2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

පොත් දැක්මට හැමදාම එන ලේඛකයෝ

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 16

සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය අවට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පාඨකයන් වගේම ලේඛකයන් රාශියක් ද පැමිණෙන බව එහි යන ඔබට දැකගත හැකිය. පොත් ප්‍රකාශන ආයතන රාශියක් ලේඛක පාඨක හමු සංවිධානය කර පාඨකයන්ට තමන් කියවන පොත් ලියූ සහ ස්වර්ණ පුස්තක සම්මාන නිර්දේශිත පොත් ලියූ ලේඛක ලේඛිකාවන් හමුවීමට ඉඩ සලසා ඇත. ඊට අමතරව තවත් ලේඛක පිරිසක් ප්‍රදර්ශන කුටිවලට පැමිණ පොත් මිලදී ගැනීමට මෙන්ම සාහිත්‍ය සංවාදවලට එක්වීම කරති. මේ සාහිත්‍ය වසන්තයට සෑම අවුරුද්දකම පාහේ පැමිණෙන ලේඛකයන් සමඟ කතා කිරීමට අප සිතුවේ ඒ නිසයි.

කලාපයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන හා සම මට්ටමේ පවතිනවා

සති දෙකක පමණ කාලයක් තුළ පාඨකයන්, සාහිත්‍ය ලෝලීන් පොත් ප්‍රකාශකයන්, ග්‍රන්ථ කතුවරුන් මහත් සේ ආකර්ෂණය කරගත් කොළඹ පොත් ප්‍රදර්ශනය මේ සියලු කණ්ඩායම් සිනාමුසු මුහුණින් හමුවන නැවතුම් පොළක් බවට පත්වීම අගය කළ හැකියි. 2022 වසරේ කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී මා විසින් පරිවර්තනය කළ ‘ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාන්විතයහි ස්වර්ණමය යුගය’ ග්‍රන්ථය එළි දැක්වූ අතර 2024 වර්ෂයේ මා විසින් රචිත ‘මහනුවර රාජධානියේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා’ කෘතිය දොරට වැඩීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ පොත් පළ වන්නේ සූරිය ප්‍රකාශන ලෙසින්. රාජකාරිමය කාර්යබහුලත්වයක් තිබුණ ද අප වැනි රාජ්‍ය නිලධාරීන් පවා එහි කොටස්කරුවන් වන්නේ මහත් අමන්දානන්දයකින් සහ ආඩම්බරයකින්.  
දකුණු ආසියානු කලාපය තුළ සංවිධානය කරන අනෙකුත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන, එනම් නව දිල්ලි ලෝක පොත් ප්‍රදර්ශනය (NDWBF), කල්කටා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, ඩකා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, කත්මන්ඩු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, ඉස්ලාමාබාද් සාහිත්‍ය උළෙල, ලාහෝර් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, ජායිපූර් සාහිත්‍ය උළෙල ආදිය හා සංසන්දනය කරන කල කොළඹ පොත් ප්‍රදර්ශනය ජන සහභාගිත්වය හා රටේ සාහිත්‍ය උන්නතියට එයින් ලැබෙන දායකත්වය කලාපයේ අනෙකුත් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන හා සම මට්ටමේ පවතින බව සඳහන් කළ හැකියි.

 

මේක සංස්කෘතික සැණකෙළියක්

මම අවුරුද්ද පුරාම පොත් මිලට ගන්නවා. ඒ නිසා පොත් ප්‍රදර්ශනයට එන්නේ පොත් මිලට ගැනීමටම නොවෙයි. මගේ පොතුත් කුටිවල අලෙවි වෙනවා. එවිට එම කුටිවල ලේඛක හමුවලට සහභාගි වෙනවා. පාඨකයන් හමුවෙනවා. එහිදී පාඨකයන් මගේ පොත් ගැන තම අදහස් පවසනවා. ඒ වගේම වෙනත් ලේඛකයන් අපට හමුවීමට හැකි තැනක් ලෙසත් පොත් ප්‍රදර්ශනය මට වැදගත්. මේක පාඨකයන් ලේඛකයන් එකට හමුවන අපූරු කේන්ද්‍රස්ථානයක් විදිහට සැලකිය හැකියි. ප්‍රදර්ශනයට මා එන තවත් අරමුණක් තමයි පොත් එකතු කරන්නකු විදිහට මඟහැරී තිබෙන සමහර දුලබ පොත් මිලදී ගැනීමට. ඒවා බාගේන් පොත් කුටිවල තමයි තිබෙන්නේ. එහිදී සමහරවිට පරණ කවරය කැඩුණු දුලබ පොත් පවා අපට හමුවෙනවා.
මේ වකවානුවේ පාඨකයන්ට පොත් මිලදී ගැනීමට ලොකු මුදලක් වියදම් කරන්න අපහසුයි. වෙනදා විසිපන් දහසක පොත් ගත් අය අද සමහරවිට පන්දහසක පොත් ගන්න පුළුවන්. නමුත් ඔවුන් පොත් බලලා ලොකු සතුටක් විඳිනවා. එක පොතක් හෝ මිලදී ගන්නවා. හිතවතුන් හමුවී කතාබහ කරනවා. මේක සංස්කෘතික සැණකෙළියක් වගේ. ජනතාව පොත්පත් තෝරමින් තමයි ඉන්නේ. ඇහෙන්නේ පොත් එළිදැක්වීම්වල කතා. හොඳ සුභාවිත ගීත. මේ නිසා පොත් ප්‍රකාශන කර්මාන්තයට හොඳ ප්‍රවර්ධන අවස්ථාවක් ලෙස ප්‍රදර්ශනය සැලකිය හැකියි. මේක සෞන්දර්යාත්මක අත්දැකීමක් ලෙසත් වැදගත් වෙනවා.

 

අලුත් පාඨකයන් බිහි කරන කෙම්බිමක්

පළමුවැනි කොළඹ පොත් ප්‍රදර්ශනය තිබුණෙ කලා භවනේ. මම ඒ ප්‍රදර්ශනයෙ ඉඳන් හැමදාම සහභාගි වන කෙනෙක්. ඇවිත් පොත් මිලදී ගන්න කෙනෙක්. මෙතැන පොත් දැක්මට එහා ගිය සාහිත්‍ය සංස්කෘතියක් දකින්න ලැබෙනවා. ලක්ෂ ගණනින් සෙනඟ මෙතැනට එන නිසා දැන් සමහරු චෝදනාවක් එල්ල කරනවා, හුඟ දෙනෙක් ඇවිත් පොත් මිලදී ගත්තත් ඒවා කියවන්නෙ නෑ කියලා. ඒ වගේම සමහරු ඇවිත් නූඩ්ල්ස් කනවා මිසක් පොත් ගන්නෙ නෑ කියලා කියනවා. මම ඒ කතාවලට එකඟ නෑ. මම සලකන්නෙ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පාඨකයන් බිහි කිරීමට මුල්වන ස්ථානයක් විදිහටයි. අලුතෙන් පාඨක සමාජයක් රටේ බිහිවීම අවශ්‍යයි. ඒක සාහිත්‍යයේ පැවැත්මට බලපානවා. ඒ වගේම ප්‍රඥාවන්ත සමාජයකට ඒක අවශ්‍ය දෙයක්. නැත්නම් බිහිවන්නේ හිස් මිනිස්සුනේ.
අද වැඩි දෙනකුට පොත්වලට මුදල් වැයකිරීමට අපහසුයි. ඒ නිසා තෝරලා තමන්ට අවශ්‍යම පොත් තමයි මිලදී ගන්නේ. මෙතැනදී විශාල තෝරා ගැනීමක් කිරීමට ඉඩ ලැබෙනවා. පොත් දැක්ම තමන් කැමති විවිධ ප්‍රකාශකයන්ගේ පොත් තෝරාගැනීමට පහසුකම සලසනවා.
ඒ වගේම ලේඛකයන්ට තමන්ගෙ රසිකයන් සමඟ කතාබහ කර අදහස් හුවමාරු කර ගැනීමටත් ඉඩ ලැබෙනවා. පාඨකයන්ටත් තමන් කැමති ලේඛකයන් හමුවීමට මෙහි ඉඩ සලසා තිබෙනවා. මම දැන් නවකතා වගේ නිර්මාණ සාහිත්‍යය වෙනුවට වැඩිපුර නැඹුරු වී තිබෙන්නේ ශාස්ත්‍රීය පොත්. ඒ කියන්නේ විමර්ශනය කර යමක් අලුතෙන් ඉගෙනගත හැකි පොත් මිලදී ගැනීමටයි. ඒ වගේම ඓතිහාසික නවකතා වගේ පොතුත් මම මිලදී ගන්නවා. ඒ පොත් හරහා ඉතිහාසය හැදෑරීමට අපට පුළුවන් නිසා.


පොත් ප්‍රදර්ශනය අපට ආහ්ලාදයක්

අද අපි ජීවත් වන්නේ සමාජය දියුණුයි කියලා හිතන ඒත් දියුණුවක් නැති, නව චින්තකයන් හිඟ තාක්ෂණික ලෝකයක. ඒක පිරිහුණු ලෝකයක් විදිහටයි මම නම් දකින්නේ. මේක මානව සමාජයේ පරාජයක්. ඒකට ප්‍රධාන හේතුව මිනිසා කියැවීමෙන් බැහැරවීම. පොත් ප්‍රදර්ශනය දකින විට ඒකට එන ජන සන්නිපාතය දකින විට හිතෙනවා, මෙච්චර පොත් කියවන රටක් නේද කියලා. නමුත් වැඩි දෙනෙක් එන්නේ අභ්‍යාස පොත්, අධ්‍යාපන පොත්, පාසල් පොත් මිලදී ගන්න. ඒ අතර පොත් මිලදීගෙන කියවන පිරිසකුත් ඉන්නවා. ඒ වගේ වටපිටාවක් හෝ ඇතිවුණේ පොත් ප්‍රදර්ශනයෙන් නිසා ඒක සතුටට කරුණක්. කෘත්‍රිම බුද්ධිය ඉහළට යන ලෝකයේ පොත්වල අගය නැතිවන කාලයක් තමයි එන්නේ. දැන් ස්මාර්ට් ෆෝන්වලින් පරිගණකවලින් තමයි පොත් කියවන්නේ. ඒ අතර අලුත් පොත් ලංකාවේ පළවන බව වැඩි දෙනකුට දන්වන පොත් ප්‍රදර්ශනය අපට ආහ්ලාදයක් ගෙන එනවා.

 

 

 

සහෘද පාඨක හමුව ඉතා වැදගත්

1999 වසරේ කොළඹ කලා භවනේ පළමු පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන විට මා ඊට සහභාගි වූයේ පාඨකයෙක් ලෙසයි. වසර දෙකකට පසු පළමු වරට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය BMICH හිදී පැවැත්වෙන විටද මා ඊට සහභාගි වූයේ ද පාඨකයකු ලෙසින්. මාධ්‍යවේදියකු ද වූ මට අහාවප්‍රාප්ත ‘මල්පියලි ප්‍රකාශන : අධිපති’ ඇ. ලයනල් සිල්වා මහතා පොත් ලිවීමේ අදහස ලබාදුන් බව සිහිපත් කරන්නේ කෘතඥතා පූර්වකව. 2002 වසරේ සිට මා පොත් ප්‍රදර්ශනයට සහභාගි වූයේ ලේඛකයකු ලෙසින්. එදා මෙදා තුර වසර 25ක් තිස්සේ නොකඩවා ඊට සහභාගි වීමෙන් හඳුනාගත් සහෘද පාඨක පිරිස හා පොත් ප්‍රකාශකයන් මෙන්ම සහෝදර ලේඛක ලේඛිකා පිරිස විශාලයි. සෑම වසරකම සිදුවන මෙම හමුවීම් ඉතා සුන්දරයි. විශේෂයෙන්ම සහෘද පාඨක හමුව ඉතා වැදගත් වෙනවා. ඔවුන් අපගේ නිර්මාණ ගැන මෙන්ම පොදුවේ සාහිත්‍යය ගැන දක්වන අදහස් ලේඛක අපගේ පෙරමග එළිය කරනවා කීම වැරදි නැහැ. ඔවුනට අපගේ අත්සන, අප සමඟ සේයාරුවක් ලබා ගැනීම තරමටම මා හට නම් ඔවුන්ගේ අදහස් වටිනවා. ඒ සමහර අය සිතන්නට බැරි තරම් ඉහළ විචාරකයන්. සැබැවින්ම පොත් ප්‍රදර්ශනයේ දී අප ලබන්නාවූ ඉහළම උත්තේජනය වන්නේද ඒ දයාබර පාඨකයන්ගේ සුහද ඇසුර හා ඔවුන්ගේ අදහස්මයි.

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:04