ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික මැතිවරණ ප්‍රතිඵලයක් කරා ගමන් කළ 2024 ජනාධිපතිවරණය අවසන් වී ඇත. මැතිවරණ ප්‍රතිඵලය දෙස බලමින් විවිධ පිරිස් විවිධාකාර විග්‍රහ ඉදිරිපත් කරමින් සිටිති. ඇතැම් විග්‍රහ පක්ෂග්‍රාහීය. ඇතැම් විග්‍රහ අපක්ෂපාතීය. කෙසේ නමුත්, සමස්ත ප්‍රතිඵලය ගණිතමය මෙන්ම සමාජ දේශපාලන අර්ථයෙන් ද කියවාගත යුතු බව පළමුව අවධාරණය කළ යුතුය. ඒ අනුව, මෙම ස්වරූප ද්විත්වයම මත පිහිටා, කෙටි නමුත් සංසන්දනාත්මක විග්‍රහයක් සඳහා අපි ඉඩකඩ වෙන් කළෙමු.
සමාජ දේශපාලන අර්ථයෙන් ගත් කල, මෙම ප්‍රතිඵලය සුවිශේෂී එකක් බවට පත්වීමට හේතු සාධක කිහිපයක්ම ඉදිරිපත් කළ හැකිය. ඒ අනුව පළමුව සඳහන් කළ යුත්තේ, නිදහසින් පසු මෙරට පැවති දේශපාලන බල කඳවුරු දෙකම මහජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ පළමු මැතිවරණ ප්‍රතිඵලය මෙය බවයි. කෙසේ වෙතත්, මෙය එකවර සිදුවූ සිදුවීමක් නොවන බව අප පිළිගත යුතුය. ඉකුත් දස වසරක කාලය තුළ, මෙරට සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ දිය වී යාම සිදුවුණි. ශ්‍රී ලාංකීය ජනමතය වෙනස් වීම සිදුවූයේ ක්‍රමික ක්‍රියාවලියකින් බව පෙනේ.
පළමුව, මෙම අභියෝගයට මුහුණ දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. 2018 පළාත් පාලන මැතිවරණයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෙවැනි තැනට පැමිණි අතර, එම පක්ෂයෙන් බිඳී වෙන් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පළමු වරට සුවිශේෂී දේශපාලන ජයග්‍රහණයක් හිමිකර ගත්තේය. එහෙත්, එම කඳවුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම නව මුහුණුවරක් ගත් අතර, රාජපක්ෂ පවුල වටා කේන්ද්‍රගත වූවක් බව පැහැදිලිය.
අනතුරුව, බිඳී ගියේ එක්සත් ජාතික පක්ෂයයි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී, එම බෙදීම සලකුණු විය. කරළියට පැමිණි සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම අත්පත් කර ගනිමින්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව එකක් දක්වා අඩු කළේය.
මෙම පරිවර්තනයන් අභියසදී, මෙරට දකුණේ දේශපාලනයේ තෙවැනි බලවේගය වූ ජනතා විමුක්ති පෙරමුණ ද, සිය දේශපාලන මුහුණත මාරු කරගත් අතර, ඔවුහු ජාතික ජන බලවේගය ගොඩනැගීමට කටුයුතු කළහ. ඔවුහු සිය සාම්ප්‍රදායික මාක්ස්වාදී දේශපාලන අදහස් ජනගත කිරීම නවතා දමා, දූෂණ විරෝධී බලවේගයක් ලෙස නැගී සිටියහ. කාලයත් සමඟ, ශ්‍රී ලාංකීය ජනමතයේ විචල්‍ය වේගවත් වූ අතර, එය 2015 හා 2019 වැනි ජනාධිපතිවරණවලදී මෙරට ඡන්දදායකයන් සිදු කළ අත්හදා බැලීම් මගින් පැහැදිලි වේ.
ලාංකීය ඉතිහාසයේ පළමු ජන මතය පුපුරා යාම “අරගලය 2022” ලෙස ඉස්මතු විය. ප්‍රජාතන්ත්‍රවාදී සාම්ප්‍රදායික මැතිවරණ බල හුමාරුවලින් සිදුවූ නෙරපා හැරීම් මෙවර වෙනස්ම ක්‍රමවේදයක් යටතේ සිදුවිය. පළමු වරට මෙරට ජනාධිපතිවරයෙක් තනතුර අතහැර දැමුවේය. මේ හුදෙකලා සිදුවීමක් නොවූ අතර දීර්ඝ කාලීන විරෝධයක පුපුරා යාමක් විය.
ඒ අනුව 2024 ජනාධිපතිවරණයට ප්‍රධානම බලපෑම වූයේ, ආර්ථික අර්බුදය හරහා ගොඩනැගුණු ජන අරගලයයි. එහෙත්, එය එකම සාධකය නොවූ බවත්, පසුගිය මැතිවරණ ඉතිහාසය විශ්ලේෂණය කිරීමේදී පැහැදිලිය. සාම්ප්‍රදායික දේශපාලන ධාරාව කෙරෙහි ජන විශ්වාසය බිඳී යාම මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යයි.
තවද, 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පරම්පරා පෙරළියක් ලෙස ද දැක්විය හැකිය. ජනාධිපතිවරයාට විරුද්ධව තරග කළ අපේක්ෂකයන්ගේ සමස්ත ඡන්ද එකතුව ඔහු ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි බවද සඳහන් කළ යුතුය. විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙම චෝදනාව ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා මැතිවරණයේදී සරල බහුතරය අත්‍යවශ්‍ය නොවී, බහුතර විරෝධය සහිත අපේක්ෂකයකු පත්වීම වළක්වා ගැනීමට ක්‍රමයක් තිබේ. ශ්‍රී ලංකාවේ දෙවැනි සහ තෙවැනි මනාප ක්‍රමය භාවිත කිරීමට කිසිදු අපේක්ෂකයකු පෙරට නොපැමිණීම හේතුවෙන් මෙවන් චෝදනාවක් කොතරම් යුක්තිසහගත දැයි ප්‍රශ්න කළ යුතුය.
මීළඟට මැතිවරණ ප්‍රතිඵල සිතියම්ගත කිරීමේ දී ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර සහ මධ්‍යම සහ ඌව පළාත්වල ප්‍රතිඵලය සලකුණු වී ඇති ආකාරය අප විග්‍රහ කරගත යුතුව තිබේ. ඇතැමෙක් ඉතා පටු ප්‍රවේශවල සිට මෙම පළාත්වල අධ්‍යාපනයේ පවතින අඩුලුහුඬුතා ප්‍රතිඵලයට බලපෑම් කළ බවට සමාජ මාධ්‍යයේ සටහන් තැබූහ. එය සියලු දෙනාම එක්සිත්ව හෙළා දැකිය යුතු තත්ත්වයකි. වාර්ගික පදනම්වලින් සිංහල බහුතරය නොවන මෙම ප්‍රදේශවල සලකුණුගත වී ඇති ප්‍රතිඵලය ඊට වඩා ගැඹුරු පණිවිඩයක් සම්ප්‍රේෂණය කරයි. එය අප ඉතා සියුම්ව සහ මනාව කියවාගත යුතු තත්ත්වයකි.
දකුණේ බහුතරයේ දේශපාලන අභිලාෂයන්ට වඩා වෙනස් දේශපාලන අභිලාෂයන් මෙම ප්‍රදේශවල ජනතාව සන්තක බව අවබෝධ කරගත යුතුව ඇත. එසේම ඔවුන්ගේ ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් ලබා දීමට වර්තමාන පාලනය විසින් එම අවබෝධය භාවිත කළ යුතුව තිබේ. එසේම අමතක නොකළ යුතු සත්‍ය නම්, අන් කිසි දිනක නොලැබුණු සුළුතර නමුත් සුවිශේෂී කැමැත්තක් උතුරෙන් ද ජාතික ජනබලවේගය වෙත ලැබී ඇති බවයි. එම විශ්වාසය වර්ධනය කරමින් උතුරේ දේශපාලනය තුළ තවදුරටත් වාර්ගික භාවිතයන්ට ඇති ඉඩකඩ අවම කිරීමට වර්තමාන ආණ්ඩුවට හැකියාවක් පවතී. ඔවුන් මේ සඳහා මෙම ප්‍රතිඵලය මනාව කියවාගත යුතුමය.
මීට අමතරව ගෝඨාභය රාජපක්ෂ වෙත ලැබුණු ඡන්ද විශාල වශයෙන් අනුර කුමාර දිසානායක පාර්ශ්වය වෙත ගලා ගිය බවද මැතිවරණ ප්‍රතිඵල විග්‍රහයේ දී පැහැදිලිව සලකුණු කොට තැබිය යුතු කරුණකි. ගම්පහ, කළුතර, කුරුණෑගල ආදී දිස්ත්‍රික්කවල මැතිවරණ ප්‍රතිඵලය ඊට සාක්ෂි සපයයි. එය අනුව පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ මේ තාක් ඉතිහාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ වාමාංශික නැඹුරුවක් සහිත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වෙත ආකර්ශනය වූ පිරිස් මේ වන විට ජාතික ජනබලවේගය සමඟ එක්ව සිටින බවයි. එසේම දක්ෂිණාංශික දේශපාලනය තවදුරටත් දරා සිටින සමගි ජනබලවේගය සහ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වවල එකතුව සුළු කොට නොතැකිය හැකි බවත් මෙහිදී අවබෝධ වෙයි. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ ඡන්ද තුළ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතවාදයෙන් ජනනය වූ කඳවුරේ පැහැදිලි නියෝජනයක් වන බව සඳහන් කළ යුතුය.
කෙසේ වෙතත් දක්ෂිණාංශික කඳවුරට පැහැදිලි නායකත්වයක් ලබා දීමට චරිතයක් වේ නම් එම කඳවුරේ නැගී සිටීම ද අනාගතයේදී අපේක්ෂා කළ හැකි බව මෙහිලා සඳහන් කළ යුතුය. ඊට අමතරව ජාතිකවාදී කඳවුර නියෝජනය කළ නාමල් රාජපක්ෂ සියයට 3 කට අඩු ප්‍රතිශතයක් වෙත ගමන් කිරීම ද යම් පමණකට හෝ විග්‍රහ කොටගත යුතුය. මෙය ජාතිකවාදීන්ට එතරම් මාතෘකා සැපයූ මැතිවරණයක් නොවුණෙන් මෙය සැබෑවටම ශ්‍රී ලංකාවේ ජාතිකවාදී කඳවුරේ පිළිබිඹුවක් නොවන බව සටහන් කළ යුතුය. ඕනෑම ජාතික ගැටලුවක් හමුවේදී අවදි විය හැකි වෙනත් ඡන්ද පදනමක් තවදුරටත් ශ්‍රී ලාංකීය ඡන්දදායකයන් සතු බව අප අමතක කළ යුතු නැත. දිලිත් ජයවීර විසින් ආමන්ත්‍රණය කරමින් උපයා ගන්නට උත්සාහ කරන ලද්දේ ද එම ඡන්ද පදනමයි.
මේ අතර උතුරු නැගෙනහිර ප්‍රතිඵල අතර උතුරේ දමිළ පොදු අපේක්ෂකයා වෙත ලැබුණු ප්‍රසාදය ද අමතක කළ යුතු නැත. මේ සමඟම දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණවලදී තනිව තරග කරන බවත්, ඒ අනුව ඔවුන්ගේ පාර්ලිමේන්තු ආසන ඔවුන් නැවත හිමි කරගනු ඇති බවත් සිහිපත් කළ යුතුය. එය සාමාන්‍ය යථාර්ථය තුළ නොවැළැක්විය හැකි තත්ත්වයකි. එහෙත් ආර්. සම්පන්දන්ගෙන් පසු උතුරේ පවතින දේශපාලන බැඳීම පසුගිය මැතිවරණයේදී මනාව පැහැදිලි වූ බවද ප්‍රතිඵල විග්‍රහයේදී පෙනී යයි. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ ආරියනේත්‍රන් අතරතුරේ ඡන්ද බෙදී ගිය ආකාරය ඒ සඳහා සාක්ෂි සපයයි. එසේම උතුරේ මැතිවරණ ප්‍රතිඵල සඳහා ඉන්දියානු මහා සාධකයේ බලපෑම නිශේධ වූ අවස්ථාවක් ලෙස ද මෙය සලකුණු කොට තැබිය හැකිය.
සමස්තයක් ලෙස ගත් කල 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලය එක් පරිච්ඡේදයකින් විග්‍රහ කොටගත නොහැකි බව ලියා තැබිය යුතුය. මෙම ඓතිහාසික ප්‍රතිඵලයේ හැඩතල එකිනෙක තුළ විග්‍රහ කර ගැනීමට විශාල කාලයක් සහ ශ්‍රමයක් මිඩංගු කළ යුතුව තිබේ. කෙසේ වෙතත් මෙම ප්‍රතිඵලය අහම්බකාරයක් නොවන බවත්, කාලානුරූපීව වෙනස් වූ ජනමතයක පිළිබිඹුවක් බවත් අවසානයේ අපි සටහන් කොට තබමු. එසේම ජන මතයේ විචල්‍ය මෑත දශකය තුළ උද්වේගකාරී ලෙස වෙනස් වෙමින් පවතින බැවින් ඕනෑම අවස්ථාවක මෙම ප්‍රතිඵලය අභියෝගයට ලක් කිරීමට ඡන්දදායකයන් පසුබට නොවනු ඇතැයි සඳහන් කරමු.
• චමිඳු නිසල් ද සිල්වා