ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා පත් කරගැනීම සඳහා වූ 9 වැනි ජනාධිපතිවරණය පසුගිය සැප්තැම්බර් 21 දින පැවැත්විණි. 2022 දී රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීමෙන් පසු පැවති පළමු මැතිවරණය මෙය විය. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත්ව සිටි අතර, ඒ සඳහා තම ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටි සමස්ත ඡන්දදායකයන් සංඛ්‍යාව 17,140,354 ක් විය. ඡන්ද මධ්‍යස්ථාන 13421 කදී ඔවුහු තම ඡන්දය භාවිත කළහ.
මෙවර ජනාධිපතිවරණයේ කැපී පෙනෙන තරගකරුවන් වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයන් තිදෙනාය. ක්‍රමයෙන් තරගය අපේක්ෂකයන් දෙදෙනකු අතර දෝලනය වූ බැව් පෙනෙන්නට තිබිණි. ඇතැම් මැතිවරණ බල ප්‍රදේශයන්හි සජිත් ප්‍රේමදාස මහතාට වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි වුවද ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ අනුර කුමාර දිසානායක මහතාය.
ශ්‍රී ලංකාවේ පළමු වරට ජනාධිපතිවරණයක් පැවැත්වූයේ 1982 ඔක්තෝබර් 20 වැනිදාය. එම මැතිවරණයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරයට පත් විය. ඔහු ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 53% ක් හිමිකර ගත්තේය. ඔහුගේ ධුර කාලයෙන් පසු ජනාධිපති පදවියට පත් වූයේ රණසිංහ ප්‍රේමදාස මහතාය. 1988 දී බලයට පත් වූ ඔහු මෙරට දෙවැනි ජනාධිපතිවරයා වූ අතර 50.43% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට ඔහුට හැකි විය. තෙවැනි වරට ජනාධිපති ධුරයට පත් වූයේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. 1994 ජනාධිපති ධුරයට පත් ඇය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 62% ක් ලබා ගැනීමට සමත් වූ අතර එය මෙතෙක් ජනධිපතිවරණයකදී ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය ලෙස සැලකේ. 1999 දී ඇය දෙවැනි වරටත් තරග කළ අතර එවරද ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 51% ක් ලබා ගැනීමට ඇයට හැකි විය.
2005 පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු ද ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 50.3% ක් හිමිකර ගත්තේය. 2010 ඔහු දෙවැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර එහිදී ඔහු ජය ගත්තේ ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 57% ක් ලබා ගනිමිනි. එවර ඔහුගේ ඡන්ද ප්‍රතිශතය ඉහළ ගියේ යුද ජයග්‍රහණයේ ආශිර්වාදයත් සමගිනි. 2015 පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය 51.28% කි. 2019 පැවැති ජනාධිපතිවරණයෙන් ජය ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 52.25% ක් ලබා ගැනීමට සමත් වූයේ 69 ලක්ෂයක් ඡන්ද ලබා ගනිමිනි. මෙරට අනුප්‍රාප්තික ජනාධිපතිවරුන් දෙදෙනෙකි. රණසිංහ ප්‍රේමදාස මහතා 1993 දී මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයට ලක්වූ බැවින් ඔහුගේ ඉදිරි ධුර කාලය ආවරණය කරනු සඳහා ඩී.බී. විජේතුංග මහතා පත් විය. 2022 රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වූයේ 2022 ජූලි මාසයේ පැවැති ජනතා අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සිදුවූ හෙයිනි.
ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සඳහා කිසියම් අපේක්ෂකයකු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 50ක් සහ එක් ඡන්දයක් ලබාගත යුතු බවට ව්‍යවස්ථාවෙන් නියම කර තිබේ. අතීතයේ සිට පැවැති සෑම ජනාධිපතිවරණයකදීම සියලු අපේක්ෂකයන් ප්‍රකාශික ඡන්ද ප්‍රමාණයෙන් 50% ඉක්මවන ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගැනීමට සමත් වුවද 2024 ජනාධිපතිවරණය ඒ සියලු ජනාධිපතිවරණවලින් වෙනස් විය. ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට කිසිදු අපේක්ෂකයකු 50% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නොතිබීම ඊට හේතු විය.
තරගය අවසන කරට කර සිටි අපේක්ෂකයන් දෙදෙනා වූ අනුර කුමාර දිසානායකසහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනාම ලබා තිබුණේ 50% ට අඩු ප්‍රතිශතයකි. ඒ අනුව ව්‍යවස්ථාවේ සඳහන් පරිදි මනාප ගණන් කිරීමට මැතිවරණ කොමිසමට සිදු විය. පළමු වටයෙන් අනුර කුමාර දිසානායක 56,34,915ක් ඡන්ද ලබා සිටි අතර සජිත් ප්‍රේමදාස 43,63,035 ක් ඡන්ද ලබා තිබිණි. ඒ අනුව අනුර කුමාර දිසානායක ලබා සිටියේ 42.31% ක් සහ සජිත් ප්‍රේමදාස 32.76% ප්‍රතිශතයකි. එහෙයින් 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 57, 58, 59 සහ 60 යන වගන්තිවලට අනුකූලව අනෙක් අපේක්ෂකයන්ගේ ඡන්ද පත්‍රිකාවල එම අපේක්ෂකයන් දෙදෙනාට හිමි වී ඇති මනාප ගණනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගත්තේය. ඒ අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 1,05,264 ක් ලබා තිබිණි. ඒ අනුව ඔහු ලද සමස්ත ඡන්ද ප්‍රමාණය 57,40,179ක් විය. සජිත් ප්‍රේමදාස මනාප 1,67,867 ක් ලබා තිබිණි. ඒ අනුව ඔහුගේ සමස්ත ඡන්ද ප්‍රමාණය 45,30,902කි.
මනාපය සම්බන්ධයෙන් රටේ විශාල පිරිසකට එතරම් අවබෝධයක් නොතිබිණි. ඒ මින් ඉහත එවැනි මනාප ගණන් ගැනීමක් සිදු නොවූ බැවිනි. එහෙත් කිසියම් අපේක්ෂකයකු 50% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ලබා නොමැති නම් කළ යුත්තේ කුමක්දැයි ව්‍යවස්ථාවේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 57, 58, 59 සහ 60 යන වගන්තිවල සඳහන්ව තිබේ. එහෙයින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ගැටලුවක් ඇති නොවීය. මනාප ප්‍රමාණය අනුව ජයග්‍රාහකයා වෙනස් විය හැකිදැයි බොහෝ පිරිසක් විමසුම් කළහ. එහෙත් අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද ලක්ෂ 13ක් පමණ ලබා සිටි බැවින් එවැන්නක් සිදු නොවීය. මැතිවරණයට ඉදිරිපත් වූ සෙසු අපේක්ෂකයන් වූ රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 22,99,768 ක්ද, නාමල් රාජපක්ෂ ඡන්ද 34,27,81 ක්ද, පී. අරියනේත්‍රන් 226,342 ක්ද, දිලිත් ජයවීර 122,396 ක්ද ලබාගෙන තිබූ අතර සෙසු අපේක්ෂකයන් සියලු දෙනා ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 4,304,326 කි.
ජනාධිපතිවරණයකදී මනාප ලකුණු කිරීමට වැඩි දෙනකුගේ මනාපයක් නැත. එහෙත් මනාප ලකුණු කිරීමේ වැදගත්කම මෙවර ජනාධිපතිවරණයේදී කැපී පෙනිණි. සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් ලබාගත හැකි ප්‍රබල අපේක්ෂකයන් කිහිප දෙනකු තරග කරන අවස්ථාවක, බොහෝ විට ජයග්‍රාහකයා තේරීමට දෙවැනි හා තුන්වැනි මනාප ගණන් කිරීම හෙවත් දෙවැනි වටයේ ඡන්ද ගණන් කිරීමට සිදු වේ. පළමු වටයේදී 50% ට ආසන්න ප්‍රතිශතයක් ලබාගන්නා අපේක්ෂකයකු සෙසු අපේක්ෂකයන්ට වඩා සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින්නේ නම්, දෙවැනි මනාපය ගණනය කළ ද, බොහෝ දුරට එම අපේක්ෂකයාම ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් පවතී. අනුර කුමාර දිසානායක ඔහුගේ ප්‍රතිවාදියාට වඩා ඡන්ද ලක්ෂ 13 ක් ඉදිරියෙන් සිටි හෙයින් ඔහුගේ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් ඇති නොවීය.
මෙම මැතිවරණය ඉතා සාමකාමී මැතිවරණයක් යැයි මැතිවරණ නිරීක්ෂකයෝ ප්‍රකාශ කළහ. හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ මෙම ජනාධිපතිවරණය සියයට සියයක් සාමකාමී මැතිවරණයක් බවටය. මෙවර කිසිදු ප්‍රචණ්ඩත්වයක් වාර්තා නොවූ අතර සාමකාමීව බලය හුවමාරු වූ මැතිවරණයක් යැයි ඔහු සඳහන් කළේය. එමෙන්ම ජනාධිපතිවරණ ඉතිහාසයේ තුන්වැනි ස්ථානය හිමි කරගත් අපේක්ෂකයාගේ ඇප රාජසන්තක නොවූ පළමු අවස්ථාව මෙය බවද ඔහු සඳහන් කළේය. ඇප රාජසන්තක නොවීමට නම් අපේක්ෂකයකු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 12.5% ක් ලබාගත යුතුය. තුන්වැනි ස්ථානයට පත් රනිල් වික්‍රමසිංහ මහතා එය සපුරා තිබිණි. ඔහු ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 22,99,767 කි. අනෙකුත් සියලු අපේක්ෂකයන් එතරම් වාසනාවන්ත වූයේ නැත.
මෙවර ජනාධිපතිවරණයේදී දැකගත හැකි වූ සුවිශේෂී සිදුවීම වූයේ මෙතෙක් පැවැති ප්‍රධාන ධාරාවේ දේශපාලන කඳවුරු දෙකට පරිබාහිර දේශපාලන කණ්ඩායමක් බලයට පත්වීමය. 2024 සැප්තැම්බර් 23 දින අනුර කුමාර දිසානායක මහතා අභිනව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේය. ජනාධිපති ලෙස සිය මංගල කතාව කරමින් ඔහු මෙලෙස ප්‍රකාශ කළේය.
“අපේ රටේ ප්‍රජාන්ත්‍රවාදය විසින් නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගෙන තිබෙනවා. ඒ තෝරා පත්කර ගැනීම සඳහා ජනතාව මට ඡන්දය දීලා තියෙනවා. මට ලබා නොදුන් ඡන්ද ප්‍රමාණයකුත් තිබෙනවා. ඒ නිසා අපේ ජයග්‍රහණයේ සංයුතිය සහ ප්‍රමාණය පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තිබෙනවා.
ඒ නිසා මාගේ පාලන කාලය තුළ මට පැවරී තිබෙන කාර්යය තමා අපට සහය නොදුන් අපිව විශ්වාස නොකරන පුරවැසියන්ගේ සහය ලබා ගැනීම සඳහා විශ්වාසය ගොඩනගා ගැනීම.
ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත්ම ලක්ෂණය තමයි රටේ පාලනය සඳහා ජනතාව විසින් තෝරාගත් පාලකයකු පත්කර ගැනීම. එහෙත් පාලකයෙක් තෝරාපත් කර ගැනීමෙන් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ වන්නේ නැහැ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයේ ශක්තිමත්භාවය, නීතිවල ශක්තිමත්භාවය අවශ්‍යයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මා උපරිමයෙන් කටයුතු කරනවා. අපිට ලැබුණේ ඉතාමත් අභියෝගාත්මක රටක්. අපේ රටේ දේශපාලනය මීට වඩා පිරිසුදු විය යුතුයි. අපේ දේශපාලකයන් පිළිබඳව පුරවැසියන් තුළ ඇත්තේ අයහපත් මතයක්. දේශපාලකයා කෙරෙහි මහජන ගෞරවයත් විශ්වාසයත් හිමිවන තැනට කටයුතු කළ යුතුයි. ඒ සඳහා කළ හැකි සියල්ල කරනවා.” යනුවෙනි.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා