2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

අපේ ඉලක්කය හොඳම ප්‍රමිතියේ පොත්

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 14

රත්න පොත් ප්‍රකාශකයෝ මෙරට අවුරුදු 70ක ඉතිහාසයක් ඇති පොත් ප්‍රකාශන ආයතනයකි. පොත් ප්‍රකාශනයට අමතරව මුද්‍රණ කර්මාන්තයේ ද කටයුතු කරන ඔවුන් පසුව අභ්‍යාස පොත් නිෂ්පාදනයට ද පිවිසුණි. ඒ රත්න සහ ප්‍රෝමේට් නාමවලිනි. අද වනවිට ලංකාවේ ජනප්‍රියම අභ්‍යාස පොත් ලෙස මෙම නාම ඉදිරියට පැමිණ තිබේ.

‘පිටු මතකේ අතර රැඳෙන්න,

මුතුවන් රන් අකුරු ලියන්න,

ශිල්පය නිසි ලෙස පිහිටන්න,’

හැමදාමත් රත්න අභ්‍යාස පොත් යන්න ඔවුන්ගේ තේමාව වී ඇත.‍

මේ රත්න සහ ප්‍රෝමේට් ආයතන අයත් ප්‍රින්ට්එක්සෙල් සමාගමේ සාමූහික ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ ශනිල් සෙනරත් සමඟ දේශය කළ කතාබහකි.

ඔබ ආයතනය මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට දායකත්වය දක්වන්නේ කෙසේද?

රත්න පොත් ප්‍රකාශකයෝ තමයි මෙවර කොළඹ පොත් ප්‍රදර්ශනයට ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ. අපේ ප්‍රදර්ශන කුටි කිහිපයක්ම පොත් ප්‍රදර්ශනයේ තිබෙනවා. ඒවායින් අපේ ප්‍රකාශන වගේම අභ්‍යාස පොත් මිලදී ගන්නත් පුළුවන්. බී ශාලාවේ 121 කුටිය රත්න පොත් ප්‍රකාශනවලට වෙන්ව තිබෙනවා.

අද අභ්‍යාස පොත් සමාගම් කිහිපයක්ම තිබෙනවා. ඔබ ආයතනයේ අභ්‍යාස පොත්වල ඇති විශේෂත්වය කුමක්ද?

අපි වැඩිපුර උනන්දු වන්නේ විශිෂ්ට තත්ත්වයේ නිෂ්පාදන ඉදිරිපත් කිරීමටයි. අභ්‍යාස පොත් ගන්නේ ඉගෙන ගන්න දරු දැරියොනේ. ඉතින් හොඳ කඩදාසිවල සිතට ප්‍රිය කවරයකින් යුක්තව කාටත් දරාගත හැකි මිලකින් අපේ අභ්‍යාස පොත් නිෂ්පාදනය කරනවා. අප පොත් නිෂ්පාදනය පටන් අරන් අවුරුදු 15 ක් වෙනවා. ඒකයි ඒවා කෙටි කලකින් ලංකාවේ ජනප්‍රියම පොත් බවට පත් වුණා. පාවිච්චි කරන සිසු දරුවන් දන්නවා රත්න සහ ප්‍රොමේට් පොත්වල තිබෙන වෙනස ගැන. පොත් ප්‍රදර්ශනයෙදිත් අපේ කුටිවලින් දෙමාපියන් සහ සිසුන් විශාල වශයෙන් පොත් මිල දී ගන්නා ආකාරය දැකගන්න පුළුවන්.

ඔබ අභ්‍යාස පොත්වලට යොදාගන්නා කඩදාසි වර්ගය ගැන කිව්වොත්?

රත්න පොත්වලට අපි භාවිත කරන්නේ ජීඑස්එම් 60 කඩදාසි. මේ කඩදාසියත් අකුරු හොඳින් ලියන්න පුළුවන් එකක්. ප්‍රෝමේට් පොත්වල කඩදාසි ඊට වඩා ගුණත්වයෙන් වැඩියි. ඒක නිෂ්පාදනය කරන්නේ ජීඑස්එම් 70 කඩදාසිවලයි. වඩාත් විශිෂ්ට තත්ත්වයේ පොත් හොයන අයට ප්‍රෝමේට් පොත් මිලදීගත හැකියි. මෙහි ඉහළ තත්ත්වය නිසා එස්එල්එස් ලාංඡනයෙන් ද පිදුම් ලබා තිබුණා.

සීආර් පොත්, බී 5 පොත්, සටහන් පොත්, සාමාන්‍ය අභ්‍යාස පොත් ඇතුළුව පොත් වර්ග රාශියක් අපි නිෂ්පාදනය කරනවා. ඒ වගේම ෆයිල් කවර සහ ෆෝල්ඩර්, ෆොටෝකොපි කඩදාසි ඇතුළු ලිපිද්‍රව්‍ය රාශියක් ද අපෙන් මිලදී ගත හැකියි.

ඔබේ පොත් මිලදී ගත හැක්කේ කුමන පළාත්වලින්ද?

අපේ පොත් ලංකාව පුරාම විධිමත්ව බෙදා හරිනවා. පොත් අලෙවිසල්වලින් පහසුවෙන් ලබා ගැනීමට පුළුවන්. ඒ වගේම අපේ පොත්වලට ලංකාවේ හොඳ පිළිගැනීමක් තිබෙන බවත් කියන්න ඕනේ. ඒකට හේතුව එහි ප්‍රමිතියයි. බාල පොත් වර්ග රාශියක් අතර කැපී පෙනීමට හේතුවත් මේ ප්‍රමිතියයි.

රත්න පොත් ජනප්‍රිය කරවීම සඳහා ඔබ ගන්නා ක්‍රියාමාර්ග ගැන කිව්වොත්?

අපි පොත් හොඳ ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරලා විතරක් නවතින්නෙ නෑ. පාසල් දරුවන් අතර ශිල්පය පිහිටන්න යන තේමාව ඔස්සේ ප්‍රශ්න විමසීමේ තරග පවත්වා පොත් තෑගි වව්චර් ලබාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කළා. එම තරග ඉතා ජනප්‍රිය වූ බව අපට ලැබුණු ප්‍රතිචාරවලින් පේනවා.

• කුසුම්සිරි