නව දේශපාලන ව්‍යාපාරයක් සමඟ එක්වූ අතර එය නව සමසමාජ පක්ෂය විය. ඔහු ශ්‍රී ලංකාවේ පැවැති පළමු ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ද ඉදිරිපත් විය. එය ද සුවිශේෂී සිදුවීමක් වූ අතර අවසානයේ හෙක්ටර්, කොල්වින්, වාසු, විජේවීර ඇතුළු සැමට උරුම වූයේ පරාජයයි.
කෙසේ වෙතත් මේ අතර කාලයේ ශ්‍රී ලාංකීය දේශපාලනය ඉතා ආන්දෝලනාත්මක ස්වරූපයක් ඉසිලීය. වාසු සහ මහින්ද දෙදෙනාම පාර්ලිමේන්තුවෙන් පිටත ආණ්ඩු විරෝධී බලවේග සමඟ සටනට අවතීර්ණ වී සිටියහ. කළු ජූලිය, ඉන්දු ලංකා ගිවිසුම, දකුණේ භීෂණය, උතුරේ යුද්ධය, සැබවින්ම මෙය භීම සමයක් විය. මෙම සමයේ මානව හිමිකම් වෙනුවෙන් දැඩිව පෙනී සිටි චරිත අතර මහින්ද රාජපක්ෂ සහ වාසුදේව නානායක්කාර කැපී පෙනුණි.
ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ අතුරුදන් වීම් සහ ඝාතන පිළිබඳ වාර්තා කරන්නට ජිනීවා යාම සඳහා පිඹුරු පත් සැකසුණේ වාසු සහ මහින්ද වටා බව දේශපාලන ඉතිහාසයේ ලියැවී තිබේ. එහෙත් ඔවුන් දෙදෙනා ගුවන් තොටුපළේදී පරීක්ෂාවට ලක්වන විට අදාළ ඡායාරූප සහ ලියකියැවිලි අත්අඩංගුවට ගැනුණු බව කියැවේ. වාසු සහ මහින්ද පොදු සතුරන් අභිමුව එක්ව සටන් කිරීමේ ළබැඳියාව දශක තුනකට ඉහතදී නිර්මාණය වූවක් බව ඒ අනුව පෙනී යයි.
1989 පාර්ලිමේන්තු මැතිවරණයේදී වාසුදේව නානායක්කාර සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනා හටම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හිමි විය. මේ සමඟම ක්‍රමිකව මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලන චරිත ලෙස ඔවුහු නැගී ආහ. මහින්ද රාජපක්ෂ ක්‍රමයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉදිරියට පැමිණි අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක යටතේ අග්‍රාමාත්‍ය ධුරය දක්වාම ගමන් කිරීමට ඔහුට හැකියාව ලැබුණි. අවසානයේදී 2005 තීරණාත්මක ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වීමේ අවස්ථාව ද ඔහුට හිමි විය.
මහින්ද රාජපක්ෂගේ දේශපාලන භාවිතය සියල්ලන් සමඟ හිතවත්ව සමීපව සිටීම බව පෙනී ගියේය. දේශපාලනය කිරීම සඳහා දුහුවිලි පවා අවශ්‍ය වන බව නිතර කියූ ඔහු ක්‍රමයෙන් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ජනකාන්තම නායකයා බවට පත් විය. තිස් වසරක යුද්ධය නිමා කිරීමේ ගෞරවය ඔහු සතු කර ගැනීමට මහින්ද රාජපක්ෂ සමත් වූයේය. මෙරට ඉතිහාසයේ ක්‍රියාත්මක වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ද ඔහුගේ පාලන කාලය තුළ ආරම්භ කිරීමට අවස්ථාව සැලසුණි. කෙසේ වෙතත් ඔහු ඇතුළු පවුලට දූෂණ වංචා පිළිබඳ චෝදනා නිරන්තර නැගුණු බවද සැඟවිය යුතු නොවේ.
1999 දී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පිහිටුවා ගනිමින් පක්ෂ නායකයකු ලෙස සිය ගමන නැවතත් ආරම්භ කළ වාසුදේව නානායක්කාර 2000 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්විය. කෙසේ වෙතත් වාසු මතවාදීව වාමාංශික කඳවුරේ රැඳුණ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කඳවුර සමඟ නිරන්තරව සන්ධානගත වෙමින් ඉදිරියට ගමන් කළේය. 2006 - 2010 කාලය තුළ කොළඹ මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීමට ද වාසු සමත් විය.
අනතුරුව කෙසේ හෝ පාර්ලිමේන්තු පැමිණි වාසුදේව නානායක්කාර මහින්ද රාජපක්ෂ දේශපාලන යුගය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. මහින්දගේ හිතෛෂී චරිතයක් වූ වාසු, ආසන්නතම විවේචකයා ද වූ බව ඓතිහාසික දේශපාලන සිදුවීම් පිරික්සා බලන විට පෙනී යයි. විටෙක මෙම දෙදෙනා දෙපසට වෙන් වූ අතර, තවත් විටෙක එකට එකතු වෙමින් වැඩ කළහ. වාසුදේව නානායක්කාර වාමාංශික අදහස් පෙරටු කර ගනිමින් කටයුතු කිරීමේදී තරමක් ආවේගශීලී පුද්ගලයකු වන බව පෙනී ගියේය. ඒත් මහින්ද රාජපක්ෂ උපක්‍රමශීලී චරිතයක් ලෙසින් බලය හසුරුවන්නට විය.
2015 මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූ විට නැවතත් ඔහු කරළියට රැගෙන ඒමට පෙරමුණ ගත් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයකු ලෙස ද වාසුදේව නානායක්කාර කැපී පෙනුණි. පාර්ලිමේන්තුවේ ගැටුම්වලදී වයස නොතකා ඒවාට මැදි වූ ඔහු පුවත් මවන්නකු බවට පත්විය. 2019 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට රැගෙන ඒමට කටයුතු කළ වාසු, අවසන් අර්ධයේ දී ගෝඨාභය ද හැර ගියේය. අවසානයේදී වාසු ඇතුළු කණ්ඩායම හුදෙකලා වන තත්ත්වයක් 2024 වන විට නිර්මාණය විය. මේ අතර තමන්ගේ ආශිර්වාදය නොලැබුණද ඉතිහාසයේ පළමු වරට වාමාංශික ආභාෂයක් සහිත ආණ්ඩුවක් මෙරට බලයට පත්වීමත් සමඟ වාසු සිය සමුගැනීම සනිටුහන් කරන්නට වූයේය. ඒ නව ආණ්ඩුවට සිය ආශිර්වාදය එක් කරමිනි.
මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක, ජනාධිපති භූමිකාව, අග්‍රාමාත්‍ය භූමිකාව ආදී විවිධ භූමිකාවන්ට පණ පොවමින් මෙරට දේශපාලනයේ ඓතිහාසික චරිතයක් බවට පත්විය. එහෙත් නව යුගය ඇරඹෙද්දී ඔහුගේ දේශපාලන භාවිතයට ද තවදුරටත් සැලකිය යුතු ප්‍රසාදයක් නොලැබෙන තත්ත්වයක් ඉස්මතු වූයේය. ඉතිහාසයේ පළමු වරට මැතිවරණය සඳහා තරග කිරීමෙන් වැළකී සිටින්නට ඔහු කටයුතු කළේය. ඒ අනුව මහින්දලා සහ වාසුලාගේ යුගය මෙලෙස නිමාවට පත් විය.
• චමිඳු නිසල් ද සිල්වා