ඔහු නමින් සාලිය අරුණ ශාන්තය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම සෝලම ප්‍රදේශයේ ජීවත්වන සාලිය තමන්ගේම සැලොන් එකක් පවත්වාගෙන යන ධෛර්යමත් තරුණයෙකි. ඔහු එක් අතක් අහිමිවුණු තරුණයෙකි. නමුත් අහිමි වූ දේ ගැන නොසිතා ඔහු අද වෙද්දී උත්සාහයෙන් සාර්ථක ගමනක් යමින් සිටියි.
බෙල්ලන්කඩවල මධ්‍ය මහා විදුහලෙන් අධ්‍යාපන හැදෑරූ සාලිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේය. පවුලේ ආර්ථික අපහසුතා හේතුවෙන් ඔහු විභාග ප්‍රතිඵල එනතුරු රැකියා කිහිපයක නිරත විය. ඔහුට සිහිනයක් තිබුණි. ඒ සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ හැදෑරීමටය. නමුත් දෛවය විසින් ඒ හැමදේම වෙනස් කර තිබුණි. ඔහු එක් ආයතනයක සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වූයේය. එය කොහුබත්වලින් පොහොර සාදා විදෙස් රටවල්වලට අපනයනය කරන පෞද්ගලික ආයතනයකි. ඔහු සඳුදා දිනක එහි සම්මුඛ පරීක්ෂණයකට සහභාගි විය. ඔහුව රැකියාවට තෝරා ගැනිණි. බදාදා දින සිට සේවයට වාර්තා කිරීමට නියමිත විය. ඒ අනුව ඔහු බදාදා සේවයට වාර්තා කළේය. දහවල් ආහාරයට ගෙන නැවතත් සාලිය තම රාජකාරිය ආරම්භ කළේය. එහි වූ කොහුබත්වලින් පොහොර සාදන යන්ත්‍රයකි. එක් නිමේෂයකින් සාලියගේ වම් අත යන්ත්‍රයට හසුවිය.
කඩිනමින් සාලියව තඹුත්තේගම රෝහලට රැගෙන යනු ලැබීය. ඒ වන විටත් අත බරපතළ තත්ත්වයක පැවතීම හේතුවෙන් හැකි ඉක්මනින් ඔහුව අනුරාධපුර මහ රෝහලට මාරු කෙරිණි. යන්ත්‍රයට හසුවීමෙන් ඔහුගේ අත අධික ලෙසින් තැලී පොඩි වී තිබුණි. කඩිනමින් වෛද්‍යවරු අතට සැත්කමක් කිරීමට කටයුතු කළහ. නමුත් වැඩි බලාපොරොත්තුවක් තබාගැනීමට හැකියාවක් නොවීය. නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි සාලියගේ අනතුර සිදුවූ වමතින් රෝහල්ගත වී දින දෙකකට පසුව අධික ලෙස රුධිරය වහනය වීමට පටන්ගෙන තිබුණි. තුවාලය අධික ලෙසින් නරක් විය. ඒ නිසාම වෛද්‍යවරු අනතුර සිදුවී දින දෙකකට පසුව ඔහුගේ වමතේ මැණික් කටුවෙන් අත ඉවත් කිරීමට තීරණය කළහ.
“එදා ඩොක්ටර්ස්ලා මගේ අත කපන්න සිදුවෙනවා කියලා කියද්දි ජීවිතේ පුදුමාකාර විදියට කඩා වැටුණා. මම ගොඩක් දුක් වුණා. නමුත් හිතේ හයියක් තිබුණා. අත කපනවා හැර වෙන විකල්පයක් නැහැ කියලා මම තේරුම් ගත්තා. ඒ හයිය නිසාම තනි අතින් හෝ ජීවිතය ජය ගන්න මම රෝහලේදීම හිතුවා. මම නේවාසිකව ප්‍රතිකාර ලබපු වාට්ටුවේ හිටපු අනිත් රෝගීන් එක්ක බලද්දී මට නැතිවුණේ බොහොම පොඩි දෙයක් කියලා මම තේරුම් ගත්තා. සමහරුන්ගේ කකුල් දෙකම, අත් දෙකම කපලා තිබුණා. ඒ අය දිහා බලලා මම හිත හදාගත්තා. ඒ වෙද්දි මාත් එක්ක මගේ යාළුවෝ, ගෙදර අය හයියට හිටියා. මගේ යාළුවො දවස් ගාණක් මාරුවෙන් මාරුවට මගේ තනියට රෝහලේ හිටියා. ඒ නිසාම මම අත අහිමිවීම ගැන හිත හදාගෙන තිබුණා.” සාලිය අරුණ දේශයට අදහස් දක්වමින් පැවසීය.
දින ගණනාවකට පසුව අනුරාධපුර රෝහලේ සිට සාලිය නිවසට ආවේ එක් අතක් ද අහිමි කරගෙනය. එතැන් සිට සාලියගේ හයියට ඔහුගේ පවුලේ අය, මිතුරෝ ළඟින් සිටියහ. අහිමිවුණු අත වෙනුවට දිනෙන් දින සාලියගේ හිත ශක්තිමත් විය. සාලිය සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා අතරතුරේ ඉඩ ලැබෙන විටෙක ගමේ තිබූ “අජිත්ගේ සැලුන්” එකට ගොස් කොණ්ඩය කපන අන්දම බලා සිටියේය. සැලුන් එකේදී පුංචි පුංචි අත්උදව් දීමට සාලිය කටයුතු කළේය. ඒ නිසාම අත අහිමිවුණු සාලිය තමන්ට හැකි පරිදි සැලුන් වැඩවලට සහභාගි වීමට කැමති විය. ඔහු ගමේ තිබූ සැලුන් කිහිපයක සේවය කළේය. ඒ ඔස්සේ ඔහු අත්දැකීම් හා පුහුණුව ලබා ගත්තේය. සාලිය අදටත් ඒ සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරා නැත.
හදිසි අනතුරින් පසුව ඔහු තනි අතින් රැකියා කිහිපයක්ම කළේය. ඔහු තඹුත්තේගම සිට කොළඹ කොටුවට වාර කිහිපයක්ම බස් රථයෙන් පැමිණ ජංගම දුරකථන අමතර කොටස් රැගෙන තඹුත්තේගමට ගොස් විකිණුවේය. නමුත් එයින් හරි හැටි ආදායමක් සාලියට ලැබුණේ නැත. මේ නිසාම තවත් වරෙක තඹුත්තේගම සිට තනි අතින් තම මෝටර් සයිකලයෙන් මන්නාරමට ගොස් කරවල රැගෙන ආවේය. ඔහු තඹුත්තේගම කරවල වෙළෙඳාම් කළේය. ටික කලකින් එය ද එතරම් සාර්ථක නොවන බව ඔහු තේරුම් ගත්තේය. ඔහු ආබාධිත තත්ත්වය ගැන නොසිතා කුලී වැඩවලට පවා ගියේය. මේ අතරේ ඔහු සැලුන් කිහිපයකම රැකියාව ද කළේය.
“මගේ කෘත්‍රිම අත පැළඳගෙන මම සැලුන්වලට වැඩට ගියාට පස්සේ ඒ අය මට ගොඩක් උදව් කළා. මම ඒ කෘත්‍රිම අතේ ගම් ගාලා පනාව අලවලයි තියෙන්නේ. ඒකෙන් කොණ්ඩය පහසුවෙන් මට කපාගන්න පුළුවන්. කාලයක් මම සැලුන්වල පුහුණුව ලබා ගත්තා. ඊට පස්සේ “මටම සැලුන් එකක් තිබුණොත් හොඳයි” කියලා හිතුණා. ඒ වෙනුවෙන් කඩ කාමරේ හදාගන්න මගේ තාත්තා උදව් කළා. මම වැඩ කරද්දි එකතු කර ගත්ත සැලුන් උපකරණවලින් මම සැලුන් එකක් ආරම්භ කළා. මම විවාහකයි. එයාගේ නම රේණුකා. එයත් උසස් පෙළට එයාගේ අක්කලාගේ ගෙදර ඇවිත් හිටියා. ඒ අක්කට කඩයක් තියෙනවා. රේණුකා ඉඳල හිටලා කඩේ හිටියා. මම ඔය කඩේට ආව ගිය වෙලාවක තමයි අපේ සම්බන්ධය පටන් ගත්තේ. අවුරුදු දෙකක් ආදරේ කරලා අපි දෙන්නා විවාහ වුණා.” යැයි සාලිය වැඩිදුරටත් පැවසීය.
සාලිය අරුණ සැබැවින්ම ධෛර්යමත් තරුණයෙකි.
“ජීවිතයේ වැටුණු තත්ත්වයත් එක්ක හිතේ හයියත්, ධෛර්යත් එක්ක මම අද ඉන්න තත්ත්වය ගැන ගොඩක් සතුටු වෙනවා. මට ගොඩක් අය උදව් කළා. උදව් කළ අයට වැඩියෙන් මාව වට්ටන්න හිටපු අය නිසා මම නැගිට්ටා. එහෙම මාව වට්ටන්න උත්සාහ කරපු අය එදත් හිටියා. අදටත් ඉන්නවා. මාව වට්ටන්න හදන අය මට කරන්නේ ලොකු උදව්වක්. කවුරුන් හෝ මාව වට්ටන්න හැදුවේ නැත්නම් මම මෙහෙම නැගිටින්නේ නැහැ. ඒ නිසාම ඒ වට්ටන්න හදන හැමෝටම මම ගොඩාක් ස්තූති කරනවා.” යැයි සාලිය අවසන් වශයෙන් දේශයට පැවසීය.
• දිශානි ජයමාලි කරුණාරත්න