2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

අල – ලූනු බදු වැඩි කිරීමේ වාසිය ගොවියාටද?

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:03 95

පසුගිය ඔක්තෝබර් මස 06 දා මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික අර්තාපල් සහ ලොකු ලූනුවලින් අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර ඇත. ඒ අනුව අර්තාපල් කිලෝවකට අය කළ බද්ද රුපියල් 10 කින් හා ලොකු ලූනු කිලෝවකට පනවා තිබූ බද්ද රුපියල් 20 කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ. දැනට අර්තාපල්වලට අය කරමින් සිටි විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු මුදල රුපියල් 50 ක් වන අතර එය රුපියල් 60 දක්වා වැඩි වේ. එසේම ලොකු ලූනු කිලෝවකට අය කරමින් පැවැති රුපියල් 10 බද්ද රුපියල් 30 ක් බවට පත් වී තිබේ.

මේ පිළිබඳ මුදල් අමාත්‍යංශය පවසා සිටියේ මේ වනවිට දේශීය ගොවියන් වගා කළ අර්තාපල් සහ ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙමින් පවතින බවයි. ඔවුන්ට සාධාරණයක් ඉටු කරලීම සඳහා මෙලෙස බදු මුදල් වැඩි කළ බවද අමාත්‍යංශය පවසයි. මෙම මිල තාවකාලිකව බලපවත්වන අතර ගොවීන්ගේ අස්වැන්න අලෙවි කිරීමෙන් අනතුරුව බද්ද අඩුකර මිල සාමාන්‍යකරණයට පත් කරනු ඇතැයි විශ්වාස කෙරේ. එසේම දේශීය ගොවියන් අස්වනු ලබාගන්නා කාලයේදී තවදුරටත් ඒවා පිටරටින් ගෙන්වීම අධෛර්යට පත්කිරීම රජයේ අරමුණ වන අතර, මේ හේතුවෙන් ගොවියාට ඉහළ මිලක් ලැබේ යැයි බලාපොරොත්තු වන බව කියයි.

මෙම ප්‍රතිකර්මය වර්තමාන රජය මගින් පමණක් ප්‍රථම වතාවට යොදන ලද්දක් නොවන අතර, මෙයට පෙර ආණ්ඩුවලින් ද අර්තාපල් සහ ලොකු ලූනු අස්වැන්න නෙලන කාලයේදී දිගින් දිගටම සිදු කරන ලද්දකි. එහෙත් එය දීර්ඝ කාලීන ප්‍රතිඵල ගෙන දෙන්නක් නොවන අතර තාවකාලික පියවරක් පමණකි. යළි බදු අඩු වන්නේ නම් ආනයනය කිරීමට උනන්දු වන්නෝ බොහෝ වෙති.

මෙම ගැටලුවේ පැතිකඩ දෙකක් තිබේ. මෙය දෙපැත්ත කැපෙන ආයුධයකට සමානය. ගොවියන් සනසන්න නම් පාරිභෝගිකයන්ට රිදවන්න සිදුවේ. පාරිභෝගිකයන් සනසන්න නම්, ගොවියන්ට රිදවිය යුතුව ඇත. මේ දෙපාර්ශ්වයම සතුටට පත් කිරීම කිසිදු ආණ්ඩුවකට සිදු කළ නොහැකිය. දේශීය ආහාර ද්‍රව්‍ය මිලට වඩා ආනයනික ඒවායේ මිල පහළ නම් පාරිභෝගිකයා ඒවා මිලට ගන්නට පෙළඹෙනවා ඇත. අද රටේ පවතින ජීවන මට්ටම අනුව ඔහු නිතර උත්සාහ කරනුයේ ගුණාත්මකභාවය කෙසේ වෙතත් අඩු මිල දේම මිලට ගන්නටය. ඒ ඔහුට එය වාසිදායක නිසාය. මේ නිසා ආනයනික ද්‍රව්‍යවල මිල කුමනාකාරයකින් හෝ වැඩි නොකර දේශීය ගොවියාට හිතකර වෙළෙඳපොළක් නිර්මාණය කළ නොහැක.
ඒ කෙසේ වුවද මේ ක්‍රියාමාර්ගය නිසා පිටතින් සිට වාසි ලබාගන්නා කණ්ඩායමක් ද සිටී. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල් කීවා සේ මෙයින් අතරමැදියන්ගේ සහ වෙළෙඳුන්ගේ කරල පැහේ. පසුගිය සමයේ සිදුවූ බොහෝ වංචා දූෂණවලට මේ බදු අඩු වැඩි කිරීම හේතු විය. මෙය රටට සහ ජනතාවට කෙසේ වෙතත් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට අගනා තෝතැන්නක්ම විය. මේ තත්ත්වය සමනය කිරීමට කිසිදු ආණ්ඩුවකට හැකි වී නැත.

අල, ලූනු මිල ප්‍රශ්නය සෑම වසරකම පැන නගී. සාමාන්‍ය ජනතාවගේ ආහාර වේලට මේ දෙවර්ගය බොහෝ දුරට සම්බන්ධය. එය කෙළින්ම ඔවුන්ගේ ජීවන වියදමට බලපායි. අනිකුත් සෑම එළවළුවකම සහ මස්, මාළු ආදියේ ද මිල අහස උසට නැගී තිබියදී හාල් හුණ්ඩුවක් රජ කරගෙන කෑමට අල හෝ පරිප්පු මාලුවක් සකසා ගැනීම අඩු පිරිවැයකින් කළ හැක්කකි. එහෙත් අද එයට ද කණකොකා හඬා තිබේ. ගොවියන් ආණ්ඩුවට ප්‍රශංසා කරනු පසුගිය දිනවල අපට ඇසුණි. එහෙත් පාරිභෝගිකයා දොස් තබනවා ඇසුණේ නැත. මෙය එක තැනකින් බලහත්කාරයෙන් රැගෙන අනෙක් තැනට බෙදීම හා සමානය. ආණ්ඩුවක් වශයෙන් ගොවියා මෙන්ම පාරිභෝගිකයා දෙස ද සානුකම්පිතව බැලිය යුතුව ඇත. පැරැණි මාර්ගයේම නොගොස් අන්ධානුකරණයෙන් තොරව අලුත් ආණ්ඩුව නියමිත පීල්ලට යොමුකළ හැකි වුවහොත් ජනතාව බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවීම ඒකාන්තය. අල, ලූනු බදු ගැටලුව එහි නියැදියක් පමණක් බව කිව යුතුමය.

මෙම තත්ත්වය පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ යහපත් ආර්ථිකයක් සඳහා මිල ස්ථායිතා ප්‍රතිපත්තියක් ඕනෑම රජයකට තිබිය යුතු බවයි. ප්‍රශ්නය පැන නැගුණු විට පැළැස්තර විසඳුම් දීමට යාමෙන් සිදුවන්නේ යහපත් ප්‍රතිඵලවලට වඩා අයහපත් ප්‍රතිඵල ලැබීම බව ඔහු කියයි. දැනට පැන නැගී ඇති අල, ලූනු ගැටලුවේ මතුපිටින් පෙනෙන දෙයට වඩා අභ්‍යන්තරය බරපතළ බව හෙතෙම කියයි.

“යහපත් ආර්ථිකයක් සඳහා මිල ස්ථායිතාව වැදගත්. මහ බැංකුවේ මූල්‍ය ප්‍රතිපත්ති අනුව දැනට දශක දෙක තුනකට පෙර භාණ්ඩ හා සේවා මිල සංශෝධනය වූයේ වාර්ෂික අයවැය ලේඛනය හරහායි. එහෙත් අද එසේ නොවෙයි. මිල අඩු වැඩි කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. අයවැය ලේඛනය අතර කිහිප වරක් මිල වෙනස් වෙනවා. විනිමය අනුපාත දෝලනය වීම මෙයට එක් හේතුවක් වෙනවා. එහි යම් කෙටිකාලීන යහපතක් තියෙනවා. ඉන්ධන මිල සූත්‍රය වගේ විවිධ හේතු අනුව මිල වෙනස් වෙනවා. ලංකාවේ කෘෂි නිෂ්පාදනවලදී ආනයන අධෛර්යමත් කිරීම සඳහා බදු පැනවීම කරනවා. යළි එය වෙනස් කරනවා. මෙය පැළැස්තර විසඳුමක්. ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලැබෙන්නේ නැහැ. බොහෝ විට මෙයින් දේශීය පාරිභෝගිකයාට අවාසි වෙනවා. මේ දෙගොල්ලොම සතුටු කිරීම අපහසුයි.

දේශීය නිෂ්පාදනවල මිල පහළ වැටෙන්න නම් නිෂ්පාදන පිරිවැය අඩු කළ යුතුයි. අපේ අසල්වැසි ඉන්දියාව වැනි රටකට නිෂ්පාදනය කරලා අපට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් නම් ඇයි අපට බැරි? එයට ප්‍රධාන හේතුව වන්නේ ඒ රටේ සැමවිටම නිෂ්පාදන වියදම අඩු වීමයි. පසු අස්වනු තාක්ෂණය ගැන අවධානය යොමු කළ යුතුයි. අස්වැන්න විනාශ වීම අඩු කිරීම, ගබඩා පහසුකම් වැඩි කිරීම, දේශීය පොහොරවලට යොමුවීම, ප්‍රමිතියෙන් යුතු දේශීය බීජ කෙරෙහි විශ්වාසය තැබීම, ගොවියාට සහන ලබාදීම ආදියෙන් දේශීය කෘෂිකර්මය නගා සිටුවිය යුතුයි. සැලසුම් සකස් කර අවුරුදු පතා ඒවා ක්‍රියාත්මක කළ යුතුයි. මෙහිදී සාම්ප්‍රදායික තත්ත්වයෙන් බැහැරව සංවර්ධිත රටවල ක්‍රමෝපායවලට නැඹුරුවක් දැක්විය යුතුයි.”
මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ මෙලෙස ආනයන බදු වැඩි කරන්නේ දේශීය ගොවියාට වැඩි මිලක් ලැබීමට පවසන නමුත් එයින් ගොවියා ලබන වාසියට වඩා වෙනත් පාර්ශ්ව ජය ලබන බවය. එලෙස අය කරන බද්ද රජයට ආදායමක් වන අතර ගොවියාට හෝ පාරිභෝගිකයාට ලැබෙන ලාභයක් නොවන බව පෙන්වා දෙයි. මෙම බදු ආදායම ගොවියාට දෙනවා නම් ඔහුගේ පොහොර කෘෂි රසායන ආදී නිෂ්පාදන වියදම් ආවරණය කළ හැකි වෙයි. දේශීය ගොවියා රැකීමට මෙම බදු වැය නොකර එයට හාත්පසින් වෙනස් කරුණු සඳහා පාවිච්චි කිරීම කොතරම් දුරට සාදාචාරාත්මක ද යන්න සොයා බැලිය යුතුය.

ඔහු තවදුරටත් මෙසේ ද කියයි.

“අපේ රටේ සුවිශේෂ බදු වර්ග තියෙනවා. ගුවන් තොටුපළ බද්ද වැය කරන්නේ ගුවන් තොටුපළ සංවර්ධනය සඳහායි. ඉන්දියාවේ පළමු සැලසුම ක්‍රියාත්මක කළේ 1952 – 55 අතරයි. එහිදී ගොවියාට අවශ්‍ය බීජ, ජලය සහ පොහොර කෙරෙහි විශේෂ අවධානය යොමු කළා. එහෙත් දේශීය ගොවියාට අද මේ තැනම නැහැ. බීජ සහ පොහොර ද ඉතා විශාල මිල ගණන්වලට ආනයනය කරන්න සිදුවෙලා. ඉතින් මේ සඳහා සහනයක් දෙන්න රජයට පුළුවන් නම් එයින් දේශීය නිෂ්පාදනවල මිල අඩු වෙනවා. එවිට ගොවියාට සහන දෙන්න යැයි බදු වැඩිකර පාරිභෝගිකයා හිරිහැරයට පාත්‍ර කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.

රටක පාලනයේ මූලික වගකීම ජනතාවට තුන්වේලම කන්න දීම බව චීන විදේශ ඇමැති පසුගිය දිනක අවධාරණය කළා. ලංකාවේ හොඳ බීජ වී නැහැ. වැව් නැහැ. ජලය නැහැ. වැස්සට යට වෙනවා. නියගයට වියළෙනවා. නිකරුණේ අපතේ යවන කුණු කසළවලින් පොහොර නිෂ්පාදනය කළ හැකියි. එය කුණු කසළ ප්‍රශ්නයට ද පිළියමක් වෙනවා. එහෙත් එය නොසලකා පිටරටවලින් රසායනික පොහොර ගෙනෙනවා. අනවශ්‍ය පරිදි රසායන පොහොර ආනයනය කරන බව පෙනෙනවා.

එසේම රටේ ඒකාබද්ධ කෘෂි ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. කෘෂිකර්මය හා වාරිමාර්ග ඒකාබද්ධ කළ යුතුයි. එවිට ඒ දෙකටම යහපත් ප්‍රතිඵල අත්වෙයි.

මොන ආණ්ඩුව පත්වුවත් අපට එවැනි ස්වාධීන ප්‍රතිපත්තියක් නැහැ. එවැන්නක් නැත්නම් සැලසුමක් ගැන ආරංචියක්වත් නැහැ. ඒ නිසා මෙවැන්නක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමට අලුත් ආණ්ඩුව හෝ ක්‍රියා කළ යුතුයි. කෘෂිකර්මය හා වාරිමාර්ග ඒකාබද්ධ විය යුතුයි. එවිටයි තීරණ ක්‍රියාත්මක කිරීමට පහසු වන්නේ.

විටින් විට පනවන බදු නිසා වංචා දූෂණ ඇතිවෙනවා. පසුගිය දිනවල ඇතිවූ මහා පරිමාණ දූෂණ, සොරකම් බදුවලට මුවා වෙලා කළ ඒවායි. මහා පරිමාණ සීනි බදු වංචාව, පොල්තෙල් වංචාව, ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට බදු පැනවීමේදී වඩාත් වංචා කරන්නේ ව්‍යාපාරිකයන් සහ අතරමැදියන්. බදු පිළිබඳ කල් ඇතිව ආරංචි යනවා. මේවාට දේශපාලකයන් සහ නිලධාරීන් යන දෙගොල්ලෝම සම්බන්ධයි. නිලධාරීන්ට සොරකම් කරන්න දේශපාලකයන් උදව් කරනවා. ආදායම දෙගොල්ල අතට යනවා. බදු ගැන කල් ඇතිව ඒ අය දැන ගන්නවා. බදු වැඩි කිරීමට පෙර විශාල වශයෙන් ආනයනය කරනවා. බදු අඩු කරන බව දැනගෙන පසුගිය දිනවල භාණ්ඩ ගෙනා කන්ටේනර් ගොඩ නොබා බදු අඩු කරන තුරු රඳවා තබාගත්ත බව සැල වුණා. දැන් අල, ලූනු බදු වැඩි කිරීමේ ප්‍රස්තුත ගැටලුවේදී ගොවියන් ලබන ලාභයට වඩා විශාල වාසියක් මෙම ඊනියා මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ අතරමැදියන් ලැබුවා. එලෙස අයථා ලෙස උපයන මුදල් මැතිවරණ සඳහා වැය කරන බව කියනවා. අදත් නුදුරු මැතිවරණයක් තියෙනවා. දූෂිත ව්‍යාපාරිකයන් එයට අත දිගහැර වියදම් කරන්නේ මෙලෙස හම්බ කළ මුදල්.

මෙම තත්ත්වය නැති කිරීම සඳහා ජාතික බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කර එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අභිනව රජයේ අවධානය යොමුවිය යුතු බව පෙන්වා දෙනවා.”

• යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03