2017 ජුනි 24 වන සෙනසුරාදා

කුණු කඳු මැද ඩෙංගු මදුරුවෝ රජවෙති

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 166

මැයි මාසයේ දිනක පවුලේ සමීප ඥාති සහෝදරියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා ඇඳුමක් රැගෙන ඒමට මම ත්‍රීරෝද රථයක නැගී ගම්පහ සිට නයිවලට යමින් සිටියෙමි. එසේ යන අතර මග එක්තරා ප්‍රදේශයක් සම්පූර්ණයෙන් සුදු කොඩි වලින් සරසා තිබුණේය. මරණ ගෙයකි. ත්‍රීරෝද රථය මඳක් නවත්වා ඒ අසල සිටි තරුණයන් පිරිසකගෙන් මිය ගොස් ඇත්තේ කවුරුන්දැයි විමසුවෙමි.

 මියගොස් ඇත්තේ 1989 උපන් හැඩි දැඩි තරුණයෙකි. යුද හමුදාවේ නර්තන කණ්ඩායමේ නර්තන ශිල්පියෙකි. මරණයට හේතුව ඩෙංගු රෝගය බව එහි සිටි තරුණයෝ පැවසූහ. එය ඇසූ සැණින් මාත් ත්‍රීරෝද රථයේ රියදුරුත් කම්පනයට පත්වූ අතර අප දෙදෙනා එන අතරමග එම සිද්ධිය ප්‍රධාන මාතෘකාව විය.

ඊට පසුදින මාගේ ඥාති සොහොයුරියගේ විවාහ උත්සවය පැවැත්විණි. මංගල්‍ය උත්සවය අතරතුර දහවල් කාලයේ යම් කාලගෝට්ටියක් මංගල සභාවෙන් ඇසිණි. මාගේ ඥාති සහෝදරිය වන මනමාලියට ක්ලාන්තය ඇති වී ඇත. ඇයට කෙළින් සිටීමට නොහැකි තරම් අසීරුය. හේතුව වුයේ ඇයට ඩෙංගු රෝගය වැළඳ සුවවී සතියක්වත් ඉක්මව ගොස් නොතිබීමය. මේ නිසා මංගල්‍ය අතර මැද පැයක් මනමාලිය ඇඳක වැතිරී විවේකීව ඉන්නට සිදුවිය.

එම මංගල්‍ය නිමවී සතියක් ගියේ නැත. මාගේ බිරිඳ එක් දිනක රාත්‍රියක කියූ දෙයකින් නැවතත් මම කම්පනයට පත් වීමි.  මාගේ මස්සිනාගේ (බිරිඳගේ බාල සහෝදරියගේ ස්වාමියා) බාල සහෝදරිය රටම දන්න භික්ෂුණියකි. ඇය ප්‍රවීණ මාධ්‍යවේදී දයා පෙරේරා මහතාගේ දෙටු දියණිය වන ශාන්ත නන්දා භික්ෂුණියයි. බිරිඳ කියූ පරිදි ඇයට ඩෙංගු වැළඳී ජ'පුරේය. ඇයට තරමක් බරපතළය. එය හමුදා සෙබළාගේ මරණය ගැන ඇතිවූ කම්පනය දෙගුණ වී එදා මට දැනුණේය. එම කම්පනය සිතේ තදකර ගනිමින් ඇයට සිතින් සුවය ප්‍රාර්ථනා කළමි.

දින තුනක් ගතවුණේය. එක් දිනක රාත්‍රී 11 ට පමණ බිරිඳට ලැබුණු ඇමතුමකින් ඈ හඬා වැලපෙන්නට වූවාය. පණිවිඩයට අනුව ශාන්ත නන්දා භික්ෂුණිය රාත්‍රියේ සදහටම දෙනෙත් පියාගෙන සිටියාය. මාගේ කම්පනය දෙගුණ තෙගුණ විය. සිදුවී ඇති දේ හැමදෙනාටම දරා ගත නොහැකි සිදුවීමකි. මේ නිසා පවුලේ හැමෝම සිටියේ දරාගත නොහැකි ශෝකයෙනි.

එතැන් සිට අපි දින කිහිපයක් ශාන්ත නන්දා භික්ෂුණියේ මරණ ගෙදර යමින් එමින් සිටියෙමු. දේහය තැන් පත්කර තිබුණේ ඇය වැඩ වාසය කළ පානදුර ගොරකානේ භික්ෂුණි ආරාමයේය. දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි බොහෝ දෙනා ළඟ පැඟිරි තෙල් සුවඳය. අපේ පවුලේ අය ළඟද පැඟිරි තෙල් කුප්පි ගණන්ය. ඒ පුංචි මදුරුවකුගෙන් ආරක්ෂා වීමටය. එසේම භික්ෂුණියටද ඩෙංගු වැළඳී තිබුණේ එම ප්‍රදේශයේදීය .ඒ නිසා හැමෝම සිටියේ පෙන්විය නොහැකි බියකිනි. 

එම මරණ ගෙයි වැඩ කටයුතු අවසන් කර ගෙදර ආවේ හතුරකුටවත් මෙවැනි විපත් නොවේවා යැයි සිතමිනි. සතියක් ගතවුණේ නැත. එක් දිනක මධ්‍යම රාත්‍රියේ ලැබුණු පණිවිඩයකින් මුළු පවුලම කඩා වැටිණි. ඒ මාගේ බිරිඳගේ නැගණියට ඩෙංගු රෝගය වැළඳී තිබූ නිසාය. අතීතයේ අඳුරැ සිදුවීම් නිසා හැමදෙනාම සිටියේ බියෙනි. හැකි ඉක්මනින් ඇයව රෝහල් ගත කළයුතු නිසා ඩෙංගු රෝගයට හොඳම තැන යැයි බොහෝ දෙනා විශ්වාස කරන අංගොඩ උණ රෝහලට විවිධ සබඳතා ඔස්සේ කතා කළෙමි. ඒත් පළක් නොවීය. පමණට වඩා ඩෙංගු රෝගීන් ඇත. දෙවනුව අංගොඩ උණ රෝහල තරම්ම හොඳ යැයි විශ්වාස කරන මීගමුව රෝහලට ගෙන යාමට සූදානම් වූයෙමු. රාත්‍රියේ රැගෙන ගියත් ඔවුන්ද රෝගියා බාර ගත්තේ නැත. හේතුව ඉඩ නොමැති වීම නිසාය. රෝගය බරපතළ වූ අය පමණක් රෝහලට බාරගන්න තැනට පත්ව තිබිණි.

පසුව ඇයව මීගමුවේම පෞද්ගලික රෝහලකට ඇතුළත් කළෙමු. එහෙත් එහිද ඉඩ නැත. ලෙඩුන් සිටින්නේ පුටු මතය. සියලු කාමර ඩෙංගු රෝගීන්ගේ පිරී ඉතිරී ගොස්ය. කාමරයක් දීමට නොහැකි නිසා ඇයව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ගනු ලැබුවාය. පෞද්ගලික රෝහලක් වුවත් එහිද සීමාවට වඩා රෝගීන්ය. එම රෝහල පුරාම ඩෙංගු රෝගීන්ය. එක ඇඳේ තාත්තලා දුවලාය. තවත් තැන්වල කුඩා දරුවන්ය. හැමෝම තැන් තැන්වල තමන්ගේ ලෙඩාගේ බ්ල්ඩ් කවුන්ට් එක ගැන කතා කරමින් කාල ගෙවති. රෝහල එකම විසාලාවක් සේය. කෝටි ගණන් සල්ලි ඇත්තෝද එතනට පැමිණ ඇඳවල් නොමැතිව පීඩා විඳිති. එය දුටුවිට ජීවිතය මොනතරම් විහිළුවක්දැයි සිතුණුවාර අනන්තය.

කෙසේ වෙතත් මේ අතරතුර එම රෝහලට රැගෙන ආ තරුණියකට ඇඳක් නොමැති වීම නිසා ඇයව තවත් පෞද්ගලික රෝහලකට රැගෙන යනු ලැබුවාය. ඩෙංගු රෝගය සම්බන්ධයෙන් විශේෂඥයකු වූ වෛද්‍යවරයා ඇයට රැඳී ඉන්න ලෙස දැනුම් දුන්නත් ඇයව බලහත්කාරයෙන් වෙනත් තැනකට රැගෙන ගොස් තිබිණි. එහෙත් ඇයට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා ඇයද සදහටම දෑස පියගත් පුවත අපට රෝහලේදීම දැනගන්නට ලැබිණි. මේ සිදුවීම් නිසා  අපේ පවුලේ සැමදෙනාම සිටියේ කම්පනයෙනි. පීඩාවකිනි. ඒ වගේම බියකිනි.

මේ සිදුවීම් ලියුම්කරු විසින් පසුගිය සති කිහිපය තුළ පෞද්ගලිකව අත්විඳි කාරණාය. එවැනි අත්දැකීම් සමහරවිට මෙය කියවන ඔබඳ විඳ තිබෙනු ඇත. නැතහොත් විඳිනවා විය හැක. එහෙත් හතුරකුටවත් මෙවැනි විපතක් සිදුනොවේවා යැයි පැතිය යුතුය. එය එතරම් භයානක වීම නිසාය. 

ඩෙංගු රෝගීන් ඉහළට

මේ වනවිට මෙරට ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් පිරිස වර්තමානයේ වාර්තා වෙමින් ඇත. දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 1500 ඉක්මවන බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. දැනගන්නට ඇති ආකාරයට සම්පූර්ණ ඩෙංගු රෝගීන් ගණන 65000කට ආසන්නය. එසේම මියගොස් ඇති සංඛ්‍යාව 200කට අධිකය.

මේනිසා දැනට ඩෙංගු රෝගය ඉහළ ගොස් ඇති දිස්ත්‍රික්ක 14ක්ද රජයෙන් නම් කර ඇත. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, මහනුවර, මාතලේ, යාපනය, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක අවදානම් සහගත බව රජයෙන් දක්වා ඇත.

රෝහල් පිරී ඉතිරෙයි

එහෙත් ඒ සියලු රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවස්ථාවක් නැත. රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල්ද සීමාව ඉක්මවා පිරි ඉතිරී තිබීම නිසාය. රෝහල්වල ඇඳවල් සීමා සහිතය. ඒක අැෙඳ් ෙදන්නාය. නැතිනම් ෙරා්ගියා පැදුරක් මත බිමය. එපමණක් නොව රෝගීන් එතරම් සංඛ්‍යාවක් ගැන බැලීමට තරම් සුදුසු කාර්ය මණ්ඩලද නැත. එය රජයේ සහ පෞද්ගලික රෝහල්වල අැති ප්‍රධාන ගැටලුවක් වී අැත.

අපට ඇති අත්දැකීම් අනුව ඇතැම් රෝහල් කාර්ය මණ්ඩල සේවකයන් සතියකින් ගෙදර ගොස් නැත. එසේ ගියොතින් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකිතරම් පළපුරුදු කාර්ය මණ්ඩලයක් නොමැති වීම නිසාය. 220ක් පමණ උපරිම රෝගීන් පිරිසක් රඳවා ගත හැකි අංගොඩ උණ රෝහල තුළ රෝගීන් 650ක් 700ක් බැලීමම අසීරු කරුණකි. පැය තුනෙන් තුනට ලේ ගත යුතුව ඇත. බ්ල්ඩ් කවුන්ට් එක ලක්ෂයට වඩා අඩු රෝගීන් ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ යුතුය. ඒ අභ්‍යන්තර රුධිර වහන සිදුවනවාදැයි සොයා බැලීමටය. නිසි වෙලාවට බෙහෙත් ලබාදිය යුතුය. එවැනි වැඩ ගොඩක් කුඩා සේවක සංඛ්‍යාවකින් සිදුකිරීම දුෂ්කර අභියෝගයක් වී ඇත. කෙසේ වෙතත් ඇතැම් පෞද්ගලික රෝහල්වල ඩෙංගු රෝගය සම්බන්ධයෙන් නිසි දැනුමක් නැති වෛද්‍යවරු සිටීම සහ කාර්ය මණ්ඩල නොමැති වීම නිසා ඇතැම් රෝගීන්ද මියගොස් තිබිණි. ලියුම්කරුගේ අත්දැකීම් අනුව පළපුරුදු වෛද්‍යවරු මධ්‍යම රාත්‍රියේද රෝහල් තුළ ප්‍රතිකාර දෙමින් සිටිති. විශේෂයෙන් අංගොඩ උණ රෝහලේ විෙශ්ෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ මීගමුව රෝහලේ විෙශ්ෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු යන දෙදෙනා එවැනි දෙදෙනෙකි. අද වනවිට වැඩි රෝගී සංඛ්‍යාවක් රජයේ මෙන්ම, පෞද්ගලික රෝහල් තුළ බලන්නේ ඔවුන් දෙදෙනාය. ෙම්නිසා ඔවුන් ෙදදෙනා මධ්‍යම රාත්‍රිෙය්ද රෝහල් තුළය. කෙසේවෙතත් තවදුරටත් ඩෙංගු රෝගීන් ඉහළ ගියහොත් ඔවුන්ටද ප්‍රතිකාර දීම සඳහා ඇති ඉඩකඩ සීමාවනු ඇත.

ඩෙංගු රුධිර පරීක්ෂණ ගාස්තුව අඩුකරයි

සාමාන්‍ය උණ රෝගියකුහට ඩෙංගුද නැද්ද යන්න වග තීරණය කළ හැක්කේ රුධිර පරීක්ෂණයක් හරහාය. එය සාමාන්‍ය රුධිර පරීක්ෂණයකටත් වඩා විශේෂ පරීක්ෂණයකි. ඇතැම් රජයේ රෝහල්වල එය සිදුකළත් ඇතැම් රෝහල්වල ඊට අවශ්‍ය පහසුකම් නොමැතිවීම නිසා පෞද්ගලික රසායනාගාරවලින් සිදුකරගෙන එන ලෙසට ෙරා්ගීන්ට දන්වයි. බොහෝ දෙනෙකු සාමාන්‍ය රුධිර පරීක්ෂණයක් යැයි සිතා යන්නේ රුපියල් 500ක් වගේ මුදලක් රැගෙනය. සමහර දුප්පත් අහිංසක මිනිසුන්ට ඇත්තේද එපමණය. එහෙත් රුධිර පරීක්ෂාවට රුපියල් 3000කට ආසන්න මුදලක් යන බව දැනගත් පසු බොහෝ දෙනකු අසරණ වන්නේ එපමණ මුදලක් ගෙවා ගත නොහැකි නිසාය. එහෙත් ලෙඩාගේ ජීවිතය වටිනා නිසා කනේ කරේ දෙයක් පවා උගස් කොට එම පරීක්ෂ‍ාව සිදුකරනු ලැබුවෝ බොහෝය. 

කෙසේ වෙතත් මේ අපහසුතාවය ගැන රජයේ අවධානය යොමු කොට එම මුදල රුපියල් 1000කට තරම් පහළ දැමීමට තීරණය කිරීම සෑබෑවටම ජනතා සහනයකි. මේ නිසා දැන් ඕනෑම කෙනකුට සැකයක් ඇතිවුණු තැනම පරීක්ෂා කරගන්නට අවස්ථාව සලසා දී ඇත. එපමණක් නොව එම වාර්තාව පැය භාගයකින් ලබාදීමට තරම් කාර්යක්ෂම වීම බොහෝ දෙනාගේ ජීවිතවලට සහනයක් වී ඇත. 

ඩෙංගු මඩින්න බැක්ටීරියාවක්

ඩෙංගු රෝගයට අදටත් නිශ්චිත බෙහෙතක් සොයාගෙන නැත. විවිධ ගණයේ ඉංග්‍රීසි සහ ගොඩ ප්‍රතිකාර තිබුණත් ස්ථිර බෙහෙතක් අදටත් නැත. එහෙත් ඒ වෙනුවට ඩෙංගු මදුරුවා බෝවීම නැවැත්වීම සඳහා ලෝකය දැනටමත් විවිධ උපක්‍රම භාවිතා කරමින් සිටින අතර ඒ අතර ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය ඉදිරියෙන්ම සිටියි. එම විශ්‍ව විද්‍යාලයෙන් දැනට බැක්ටීරියාවක් සොයාගෙන ඇති අතර ඒ හරහා ඩෙංගු මදුරුවා බෝවීම නවත්වා දැමිය හැකි බව ඔවුන් කියති. දැනට එහි අත්හදා බැලීම් වියට්නාමය, ඉන්දුනීසියා වැනි රටවල සිදුකරමින් තිබෙන අතර අද හෙටම මෙරටට ගෙන්වීම සඳහා කටයුතු කරණ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කෙළේය. එය කෙතරම් ප්‍රායෝගිකද යන්න නොදන්නවා වුවත් මේ වසංගතයෙන් ගැලවීමටද එය යම් පිටුවහලක් වනු ඇතයි සිතිය හැක. කෙසේ වෙතත් වැඩේ සිදුවන  තෙක් විශ්වාස කළ නොහැක. හේතුව එලෙස තිබූ බොහෝමයක් කාරනා නොවූ නිසාය.

ඩෙංගු අධි වසංගතයක් වුණේ ඇයි?

ඩෙංගු රෝගය අධි වසංගතයක් වීමට ප්‍රධාන හේතුවී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාට අනුව රට සංවර්ධනය වන නිසාය. එසේනම් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් අපට ඇසීමට ඇත්තේ සංවර්ධනය වූ රටවල මේ වනවිට ඩෙංගු නිසා මිනිසුන් මහ මග මැරී වැටෙන තත්ත්වයක් තිබිදැයි යන්නය. කෙසේ වෙතත් මෙවැනි ගැලරිය පිනවන කතා දේශපාලඥයන්ට අනන්‍ය වූ දෙයක් වුවත් ජාතික ව්‍යවසනයකදී මෙවැනි කතා කීම තුළ රජයේ උවමනාව හැකියාව මොකක්ද යන්න මනාවට පෙන්නුම් කරන බව ඔවුන් දැනගත යුතුය. 

කෙසේ වෙතත් ඩෙංගු රෝගය උත්සන්න වීමට ඇති ප්‍රධානම හේතුව වූයේ වැසි සහිත කාලගුණයයි. මේ තත්ත්වය මත වැසි ජලය ගලා නොයන ස්ථානවල ගොඩගැසුණු අතර ඒතුළ ඩෙංගු මදුරුවන් විශාල ලෙස බෝවන්නට වූහ. විශේෂයෙන් ඒ වනවිට කසළ ප්‍රශ්නය විසඳීමටද රජයට ක්‍රමවේදයක් නොමැති වීම නිසා තැන් තැන්වල කසළද අහස උසට ගොඩ ගැහිණි. ජනතාවද කසළ නිසි ලෙස කළමනාකරණය නොකර දැමීම නිසා යෝගට් කෝප්ප තුළ, ෂොපින් බෑග් තුළ, රඹුටන් ළෙලි තුළ මදුරු වාසස්ථානද දිනෙන් දින ඇතිවිය මඟ තොට ලයිට් කණු අසල කුණු කඳු පිරුණු අතර රැගෙන යන්න කිසිවකු ආවේ නැත. ඇතැම් අවස්ථාවල අදාළ පළාත් පාලන ආයතනයට කසල බැහැර කරන්නට තැන් තිබුණේ නැත. ඇතැම් ආයතනනවල සභාපති, නගරාධිපති වෙනුවට කොමසාරිස්, ලේකම්වරු වැඩ බැලීම නිසා කුණු ගැන සොයන්නට නිසි කෙනකු හිටියේ නැත. මේ නිසා තැන් තැන් වල කුණු ගොඩ ගැසුනු අතර පාලකයන් නිලධාරින් මර නින්දේ සිටියහ. සැබෑම හේතුව වූයේ පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් නොමැති වීමය. මේ නිසා තීන්දු තීරණ ගැනීමේදී සිදුවූ බාධක විශාලය. කොළඹ පමණක් කුණු මාසයක් ගොඩ ගැසී ඇත. රේල් පාර දිගට කුණුය. මේ නිසා ඩෙංගු මදුරුවන්ට ඇති පදමට ජීවත් වීමට ඉඩ ප්‍රස්ථාව හිමිව තිබිනි. ඇතැම් ප්‍රදේශවල දුම්ගැසීම නිසි ලෙස සිදුකළත් තවත් ප්‍රදේශවලට දුම්ගැසීම සඳහා මරණයක් වාර්තාවීම හෝ අසාධ්‍ය ලෙඩකු සිටිය යුතුය. එවිට පැමිණ දුම්ගසනු ලබයි. ඇතැම් පිරිස් එයටද ගාණක් කඩා ගන්නේ වැඩිපුර දුම් ගැසීමටය. නැතිනම් දුම් වදින්නේ බාගෙටය. එතරම් ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සාර්ථක වී ඇත.විශේෂයෙන් මේ ප්‍රශ්නයේදී බොහෝ බලධාරීන් අරයට මෙයාට ඇඟිලි දිගුකිරීම පමණක් සිදුකර ඇති අතර අදටත් ඩෙංගු මර්දනය සඳහා දීප ව්‍යාප්තව ප්‍රාෙයා්ගික වැඩපිළිවෙළක් නැත. එය සැබැවින්ම අවාසනාවකි.

කෙසේ වෙතත් අද වනවිට තත්ත්වය බරපතළ අතට හැරී ඇත. ජීවිතයත් මරණයත් අතර ඩෙංගු රෝගීන් පමණක් නොව සාමාන්‍ය ජනයාද සිටිති. ඒ නිසා රජය කරන දේ ගැන නොසිතා අපට කළ හැකි දෑ කිරීමට දෙවරක් නොසිතිය යුතු අවස්ථාවකට රට පත්ව ඇත. දෙවරක් සිතුවහොත් අපට වරදින්නට ඇති ඉඩකඩ වැඩිය.එදා අපට ඇතැම් විට පිළිතුරු නැතිවිය හැක.

 ගයාන් ගාල්ලගේ