2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

යළිත් “නරක්” වූ බිත්තර මිල

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

පසුගිය සතිය තුළ දී දින කිහිපයක් අඩුව පැවැති බිත්තර මිල නැවතත් ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් පාරිභෝගිකයෝ විවිධ මැසිවිලි නගති. ඇතැම් දේශපාලනඥයන් මෙම බිත්තර මිල ඉහළ යාම තම දේශපාලන වාසි තකා යොදාගත්ත ද මේ සියල්ල හේතුවෙන් දැඩි ලෙස පීඩා විඳිනු ලබන්නේ සාමාන්‍ය ජනතාවය.

පසුගිය දිනවලදී බිත්තරයක මිල රුපියල් 28/- ත් රුපියල් 30/- ත් අතර මිලකට පහළ බැසීය. නමුත් වර්තමානය වන විට එය රුපියල් 40/- ඉක්මවා ගොස් ඇති අතර මිල පාලනයක් නොමැතිකම හේතුවෙන් ඇතැම් විට වෙළෙඳපොළෙහි බිත්තර මිල සඳහන් වන්නේ රුපියල් 50/- ක් ලෙසිනි.

”පසුගිය දවස් දෙකේම බිත්තර මිල ගොඩක් අඩුවට තිබුණා. සමහරු අපෙන් බිත්තර එකවර පහළොව විස්ස අරගෙන ගියා. මුස්ලිම් මනුස්සයා විතරක් නෙවෙයි, සිංහල මනුස්සයා පවා වටලප්පන් හදන්න කියලා බිත්තර ගොඩක් අරගෙන ගියා. සමහරු කේක් හදන්න අරගෙන ගියා. දැන් ඉතින් මොන කේක්ද? පොඩි බබෙක්ට දෙන්නවත් විදියක් නැතුව බිත්තර දිහා සමහර අම්මලා බලාගෙන ඉඳල යනවා. සමහර විට ඉස්සරහට මීට වඩා බිත්තර ගණන් යාවිද දන්නෙත් නැහැ.”‍ යැයි මහරගම බිත්තර තොග වෙළෙඳ මහතකු වන ෆාරුක් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ බිත්තර මිල පාලනය කිරීම සඳහා රජය විසින් පාලන මිලක් පැනවිය යුතු බවය. එසේ නොමැති විට නැවත වතාවක් බිත්තර මිල පාලනයකින් තොරව වැඩි මිලකට ඉහළ යනු ඇත.

පසුගිය කාලයේදී බිත්තර මිල ඉහළ යාමත් සමඟ පැවති රජය විසින් බිත්තර ලක්ෂ හත්සීයකට වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් මෙරටට ගෙන්වනු ලැබීය. ඒ සම්බන්ධයෙන් ජනතාව විවිධ චෝදනා නැගූහ. දේශීය බිත්තරයට සාපේක්ෂකව එහි ප්‍රමාණය ඉතා කුඩා වූ අතර කල් ඉකුත් වූ බිත්තර මිල දී ගැනීමට සිදුවූ බවට ද ඇතැම්හු චෝදනා කළහ. මෙවන් වටපිටාවක දේශීය බිත්තර මිල පසුගිය දින කිහිපය තුළ දී පහළ බැසීමක් දක්නට ලැබිණි. ඒ රුපියල් 28/- ත් 30/- ත් අතර මිලකටය. “පහුගිය දිනවල සිල්ලර වෙළෙඳපොළේ රුපියල් 35 ට බිත්තර අලෙවි වුණා. තොග මිල ඊට අඩුයි. දැනට ලංකාවේ බිත්තර අවශ්‍යතාවය එක් ලක්ෂ තිස් දහසත් එක් ලක්ෂ හතළිස් දහසත් අතර ප්‍රමාණයක් වෙනවා. මේ වෙද්දි එක් ලක්ෂ පනස් දහසක් එක් ලක්ෂ හැට දහසක් දෛනිකව බිත්තර වෙළෙඳපොළට එනවා. නිෂ්පාදන වියදමටත් අඩුවෙන් වෙළෙඳපොළ හිමියන්ට බිත්තර ලබා දෙන්න සිදුවෙලා තියෙනවා. ඒ නිසා අද ඔවුන්ට යම්කිසි පාඩුවක් දරමින් ජනතාවට බිත්තර ලබා දෙන්න සිදුවෙලා.”‍ යැයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත මහතා පැවසීය.

මේ අතර බිත්තර මිල අඩුවීම හමුවේ තමන්ට පාඩු සිදුවෙන බව බිත්තර වෙළෙඳපොළ හිමියෝ පවසති. බිත්තරවල මිල පහළ ගිය ද සත්ව ආහාරවල මිලෙහි අඩුවක් සිදු නොවන බවට ද ඔවුහු චෝදනා කරති. “බිත්තර මිල අඩු වුණාට කමක් නැහැ. හැබැයි සත්ත්ව කෑමත් ඒ හා සාපේක්ෂව අඩු වෙන්න ඕනෑ. එහෙම සත්ත්ව කෑම අඩු නොකර බිත්තර මිල අඩු කරලා වැඩක් නැහැ. සත්ත්ව කෑම විතරක් අපි දෙන්නෙ නෑ. මේ සතුන්ට අපි විටමින් දෙනවා. සමහර බිත්තර ගොවිපොළ හිමියන්ට සතුන්ට දෙන්න කෑම නැහැ. ඒ නිසා ඔවුන් තම ගොවිපොළවල් වසා දමන්න තීරණය කරලා තියෙනවා. එක බිත්තරයක් නිෂ්පාදනය කරන්න අපිට රුපියල් තිහක් පමණ මිලක් වැය වෙනවා. ඒ නිසා බිත්තර මිල අඩු කරනවා නම් සත්ව කෑම සහ බෙහෙත් මිලත් අඩු කරන්නැයි ඉල්ලා සිටිනවා.”‍ යැයි සුළු කර්මාන්ත බිත්තර නිෂ්පාදකයෙක් වන එච්.එම්. අමල් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

“බිත්තරයත් දැන් අපිත් එක්ක සෙල්ලම් කරනවා වගේ. පහුගියදා බිත්තරයක් රුපියල් තිස් දෙකයි. අද බලද්දි රුපියල් හතළිස් තුනයි. මේකෙ වැරැද්ද කොතැනද කියල නම් අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් රුපියල් තිස් දෙකක් වුණා කියලා බිත්තර ආප්පයේ, බිත්තර රොටියේ ගාණ නම් අඩු වුණේ නැහැ. පොඩි දරුවෙක්ට අද මස් කෑල්ලක්, මාළු කෑල්ලක් දෙන්න ආර්ථිකයක් නැති දෙමව්පියන්ට බිත්තරයක් දෙන්නවත් විදියක් නැති විදිහට දැන් ඒකත් ගණන් යනවා. මේකට කිසිම පාලන මිලක් නැහැනේ. ඒ නිසා දැන් වෙළෙඳුන් හිතුණු හිතුණු ගාණට බිත්තර විකුණනවා.”‍ යැයි කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකාරියක වන සෙව්වන්දි මායාදුන්න මහත්මිය පැවසීය.

ඒ කාලෙදි බිත්තර මිල රුපියල් හැටත් හැට පහත් අතර ගාණකට විකිනුණා. ඒ සමඟම බිත්තර නිෂ්පාදනයෙන් ඈත්වෙලා හිටපු අපේ ගොවිපොළ හිමියන් නැවතත් නිෂ්පාදනයට යොමු වුණා. ඒ යොමුවීමත් එක්ක කුකුළු පැටවු මිලත් ඉහළ ගියා. ඒ වගේම 2023 වසරේදී මව් සත්ත්වයන් එක් ලක්ෂ දාහතර දහස් නවසිය ගණනක් ගෙනාවා. ඒ මව් සතුන් ගෙනෙන්න හේතු වුණෙත් පැටවු ඉල්ලු‍ම වැඩිවීම නිසයි. මව් සතුන් අපේ ගොවිපොළ හිමියන් තමන්ගේ සත්ත්ව ගොවිපොළවල ඇති කළා. මීට මාස දෙකකට පෙර සිට ක්‍රමානුකූලව ඒ මව් සතුන්ගේ බිත්තර වෙළෙඳපොළට එකතු වුණා.”‍ යැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්, එච්.එම්.බී. අලහකොන් මහතා දේශයට පැවසීය.

කඩා වැටුණු කර්මාන්තය නැවත යථා තත්ත්වයට පත්වීමත් සමඟ පසුගිය දිනවල රුපියල් 22/- දක්වා බිත්තර මිල පහළ ගියේය. රුපියල් 65/- ට පැවති බිත්තර මිල රුපියල් 22/- තෙක් අඩු වෙද්දී සතුන් වැඩි වශයෙන් එකතු කර ගැනීමත් සමඟම ආහාරවලට පැවති ඉල්ලු‍මද ඉහළ ගියේය. ලක්ෂ ගණනින් සතුන් වැඩිවීමත් සමඟම සතුන්ට ලබා දෙන බඩඉරිඟු‍, සෝයා, සුණු සහල් ඉල්ලු‍ම ද ඉහළ ගියේය. ඒවායේ මිල ද වැඩිවිය. ඒ අනුව රුපියල් 120/- ට පැවති සුණු සහල් කිලෝවක මිල රුපියල් 160/- දක්වා ඉහළ ගියේය. බඩඉරිඟු විදෙස් රටවලින් ගෙන්වීමට අවසර දීම හේතුවෙන් බඩඉරිඟුවල මිල ද යම් තරමක ඉහළ යාමක් දක්නට ලැබිණි. 

“බිත්තර නිෂ්පාදනය වැඩිවීමත් සමඟ ඉල්ලු‍ම ද වැඩි වුණා. ඒ වගේම පහුගිය මැතිවරණ සමයේදී දින දෙක තුනක් වෙළෙඳපොළ වසා දැමුණා. මේ දින ගණනාවක පැවති බිත්තර අතිරික්තය ද මෙයට හේතු වුණා. කෙසේ වුවත් බිත්තරවල මිල වැඩිවීමත් සමඟ ගොවීන් මෙයින් ඈත් වුණා. නමුත් මෙය හැමදාම වෙන දෙයක් නෙවෙයි. මෙය තාවකාලික ප්‍රශ්නයක්. සති තුනක් ඇතුළත මෙය විසඳේවි. මේ සඳහා කවුරුත් කලබල විය යුතු නැහැ. ඉදිරියේදී යථා තත්ත්වයට පත් වේවි. අද බිත්තරයක නිෂ්පාදනය පිරිවැය රුපියල් තිස් දෙකක් තිස් පහත් අතර වෙනවා. ඒ නිසා බිත්තර නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල පහළ බැසීමෙන් බිත්තරවල මිල අඩු කරගන්න පුළුවන්.”‍ යැයි අලහකෝන් මහතා වැඩිදුරටත් දේශයට අදහස් දක්වමින් පැවසීය.

• දිශානි ජයමාලි කරුණාරත්න