2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ඈත කඳුකර හිමව් අරණක සැඟව ගිය වජිරා

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

දශක හතකට ආසන්න කාලයක් මෙරට නර්තන කලාවට අනුපමේය මෙහෙයක් කළ දේශමාන්‍ය ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය 93 වැනි වියේදී දිවි ගමනට සමු දුන්නාය. පිරිමින්ට පමණක් සීමා වී තිබූ උඩරට නර්තනය ප්‍රගුණ කළ ඇය මෙරට මුද්‍රා නාට්‍ය කණ්ඩායමක පළමු වෘත්තීය නර්තන ශිල්පිනිය (prima ballerina) මෙන්ම ලාංකීය මුද්‍රා නාට්‍ය කලාව ලොව හමුවේ තැබූ නර්තනවේදිනිය ද වූවාය. කාන්තාවන් නර්තන කලාවට පිවිසෙන්නේ 1930 දශකයේදීය. එම අවධියේ නර්තන කලාවට එක්ව සිටි චන්ද්‍රලේඛා හා මිරියම් පීරිස් වැනි නර්තන ශිල්පිනියන් සේම වජිරා චිත්‍රසේන මහත්මිය ද දේශීය නර්තන කලාව වෙතට නොබියව කාන්තා භූමිකාව රැගෙන එන්නට හා උඩරට නර්තන කලාව තුළ කාන්තා චරිතය සන්නාමයක් බවට පත් කිරීමට පුරෝගාමී වූවාය.

1932 මාර්තු 15 වැනිදා උපත ලද නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මණී දමයන්ති පෙරේරා කළුතර බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබුවාය. ඇය නර්තනයට යොමු වූයේ ඉතා ලාබාල වියේදී තම මවගේ මග පෙන්වීමෙනි. ඇය නර්තනය හැදෑරීම සඳහා හොරණ ශ්‍රීපාලි ආයතනය වෙත යොමු කරන ලද්දේ කළුතර මහා විද්‍යාලයේ ගුරුවරියක වූ ඇගේ මව වන ලිලියන් පෙරේරා මහත්මියයි.

මොරිස් ඩයස් නමින් 1921 කොළඹදී උපත ලද චිත්‍රසේනගේ පියා වූ සීබට් ඩයස් 1920 සහ 1930 ගණන්වල ජෝන් ද සිල්වාගේ නාට්‍යවල රඟ පෑ නළුවකු හා නිෂ්පාදකයකු වූ අතර ෂේක්ස්පියර් නාට්‍ය සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් රඟ දැක්වීමට කටයුතු කළේය. කොළඹ නාට්‍ය සමාජයේ නිර්මාතෘවරයකු වූ ඔහුගේ පුත්‍රයා වූ මොරිස් ඩයස් නොහොත් චිත්‍රසේන නූතන ශ්‍රී ලාංකීය නර්තන කලාව ලොව පුරා ප්‍රචලිත කිරීමේ පුරෝගාමියා විය. චිත්‍රසේන 1943 දී රටේ පළමු වෘත්තීය නර්තන කණ්ඩායම ආරම්භ කළ අතර 1944 දී චිත්‍රසේන නර්තන කලායතනය ආරම්භ කළේය.

15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකව සිටි වජිරා චිත්‍රසේනයන්ගේ නාට්‍යයක ප්‍රථම වරට රඟපෑවේ විදුර නාටකයේ නාග කන්‍යාවක ලෙසිනි. රාවණා නාට්‍යයේ පූජා නර්තනය ඉදිරිපත් කළ ඇය, වෙස්සන්තර නාට්‍යයේ ජාලිය සහ 1949දී සීබට් ඩයස් නිර්මාණය කළ රාමායනයේ මුවකු ලෙස ද රඟපෑවාය. චිත්‍රසේන යටතේ නර්තනය හැදෑරූ වජිරා 18 හැවිරිදි වියේදී ඔහු හා විවාහ වූවාය. චිත්‍රසේනයන්ගේ ගුරුවරයා වූ ලපයා ගුරුන්නාන්සේ පන්සල් දේවාලයන්හි නර්තනයේ යෙදුණු නර්තන ශිල්පියෙකි. පුරාතන නර්තන කලාව ඔහුගේ නහරවලට බද්ධ වී තිබිණි. ඔහුගෙන්ද වජිරාට සාම්ප්‍රදායික නර්තනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.

චිත්‍රසේන සහ වජිරා එක්ව සම්භාව්‍ය මුද්‍රා නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කළ අතර ඒ අතුරින් කිඳුරංගනා, කරදිය, නල දමයන්ති, සීතා, කිංකිණි කෝලම සහ චණ්ඩාලිකා ප්‍රධානය. චිත්‍රසේනයන් අතින් නර්තන නිර්මාණ 30ක් පමණ බිහි විය. එම මුද්‍රා නාට්‍ය අතුරින් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ විශිෂ්ටතම මුද්‍රා නාට්‍ය ලෙස විචාරක අවධානය දිනා ගත්තේය. කුමුදිනී මුද්‍රා නාට්‍ය තුළින් ළමා මුද්‍රා නාට්‍ය නිර්මාණ කලාවට පිවිසි වජිරා චිත්‍රසේන ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කළ හපනා, ගිනි හොරා, වන මල්, හිම කුමරිය, රන් කිකිළි, සේපාලිකා, නිල් යකා, අණ බෙරය වැනි මුද්‍රා නාට්‍ය ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත් නිර්මාණයන්ය. ඇය වෙතින් මුද්‍රා නාට්‍ය 17ක් නිර්මාණය වී තිබේ.

චිත්‍රසේන යුවල නවෝත්පාදනයන් ඔස්සේ සෞන්දර්ය ක්ෂේත්‍රයේ නව ඉසව් සොයා යෑම තුළින් ශ්‍රී ලංකාවේ නර්තන කලාවට ජාතික අනන්‍යතාවයක් හිමි විය. ඔවුන්ගේ නිර්මාණ දේශීය නර්තන සම්ප්‍රදායන් මත පදනම් වූ නමුදු කාලානුරූපීව වෙනස්කම්වලට බඳුන් කිරීම මත ඒවා සර්වකාලීන නිර්මාණ බවට පත් විය. ඔවුහු සම්ප්‍රදායට හා සංස්කෘතියට හානියක් නොවන පරිදි නර්තන චලනයන් නව්‍යකරණයෙන් අත්හදා බැලීම් කළහ. වේදිකාවේ පෙරළියක් කරමින් ඇඳුම් පැළඳුම්, ආලෝකකරණය සංගීතය සහ (ඒ සඳහා ඔහුට සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, එඩ්වින් සමරදිවාකර, ඩබ්ලිව්.බී. මකුලොලුව, අමරදේව, ලයනල් අල්ගම, සෝමදාස ඇල්විටිගල, සෝමබන්ධු විද්‍යාපති වැනි පිරිසකගේ සහය හිමි විය) තවත් බොහෝ දේ හඳුන්වා දුන්නේ චිත්‍රසේනය. මෙය සිංහල මුද්‍රා නාට්‍ය ලෙස හැඳින්වෙන නව නර්තන ප්‍රභේදයකට මඟ පෑදුණු අතර එය කිසියම් පුවතක් පාදක වූ කථාවක් චලනයන් තුළින් ප්‍රේක්ෂයා වෙත ඉදිරිපත් කෙරිණි.

මුද්‍රා නාට්‍ය රංගනය යනු හුදෙක් නර්තනය මත පදනම් වුණු කලාවක් නොව, නර්තනය, රංගනය සහ භාව ප‍්‍රකාශනය යන අංග තුනෙහි මනා සුසංයෝගයකි. වජිරා තම ලාලිත්‍යය සහ චලනයන් තුළින් සංකීර්ණ හැඟීම් සන්නිවේදනය කිරීමට සමත් වූවාය. චිත්‍රසේනගේ නල දමයන්ති මුද්‍රා නාට්‍යයේ හංසයාගේ චරිතය විශිෂ්ට ලෙස ඉදිරිපත් කළ ඇය කරදිය මුද්‍රා නාට්‍යයේ සිසී වූවාය. චණ්ඩාලිකා හි මායා වූවාය. එම චරිත තුළින් ඇය නිර්මාණාත්මක නර්තන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක අවධානය දිනා ගත්තාය.

“මා නැටුම් හැදෑරීම පටන්ගත් කාලයේ මගේ ගුරුතුමන් (චිත‍්‍රසේනයන්) මාගේ පරමාදර්ශය වුණා. මා හැමවිටම ඔහුව දුටුවේ ඉතා ජවසම්පන්න නැටුම් ශිල්පියකු ලෙසයි. මා නිරතුරුවම ඔහු අනුකරණය කළා. ඔහු ඉහළ පැනීමේ අධි මාත‍්‍රා නටන විට එවැනි දේ කාන්තාවකට නුසුදුසුයි කියා මා බැහැර කළේ නෑ. මා ඉහළ පැන නැටීමේ ශිල්ප ක‍්‍රම දිගටම හැදෑරුවා. පසුව එය නවතම සහ සුවිශේෂී නැටුම් ශිල්ප ක‍්‍රමයක් ලෙස දියුණු වුණා. පසුව අප දෙදෙනා එකට ප‍්‍රසිද්ධ රංගනයක යෙදුණේ මෙම ශිල්ප ක‍්‍රමය ඉදිරිපත් කිරීම සඳහායි. තාණ්ඩව ලාස්‍ය නම් වූ මෙම නර්තනය උඩරට නැටුමේ ස්තී‍්‍ර සහ පුරුෂ නැටුම් පිළිබඳව කෙරුණු පර්‌යේෂණයක්. ලාංකික වේදිකාවේ ස්තී‍්‍ර නැටුම් විලාසය පිළිගැනීමට ලක්වුණේ මෙතැන් පටන්. (1996-වජිරා චිත‍්‍රසේන 50 වසරක නර්තනය - සමරු කළඹ)

චිත්‍රසේන යුවළට ඉන්දියාව සමඟ විශේෂ බැඳීමක් පැවතියේය. ඔවුහු 1959 සිට 1998 දක්වා බොහෝ සංචාරවල නිරත වූ අතර විවිධ ශානරයන්හි නර්තන ශිල්පීන් සමඟ සබඳතා පැවැත්වූහ. වජිරාගේ ප්‍රථම විදෙස් සංචාරය වූයේ 1957 දීය. එතැන් සිට 1990 දශකයේ අග භාගය තෙක් සෑම වසරකම අවම වශයෙන් තුන් මසක පමණ කාලයක් විදේශ සංචාරයන්හි නිරත වන්නට ඇයට සිදු විය. ඇයගේ වෘත්තීය ජීවිතයේ සංධිස්ථානයන් වූයේ 1965 දී ජන සහ සම්ප්‍රදායික නැටුම් 18 කින් සමන්විත නෘතාංජලී සහ 1983 ඉදිරිපත් කළ ශිවරංග යන නිර්මාණයි.

එකල බෙර වාදකයන්ට හා නර්තන ශිල්පීන්ට සමාජයේ පැවතියේ කුඩම්මාගේ සැලකිල්ලකි. වජිරාගේ සැමියා වූ චිත්‍රසේන ඔවුන්ට නිසි ගෞරවය ලබාදීමට කටයුතු කළ අතර බෙර වාදකයා සහ නර්තන ශිල්පියා යනු උසස් නිර්මාණ ශිල්පීන්ය යන්න සනාථ කිරීමට කටයුතු කළේය. “බෙර වාදකයන් සහ නර්තන ශිල්පීන් සමාජයේ පිළිගැනුණේ පහත් කුලයේ අය ලෙසයි. එහෙයින් සමාජය ඔවුන්ට ලැබිය යුතු ගෞරවය ලබා දුන්නේ නැහැ. නමුත් චිත්‍රසේන ඉංග්‍රීසි කතා කරන ඉහළ පන්තියෙන් ඇවිත් නර්තනයට ලැබිය යුතු ගෞරවය ලබා දුන්නා” වජිරා සිය මියගිය සැමියා පිළිබඳව වරක් සිහිපත් කරමින් සඳහන් කර තිබුණාය.

ඇගේ සෞන්දර්ය චාරිකාව දශක හතක් පුරා දිවෙන්නකි. 2005 ඇගේ සැමියා වූ චිත්‍රසේන අභාවප්‍රාප්ත විය. පසු කාලයේ ඇය චිත්‍රසේන-වජිරා නර්තන පදනම භාරව සිටි අතර නර්තන පාසලේ විදුහල්පතිනිය ද වූවාය. වජිරා චිත්‍රසේන ඉන්දියාව, රුසියාව, අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් කිහිපයක නර්තනය ඉගැන්වීමේ ක්‍රමවේද පිළිබඳව පර්‌යේෂණ කළ ගුරුවරියකි. නර්තන විද්‍යාව, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ ඉගැන්වීම යන අංශයන්හි ඇය විශිෂ්ට දක්ෂතා දැක්වූවාය. නර්තන කලාව ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේම කලා ආකෘතීන්, විශේෂයෙන් උඩරට නර්තනය හා සහ ඉන්දියානු ඔඩිසි නර්තනය යන නර්තන කලාවන්ගේ සම්මිශ්‍රණයෙන් යුතු නර්තන කලාවක් බිහි කිරීමට ද ඇය පුරෝගාමී වූවාය. බොහෝ රටවල වැඩමුළු පවත්වමින් ශ්‍රී ලාංකීය කලාවේ සංස්කෘතික තානාපතිවරියක ලෙස කටයුතු කළ වජිරා චිත්‍රසේන ශ්‍රී ලාංකීය නර්තන ශෛලීන්ට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට දායක වූ අතර සංස්කෘතික හුවමාරු වැඩසටහන් ප්‍රවර්ධනය සඳහා ද දායක වූවාය. ශ්‍රී ලංකාවේ ඉහළම ජාතික සම්මානවලින් එකක් වන දේශබන්දු සම්මානය ඇතුළු සම්මාන රැසකින් ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය පිදුම් ලබා තිබේ. තමිල්නාඩු රජයෙන් කලාමාමණි සම්මානය ද 2020 ජනවාරි 26 වැනි දින ඉන්දියානු රජය ඉන්දියාවේ සිව්වැනි ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද ඇය පුදනු ලැබීය.

තමාගෙන් පසු ජාතික තලයට පැමිණිය හැකි වෘත්තීය මට්ටමේ දෙවැනි ගෝල පරපුරක් බිහි කළ ඇය ජීවිතයේ සැදෑ සමයේ වුවද දරුවන්ට නර්තනය ඉගැන්වීමෙහි නිරත වූවාය. නාවල සිය නිවසේ සරල ජීවිතයක් ගත කළ ඇය විවේකී වේලාවන්හි සිතාරය වාදනය කරමින් සහ භාවනාවේ නිරත වෙමින් කාලය ගත කළාය.

ඇයට දරුවන් තිදෙනෙකි. ඒ උපේකා, අංජලිකා සහ අනුදත්තය.

ඔබට සුවබර නින්දක්....

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා