2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

නොච්චියාගම කඳුවැව කුඹල් ගම්මානයේ නොඇසූ කඳුළු කතාව

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:05 166

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නොච්චියාගම කඳුවැව ගම්පියසේ අපට දැකගත හැකි සුවිශේෂී මැටි වළං නිෂ්පාදන කලාවක් පවතී. ඒ අතර කළු වළං නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ එකම කුඹල් ගම්මානය වනු ලබන්නේ මෙම ගම්මානයයි. මොවුන්ගේ මෙම කළු වළං වලට ඉල්ලුමක් පවතී. මෙම කළු වළං නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ නොච්චියාගම කඳුවැව ගම්මානයට ආවේණික වූවකි. 

අප නොදකින බැරූරුම් සහ වෙහෙසකාරී අත්කම් කලාවක් කුඹල් නිෂ්පාදන කර්මාන්තය තුළ පවතී. ඔවුහු අද වන විට බොහෝ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටිති. නිසි වෙළෙඳපොළක් නොමැතිවීම, තාක්ෂණික පුහුණුවක් නොලැබීම, අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලු පැවතීම ආදී ගැටලු රැසක් මැද්දේ මෙම රැකියාව සිදු කරගෙන යනු ලබයි. කලකට පෙර මෙම කුඹල් ගම්මානය හා සම්බන්ධව කුඹල් කර්මාන්තයේ බොහෝ පිරිසක් යෙදී සිටියද, අද වනවිට සිටින්නේ ඉතා සීමිත පිරිසකි. තවත් දක්නට ලැබෙන කනගාටුදායක සහ අභියෝගාත්මක කරුණක් වනුයේ කුඹල් කර්මාන්තයේ අනාගත පුරුක්, අනාගත පරම්පරාව නැවත වැළඳ ගැනීමක් දක්නට නොලැබීමයි.

ශ්‍රී ලංකාවට සෑම දෙයක්ම විදෙස් රටවලින් ගෙන්වන පසුබිමක මෙවන් වූ දේශීය ලාංකිකත්වය පෙන්නුම් කරන කලාවන් රැක ගැනීම මෙම අත්කම් කලාවට නව පණක් ගෙන දීමකි. ඒ සඳහා සියල්ලන්ගේ අවධානය යොමුවිය යුතුය.

වළං නිෂ්පාදනය ක්‍රියාවලිය සම්බන්ධව අවධානය යොමු කිරීමේදී අවශ්‍ය මැටි සපයන්නේ වැව් සහ කෙත් වතුය. වැව් පතුලේ ඇති ඉතා සියුම් දූවිලි වැනි සියුම් මැටි සහ වැලි හොඳින් මිශ්‍ර කර පසුව මැටි කුට්ටි අවශ්‍ය ප්‍රමාණයට වෙන් කරගනු ලබයි. වර්තමානයේදී මෙම අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ප්‍රවාහන ක්‍රියාවලියට දැඩි නීති රීති පවතියි. මේ හමුවේ ඔවුනට මෙම මැටි සපයා ගැනීම ප්‍රධාන ගැටලුවක් ලෙස පවතී.

අප ඉදිරිපස දෘශ්‍යමාන වනු ලබන්නේ සහ වෙළෙඳපොළ තුළ ලස්සන කලාවක් දැකිය හැක්කේ මොවුන්ගේ දහදිය වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසිනි. කුඩා මැටි ගුලි සාදමින් දෑතේ කලාව උපයෝගී කරගනිමින් මැටි පදම් කරගනිමින් විදුලි සකපෝරු ඔස්සේ වර්තමානයේ මෙම ක්‍රියාවලිය සිදු කරනු ලබයි. මෙම වළං ඉන්පසු පුළුස්සමින් ඔවුහු කළු වළං සහ රතු වළං ලෙස නිමාව සිදු කරති. අද වන විට බොහෝ ජනයා මැටි නිෂ්පාදනය ආශ්‍රිත භාණ්ඩවලට යොමුවී සිටියත් කුඹල් කර්මාන්තයේ නියැලෙන්නන්ට නිසි වෙළෙඳපොළක් නිර්මාණය වී නොතිබීමත් ඔවුන්ගේ මෙම දෑතේ කලාවට සවිබල ගැන්වීමක් සහ තරුණ ප්‍රජාවගේ උනන්දුවක් දක්නට නොලැබීම කනගාටුදායක කරුණකි. නොච්චියාගම කඳුවැව කුඹල් ගම්මානයේ වළං නිෂ්පාදන විශ්මිත කලාව පිටුපස දක්නට ලැබෙන නොඇසෙන කඳුළු කතාවේ මා දුටු ස්වල්පය මෙසේ සටහන් කරමි.

(මෙම ලිපිය සහ ඡායාරූප “දේශය” වෙත යොමුකර තිබුණේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයේ සන්නිවේදන අධ්‍යයන ඒකකයේ මනීෂා සංදීපනී සිසුවිය විසිනි.)