2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

සාහිත්‍ය සම්මානවලට ප්‍රමිතියක් ඕනෑ

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

අද අපේ රටේ සම්මාන දෙන විවිධ කේෂ්ත්‍ර තිබේ. එසේම සම්මාන දීමට මැදිහත් වන විවිධ ආයතන ද ඇත. ග්‍රන්ථ, සිනමා, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, ගායනය, රංගනය දෑ නොයෙක් අංශවලට සම්මාන ප්‍රදානය කරනු ලැබේ. මෙම සම්මාන රජය මගින් ද, දේශීය හා විදේශීය ආයතන මෙන්ම පුද්ගලයන් විසින් ද දෙනු ලබන බව දැකගත හැකිය. මෙහිදී සම්මානලාභීන් සඳහා පිරිනමන මුදල් ත්‍යාගවලට විශාල මුදලක් වැය කරන අතර, උත්සව කටයුතු සංවිධානය කිරීම සහ පැමිණෙන අයට සංග්‍රහ කිරීමට ද සෑහෙන මුදලක් වියදම් කෙරේ. එසේම තරග විනිශ්චය මණ්ඩල සඳහා දීමනාවලටද ආදී වශයෙන් ලක්ෂ ගණනින් මුදල් වියදම් කරනවා ඇත.

මෙවැනි උත්සව පවත්වා සම්මාන දීමෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ නියැලි අය දිරිමත් කරන අතර එමගින් එම අංශ ප්‍රවර්ධනය කිරීම ද අපේක්ෂා කෙරේ. එසේම නිර්මාණවල ප්‍රමිතිය උසස් කිරීමටද අනාගතයේදී වැඩි වැඩියෙන් සාහිත්‍යකරණයට යොමු කිරීමටද අපේක්ෂා කෙරෙන බව පැවසේ. ඒ අතර මෙවැනි කටයුතුවලට අනුග්‍රහය දක්වන ආයතනවලට විශාල ප්‍රසිද්ධියක් ලැබෙන අතර එමගින් තම නිෂ්පාදන සහ ව්‍යාපාර කටයුතුවලට පුළුල් ප්‍රචාරයක් ගෙන දීමට ද කටයුතු සිදුවෙයි. පෞද්ගලික අංශය මෙවැනි උත්සව සඳහා විශාල මුදලක් වැය කරමින් කටයුතු කිරීම තුළින් ඔවුන්ගේ නිෂ්පාදන පිළිබඳ පණිවුඩය ජනතාව අතරට ගෙන ගොස් යම් ප්‍රතිලාභයක් ලබා ගැනීම පිළිබඳ කිසි විටෙකත් විවේචනය කළ නොහැක. මීයක් කඩන්නේ අත ලෙවකන්න ද යන ගැමි ප්‍රස්ථාව පිරුළ අපට මේ අවස්ථාවල සිහිපත් වේ.

මේ වනවිට අපේ රටේ මෙවැනි සාහිත්‍ය තරග හා උත්සව සවිධානය කරන රාජ්‍ය හා පෞද්ගලික අංශවල ආයතන ගණනාවකි. සංස්කෘතික දෙපාර්තමේන්තුව හෙවත් කලා කටයුතු දෙපාර්තමේන්තුව, රාජ්‍ය විශ්වවිද්‍යාල හා රාජ්‍ය ආයතන කිහිපයක් තිබේ. එසේම පෞද්ගලික අංශයෙන් ද මෙහෙයවන ආයතන රැසකි. මේවා අතර පොත් ප්‍රකාශනයට හා මුද්‍රණයට සම්බන්ධ සමාගම්, සම්මාන දීම සඳහාම පිහිටුවාගත් සංවිධාන, යම් පුද්ගලයකු සිහිපත් කිරීමට සහ ඔවුන්ගෙන් සිදුවූ සේවයට උපකාර දැක්වීමේ සංවිධාන මෙන්ම විදේශ සංවිධානවල අනුග්‍රහයෙන් මෙරට පවතින ශාඛා සංවිධාන ආදිය සඳහන් කළ හැකිය. ඒ සෑම සංවිධානයකටම ආයතනයකටම යම් අරමුණක් තිබේ. ඔවුන් උත්සාහ කරනුයේ තම අපේක්ෂාව පූර්ණය කර ගැනීම සඳහාය.
සාහිත්‍ය කෘතින්වලට සම්මාන දීමට වඩාත් උත්සුක වන සැප්තැම්බර්, ඔක්තෝබර් ආදී මාසවලදී දිවයින පුරා සාහිත්‍ය කෝලහලයන් පටන් ගනී. විශේෂයෙන් මේ තත්ත්වය උද්ගත වනුයේ මුද්‍රිත නිර්මාණ වෙනුවෙනි. සම්මාන සඳහා ග්‍රන්ථ තෝරා ගැනීම පිළිබඳ විශාල උන්නදුවක් එම සම්මාන උත්සව සංවිධානය කරන ආයතන අතර ද, ලේඛකයන් අතර ද හටගනී. එකිනෙකා පරයා තම උත්සව සංවිධානය කිරීමට සම්මාන දෙන ආයතන උත්සාහ ගනී. දෙන මුදල් ත්‍යාග වැඩි කිරීම, ජය සංකේතවල තත්ත්වය උසස් කිරීම, උත්සවවල විචිත්‍රත්වය ඉහළ නැංවීම, සංග්‍රහ කිරීම, පෙර සහ පසු ප්‍රචාරණ කටයුතු මෙම වැඩ පිළිවෙළවල් කෙරේ වැඩි අවධානයක් දක්වනු පෙනෙන්නට තිබේ.

සම්මාන සඳහාම නිර්මාණ කරන නිර්මාණකරුවෝ බොහෝ වෙති. ඇතැම් නව නිර්මාණකරුවන් ලියන්නේ, නිෂ්පාදනය කරන්නේ සම්මානයක් ලබා ගැනීමේ ඒකායන අධිෂ්ඨානයෙනි. මෙයට පෙර සම්මාන ලැබුණු ඒ ඒ නිර්මාණ විශ්ලේෂණය කරන ඔවුහු එම  ක්‍රමවලට අනුගත වෙමින් තම කෘතින් කරති. වැඩියෙන් සම්මාන ලැබෙන්නේ කුමන නිර්මාණවලට දැයි ඇගයීමක යෙදෙති. ඒ අනුව තම නිර්මාණය කරති. විශේෂයෙන් විනිශ්චය මණ්ඩලවල ඉන්නේ කවුරුන්ද, ඔවුන් කුමන ගුරුකුලවල, සාහිත්‍ය රීතිවලට අනුගත වූවක් දැයි සොයා බලා ඒ අනුව තම නිර්මාණවල යෙදීමට උත්සුක වෙති.

අපේ රටේ නිර්මාණ තේරීමේ කිසිදු ඒකාග්‍රතාවක් නැත. ප්‍රමිතියක් නැත. එක එක විනිශ්චය මණ්ඩල තමන්ගේම ප්‍රමිති තනාගෙන ඒ අනුව තෝරති. විනිසුරුවරුන් අතර ද එකඟත්වයක් නැත. ඔවුහු තම තමාගේ සිතැඟි පරිදි නිදහසේ කටයුතු කරති. පසුගිය කාලයේ එක්තරා විනිශ්චය මණ්ඩලයක් කථන ශෛලියෙන් ලියූ පොත් සලකා බැලීම ප්‍රතික්ෂේප කළා අපට මතකය. එවැනි රීතියක් ගොඩනගා ගත් ඔවුහු කොතරම් යහපත් පණිවුඩයක් දුන්නද, කතා කරන භාෂාවෙන් ලියූ පොත් කුණු කූඩයට යැවීමට සැහැසි වූහ. මේ පිළිබඳ කල් ඇතුව ලේඛකයන් හෝ අනුග්‍රහකයන් දැනුවත් කර තිබුණේ නැත. ඒ නිසා ඔවුහු අමාරුවේ වැටුණහ.

ඇතැම් විනිසුරුවරු ග්‍රන්ථවල නිවැරදි භාෂාව හා ව්‍යාකරණ රීති අනුගමනය කළ යුතුය යන්න ගැන එතරම් සැලකිලිමත් වූයේ නැත. ඒ නිසා අක්ෂර වින්‍යාසය, පද බෙදීම, උක්තාඛ්‍යාත සම්බන්ධය, ප්‍රාථමික ව්‍යාකරණ රීති අනුගමනය නොකර ලියූ පොත්වලටද නොමසුරුව සම්මාන ප්‍රදානය කළහ. ලියා තිබෙන දේවල් තේරෙනවා නම් ව්‍යාකරණ අහවල් දේකට දැයි ඔවුන් සිතන්නට ඇත. ඒ නිසා ඉතාම දුර්වල භාෂාවෙන් රචිත පොත්වලටද සම්මාන ලැබුණි. මේ නිසා සිදුවන විශාල අපරාධය නම් ඊළඟ පරපුර ව්‍යාකරණ රීති බල්ලාට  දමා නිර්මාණ කිරීමට පෙළඹීමය.

විනිශ්චය මණ්ඩල පත් කිරීමේදී ඒ සඳහා සුදුසුකම් ඇති අයම පත් කළ යුතුය. විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු වුවද සියලු අංශවලින් පරිපූර්ණ වී ඇතිදැයි අපට පැවසීමට නුපුළුවන. ඒ නිසා නිර්මාණ ගැන අවබෝධයක් ඇති ප්‍රාමාණික උගතුන් මේ සඳහා පත් කළ යුතුය. මෙයට පෙර එක්තරා පෞද්ගලික සම්මාන උළෙලකදී චිත්‍රපට නිර්මාණයට සම්බන්ධ වූ ජනප්‍රිය අයකු විනිශ්චය මණ්ඩල නායකකමට පත් කර තිබෙන අයුරු දැකගත හැකි විය. එසේම නිර්මාණ තේරීම නියාමනය කිරීමේ ක්‍රමවේදයක් නොමැත. එක එක අය තම තමාගේ ක්‍රමවේදයට අනුව කටයුතු කරති. එබැවින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සම්මාන නිර්මාණ විනිශ්චය කිරීමේදී යම් ප්‍රමිතියක් රීතිගත කළ යුතුය. එසේ කිරීමෙන් විවිධ සම්මාන උළෙලවලට තම අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව ඇහිරීම වැදගත් බව පෙන්වා දෙමු. මෙලෙස සමාන නිර්ණායක ක්‍රියාත්මක කරන්නේ නම් විවිධ විනිශ්චය මණ්ඩල ජයග්‍රාහක කෘතින් පිළිබඳ වෙනස් වෙනස් තීරණ ගැනීම වළකා යම් සමානාත්මතාවක් ගොඩනගා ගැනීමට හැකිවේය යන්න මගේ අදහසය.

ඊළඟට කතා කළ යුත්තේ සම්මාන ලබාගැනීමේදී ඇතිව තිබෙන දැඩි තරගය  පිළිබඳවය. සම්මාන ලබාගැනීමට උත්සාහ කර තම නිර්මාණයට සම්මාන නොලැබුණු විට සම්මාන ලැබුණු කෘතියේ විවිධ දොස් දකිමින් කෑකොස්සන් ගැසීමට ඉදිරිපත් වෙයි.
මෙය ග්‍රන්ථවලදී පමණක් නොව සිනමා හා නාට්‍ය කලාවේදී දක්නට ලැබේ. තම කෘතිය අන් සියල්ලටම වඩා උසස් යැයි ස්වයං විනිශ්චයකට එළඹ ආත්මාර්ථකාමීව කෑකොස්සන් ගැසීම කොතරම් සාධාරණද යන්න සලකා බැලීම වටී. මෙයට හේතුව වන්නේ ඇතැම් සම්මාන ප්‍රදානය කරන අවස්ථාවලදී අවසාන වටයට තේරුණු පොත් පිළිබඳ හෝ යම් සමාලෝචනයක් ඉදිපත් නොකර සියල්ල රහසේ සිදුකිරීම නිසාය. එවිට යම් සැකයක් ජනිත වීම සාධාරණය. බුකර් සම්මානය සහ වෙනත් ජාත්‍යන්තර සම්මාන උළෙලවලදී තෝරා ගන්නා පොත් පිළිබඳ යම් සමාලෝචනයක් විවෘතව සිදුවන නිසා එම විනිශ්චය පිළිබඳ යම් විශ්වාසයක් ජනතාව තුළ  ජනිත වීම සිදුවෙයි. අපේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල හැරුණුවිට එවැනි හේතු දැක්වීමක් සෙසු සම්මාන තේරීම්වලදී මම දැක නැත්තෙමි.

අවසාන වශයෙන් කිවයුතු වන්නේ සම්මානවලින් නිර්මාණයක ප්‍රමිතිය මැනීම සර්ව සම්පූර්ණ නොවන අතර සම්මාන බලාපොරොත්තුව නිර්මාණ කිරීම ද නොකළ යුත්තක් බවය.

• යසවර්ධන රුද්රිගු