ඉතිහාසයේ පළමු වතාවට මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ සුදුසුකම් මහ මැතිවරණයට පෙර ජනතාවට දැන ගැනීමට අවස්ථාව සැලසෙන ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමට පැෆරල් සංවිධානය, මාර්තු 12 ව්‍යාපාරය සහ ඩිජිටල් තාක්ෂණ සමාගමක් වන හෙළකුරු ආයතනය ගිවිසුමකට එළැඹ තිබේ. “දැනගෙන දෙන්න” (Know your candidate) ලෙස නම් කර ඇති මෙම වැඩසටහන මෙරට මැතිවරණ ඉතිහාසයේ සහ දේශපාලන සංස්කෘතියේ හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. පාර්ලිමේන්තුව සඳහා අපේක්ෂකයන් 225 දෙනකු තෝරා පත්කර ගැනීමට නියමිත මෙවර මැතිවරණයට අපේක්ෂකයන් 8000 කට අධික පිරිසක් ඉදිරිපත් වී ඇති අතර ඔවුන්ගේ තොරතුරු මෙම යෙදවුම හරහා දැන ගැනීමට ජනතාවට අවස්ථාව හිමිවනු ඇත.
මාර්තු 12 ව්‍යාපාරයේ සම කැඳවුම්කරු සහ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ මෙමගින් ජනතාවට තමන් තෝරා පත්කර ගන්නා අපේක්ෂකයාගේ ගුණාත්මකභාවය හා ඔහුගේ සුදුසුකම් පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවටය.
“ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතුරින් 225 ක් තෝරා ගැනීම ජනතාවගේ වගකීමක්. ඒ සඳහා ජනතාවට අවශ්‍ය කරන තොරතුරු ලබා දීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි. මෙහිදී ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට අපේක්ෂා කරනවා. ඒ අනුව අපේක්ෂකයාගේ නම, වයස, ඉහළම අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය තොරතුරු, ආදායම් මාර්ග, දේශපාලන පක්ෂය, දිස්ත්‍රික්කය, මනාප අංකය, වත්කම් බැරකම් ප්‍රකාශ, දේශපාලන පළපුරුද්ද, පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අරමුණ, ජනතාව ඡන්දය ලබා දිය යුත්තේ ඇයිද වැනි තොරතුරු අන්තර්ගතයි.
මෙමගින් අපේක්ෂකයන්ට ඔවුන්ගේ වැඩපිළිවෙළ හා දැක්ම මෙන්ම මන්ත්‍රීවරයකු ලෙස පත්වුවහොත් ඔවුන්ගේ ප්‍රමුඛතා ජනතාවට ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනවා. මෙම ව්‍යායාමය තුළින් අප ප්‍රධාන අරමුණු දෙකක් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරනවා. පළමුවැන්න දේශපාලන පක්ෂවලට සහ අපේක්ෂකයන්ට මැතිවරණ නීතිවලට යටත්ව සාධාරණ ප්‍රචාරයක් ලබා දීම. දෙවැන්න ඡන්දදායකයාට දැනුම්වත්ව තම අපේක්ෂකයා තෝරා ගැනීමට අවස්ථාව සැලසීම.” යනුවෙනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික මංජුල ගජනායක මහතා සඳහන් කළේ මෙවැන්නකි.
“ශ්‍රී ලංකාවේ මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් හැමදාම මැතිවරණවලට ඉදිරිපත් වූයේ සැඟවුණු අමුත්තන් වගේ. දේශපාලන අපේක්ෂකයන් විසින් ලබා දෙන තොරතුරු වෙනුවට ජනතාව විසින් ඔවුන් සුදුසු දැයි තීරණය කිරීමයි අපට අවශ්‍ය වන්නේ. මෙවැනි දෙයක් නිර්මාණය වන විට එය දේශපාලකයන් අපහසුවට පත් කිරීමට කරන්නක් හෝ ඔවුන් පරාජය කරන්නට දරන උත්සාහයක් යැයි ඇතැමෙක් සිතන්නට පුළුවන්. එහෙත් අපේක්ෂකයකුට තිබිය යුතු සුදුසුකම් නිර්මාණය කිරීමෙන් හා ජනතාව දැනුම්වත් කිරීමෙන් සිදු කරන්නේ සුදුසුකම් ඇති අපේක්ෂකයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමයි. එහෙයින් ජනතාව මෙම යෙදවුම ඇසුරින් අපේක්ෂකයන්ගේ සුදුසුකම් විමසා බලා සුදුසු අපේක්ෂකයන් තෝරා ගැනීමට පියවර ගැනීම වැදගත්. ශ්‍රී ලංකාවට සංවර්ධන ඉලක්ක සපුරාගත හැකි අලුත් පාර්ලිමේන්තුවක් බිහි කර ගැනීමට මෙය සුදුසු වේදිකාවක් වේවි.”
මේ සම්බන්ධයෙන් හෙළකුරු යෙදවුමේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ ධනික පෙරේරා මෙලෙස සඳහන් කළේය.
“මෙතෙක් පැවති පාර්ලිමේන්තු මැතිවරණවලදී බොහෝ විට ජනතාව තම අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කළේ එම අපේක්ෂකයා පිළිබඳව නිසි දැනුමක් නොමැතිවයි. එවැනි පිරිස් නිසා රටට අත්වූ ඉරණම දැන් පැහැදිලියි. ජනතාව තමන් පත් කර යැවූ නියෝජිතයන් පසුව ප්‍රතික්ෂේප කරමින් 225 ම එපා කියන තත්ත්වයට පත් වුණා. එසේ වීමට එක් හේතුවක් වූයේ තමන් පත් කර යවන නියෝජිතයන් පිළිබඳ සැබෑ තොරතුරු දැන ගැනීමට ක්‍රමයක් නොතිබීමයි. මේ නිසා සිදුවූයේ ජනතාව අපේක්ෂකයන්ගේ නාමික ප්‍රසිද්ධියට හෝ කවුරුන් හෝ කියූ පලියට ඔවුනට ඡන්දය ප්‍රකාශ කිරීමයි. නව යෙදවුම මගින් අපේක්ෂකයන් පිළිබඳ සියලු තොරතුරු දැනගෙන ජනතාවට තම අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අවකාශ සැලසෙනවා.” යනුවෙනි.
මෙවර පැවැත්වෙන මහ මැතිවරණය සඳහා අපේක්ෂකයන් 8388 ක් තරග කිරීමට නියමිතය. ඒ පාර්ලිමේන්තුවේ ආසන 225 න් මහජන ඡන්දයෙන් තෝරා ගැනෙන අපේක්ෂකයන් 196 දෙනා සඳහාය. ඉතිරි 26 දෙනා ජාතික ලැයිස්තුවෙන් පත් කර ගැනේ. මෙවර මහ මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර764 ක් ඉදිරිපත්ව තිබූ අතර ඉන් 74 ක් ප්‍රතික්ෂේප විය. මෙවර විශේෂත්වය වන්නේ හිටපු ජනාධිපතිවරුන් තිදෙනකු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනකු පමණ මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමය. එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තවත් පිරිසක් මැතිවරණයට ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට අදහස් කර තිබේ.
මෙවර මහ මැතිවරණයට වැඩිම අපේක්ෂකයන් පිරිසක් තරග කරනු ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 18 සඳහා අපේක්ෂකයන් 966 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. වැඩිම මන්ත්‍රීන් පිරිසක් පත් වනුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ මන්ත්‍රී ආසන 19 ක් සඳහාය. ඒ සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂක සංඛ්‍යාව 902 කි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 15 ක් සඳහා අපේක්ෂකයන් 486 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 12 ක් සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් සංඛ්‍යාව 510 කි. කෑගල්ල දිස්ත්‍රික්කයට මන්ත්‍රීවරුන් 9 දෙනකු තෝරා ගැනෙන අතර ඒ සඳහා ඉදිරිපත්ව සිටින පිරිස 216 කි. මාතලේ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් 184 දෙනකු තරග වදින්නේ ආසන 5 ක් සඳහාය. නුවරඑළිය දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 8 ක් හිමිය. ඒ සඳහා 308 දෙනෙක් තරග කරති.
රත්නපුර දිස්ත්‍රික්කය සඳහා ඇති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 11 කි. ඒ සඳහා අපේක්ෂකයෝ 350 ක් ඉදිරිපත්ව සිටිති. කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 11 ක් සඳහා අපේක්ෂකයන් 392 ක් ඉදිරිපත් වෙති. ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන 9 සඳහා අපේක්ෂකයන් 264 ක් ඉදිරිපත්ව සිටින අතර මාතර දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන 7 සඳහා අපේක්ෂකයන් 220 ක් ඉදිරිපත්ව සිටිති. හම්බන්තොට දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන 7 සඳහා 259 දෙනෙක් තරග වදිති. අනුරාධපුර දිස්ත්‍රික්කයට හිමි මන්ත්‍රී ආසන 9 සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂක සංඛ්‍යාව 312 කි. පොළොන්නරු දිස්ත්‍රික්කයට මන්ත්‍රී ආසන 5 ක් හිමිවන අතර 120 දෙනෙක් ඒ සඳහා ඉදිරිපත්ව සිටිති.
බදුල්ල දිස්ත්‍රික්කයට ද මන්ත්‍රී ආසන 9 කි. ඒ සඳහා 240 දෙනෙක් තරග කරති. පුත්තලම දිස්ත්‍රික්කයට අපේක්ෂකයන් 429 දෙනෙක් තරග වදින්නේ මන්ත්‍රී ආසන 8 ක් සඳහාය. දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට ද මන්ත්‍රී ආසන 7 ක් හිමිවන අතර ඒ සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂක පිරිස 640 කි. යාපනය දිස්ත්‍රික්කයට ආසන 6 ක් හිමිවන අතර ඒ සඳහා 396 දෙනෙක් තරග කරති. වන්නියට ආසන 6 ක් හිමිවන අතර තරග වදින අපේක්ෂක සංඛ්‍යාව 459 දෙනෙකි. මඩකලපුවට ආසන 5 ක් හිමිය. ඒ සඳහා 392 ක් තරග කරති. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට හිමි ආසන සංඛ්‍යාව 4 කි. ඒ සඳහා 217 දෙනෙක් තරග කරති. මොණරාගල දිස්ත්‍රික්කයට හිමි ආසන 6 සඳහා ඉදිරිපත්ව ඇත්තේ 135 දෙනෙකි.
මෙතරම් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසීමට අදහස් කරනුයේ කුමන අරමුණක් මතදැයි ජනතාව වටහා ගත යුතුය. පසුගිය කාලය පුරාවටම පාර්ලිමේන්තුවට පත් කෙරුණු වැඩි පිරිසක් තව තවත් උපයා ගැනීමේ අරමුණින් හා වරප්‍රසාද හිමිකර ගැනීමේ චේතනාවෙන් පාර්ලිමේන්තුවට පිවිසි බව නොරහසකි. පසුගිය පාර්ලිමේන්තුව තරම් අපකීර්තියට පත් පාර්ලිමේන්තුවක් ඉතිහාසය පුරාවටම නොපැවති බව බොහෝ දෙනකුගේ අදහසයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, වංචනික ව්‍යාපාරිකයන් මෙන්ම විවිධ දූෂණවලට සම්බන්ධ විශාල පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කළ බව ජනතාවට රහසක් නොවේ. 225 ම එපා යනුවෙන් ජනතාව හඬ නැඟුවේ ඔවුන් ජනතා නියෝජිතයන් නොව ජනතාව පෙළන ඕනෑම දෙයකට අත එසවූ පිරිසක් බව ජනතාවට වැටහී ගිය බැවිනි. අවසානයේ අරගලයක් තුළින් ජනාධිපති සහ අගමැති පහකර දැමීම දක්වා ජනතා විරෝධය වර්ධනය විය. අවසානයේ පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් යළි තරග නොකරන්නට පවා තීරණය කළේ ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරන බැව් හොඳින් වටහා ගත් බැවිනි. එහෙයින් 2024 මහ මැතිවරණය තීරණාත්මක එකකි. යළි නුසුදුස්සන් පත් කර නොයැවීම පිළිබඳ වගකීම ඇත්තේ ඔවුන්ගේ ඡන්දයේය. හදවතට නොව බුද්ධියට අනුව ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ වගකීම වනු ඇත. වසර 76 ක් කළ මෝඩකම් යළි නොකරන්නට ජනතාව වග බලාගත යුතුය.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්ව