“අනුර කුමාර දිසානායක දිවුරුම් දෙයි; තමා මැජික්කරුවකු නොවන බව ඔහු පවසයි” යනුවෙන් අල්ජසීරා වාර්තා කර තිබුණි. අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය, රටේ සම්ප්‍රදායික පක්ෂ සහ දේශපාලන ප්‍රභූ පැලැන්තියෙන් බැහැරව ශ්‍රී ලංකා දේශපාලනයේ වෙනසක් සනිටුහන් කරයි.
ශ්‍රී ලංකාවේ අභිනවයෙන් තේරී පත්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමටත්, “ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කිරීමටත්” පොරොන්දු වූ අතර, ඔහු “මැජික්කාරයෙක්” නොවන බව ප්‍රකාශ කළේය, යැයි එහි සඳහන් විය.
“ආර්ථිකය නිවැරදි කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් මාක්ස්වාදී නැඹුරුවක් ඇති දිසානායක ජනාධිපතිවරයා ලෙස තෝරාගනී” යනුවෙන් රොයිටර් වාර්තා කළේය. ඒ දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ දශක කිහිපයකින් දකුණු ආසියානු ජාතිය මුහුණ පෑ දරුණුතම මූල්‍ය අර්බුදයෙන් පසු ඇද වැටුණු ආර්ථිකයේ වෙනසක් ඇති කිරීමට ඔහු දුන් පොරොන්දුව කෙරෙහි විශ්වාසය තබමින්, යැයි එහි කියා ඇත.
“ශ්‍රී ලංකාවේ නව වාමාංශික රජය සමඟ සාකච්ඡා සඳහා සූදානම් බව IMF පවසයි.” යැයි AFP කියා තිබුණි. ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 2.9 ක ණය දීමේ වැඩසටහන ගැන රටේ නව රජය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව එහි ප්‍රකාශකයකු කියා තිබුණි. නව ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ සහායකයකු මැතිවරණයෙන් දිනකට පසු සිය ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය IMF ගනුදෙනුව “ඉරා නොදමන” බව කීවා යැයි AFP වාර්තා කර තිබුණි.
දිසානායක බලයට පත් වූ සඳුදා ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තු කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ තියුණු ලෙස පහත වැටුණු නමුත් ඉක්මනින් යථා තත්ත්වයට පත් වූ අතර ප්‍රධාන සියලු කොටස් මිල දර්ශකය සියයට 1.19 කින් ඉහළ ගොස් දිනය අවසන් විය, යනුවෙන් AFP පෙන්වා දී තිබුණි.
නව ජනාධිපතිවරයා ජය ගැනීමත් සමඟම වාගේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර්, නිකුත් කළ නිවේදනයකින් සුබ පතා තිබුණි.
“සැප්තැම්බර් 22 වැනි දින ඡන්ද ප්‍රතිඵලවලින් සනාථ වන පරිදි ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය පිළිබඳව එක්සත් ජනපදය විසින් අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් පිරිනමයි. මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදී ආයතනවල ශක්තිය සහ සාමකාමී සහ ප්රජාතන්ත්රවාදී මාර්ග ඔස්සේ තම අනාගතය හැඩගස්වා ගැනීමට එහි පුරවැසියන්ගේ කැපවීම පිළිබඳ සාක්ෂියකි.
එක්සත් ජනපදය ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩනගන බැවින් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැප වී සිටී. පොදු ප්රජාතන්ත්රවාදී වටිනාකම් සහ ජාතික ස්වෛරීභාවයට ගරු කිරීම මත පදනම් වූ අපගේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තේරී පත්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු. අපගේ ජාතීන් අතර ආර්ථික වර්ධනය, ආරක්ෂාව සහ ගැඹුරු සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ද අපි බලාපොරොත්තු වෙමු.”
ශ්‍රී ලංකාවේ ආර්ථික කැළඹීම් මධ්‍යයේ නව ප්‍රතිසංස්කරණ යුගයක් ලෙස The Diplomat ආසියා කලාපය මේ ජයග්‍රහණය වාර්තා කර තිබුණි. “ජනාධිපති අනුර කුමාර දිසානායක: ශ්‍රී ලංකාවේ ආර්ථික කැළඹීම් මධ්‍යයේ නව ප්‍රතිසංස්කරණ යුගයක්! විනිවිදභාවය සහ කම්කරු පන්තිය මත රැඳී සිටින මධ්‍ය-වාම දේශපාලනඥයකු වන දිසානායකට වැඩෙන සහයෝගය මේ වනවිට ඇති ශ්‍රී ලංකාවේ පුළුල් සමාජ නොසන්සුන්තාවයේ පිළිබිඹුවකි.” යනුවෙන් එහි සඳහන්ය.
චීන ජනාධිපති ෂී ජින් පින් දිසානායක මහතාගේ ජයග්‍රහණයට සුබ පැතුම් පිරිනමමින් “අපගේ සම්ප්‍රදායික මිත්‍රත්වය ඒකාබද්ධව ඉදිරියට ගෙන යාමට” චීනය එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇති බව චයිනා ටුඩේ වාර්තා කර තිබුණි.
CNA මාධ්‍ය ජාලය විසින් මේ ජය වාර්තා කරමින් කියා තිබුණේ මෙසේය. “ශ්‍රී ලංකාවේ ප්‍රථම වාමාංශික ජනාධිපති අනුර කුමාර දිසානායක සඳුදා (සැප් 23) ධුරයේ දිවුරුම් දුන් අතර, දේශපාලනය කෙරෙහි මහජන විශ්වාසය යළි ස්ථාපිත කරන බවට ප්‍රතිඥා දුන් නමුත් පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකින් පසු තම ජනතාව විඳින දුෂ්කරතාවලට මැජික් විසඳුමක් නොමැති බව පැවසීය.
GRAVITAS මෙය වාර්තා කළේ “ශ්‍රී ලංකාවට ඓතිහාසික පෙරළියක් සිදු කරමින් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වී තිබේ. එය දිගු කලක් තිස්සේ ප්‍රභූ පවුල් විසින් ආධිපත්‍යය දැරූ රටේ දේශපාලන භූ දර්ශනයේ විශාල වෙනසක් සනිටුහන් කරයි. කලක් දේශපාලන පිටස්තරයකු ලෙස සැලකූ, 2019 ජනාධිපතිවරණයේදී 3% ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් දිසානායක දැන් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යන නායකයාය.” යනුවෙනි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට යුරෝපා සංගමය සුබ පැතුම් එක් කර මාධ්‍ය නිවේදනයක් ඉදිරිපත් කර තිබුණි.
“සැප්තැම්බර් 21 වැනි දින පැවති ජනාධිපතිවරණයේ දී ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ජනතාව ප්රජාතන්ත්රවාදය සඳහා ඔවුන්ගේ කැපවීම නැවත වරක් ප්‍රදර්ශනය කළහ. මැතිවරණය පැවැත්වුණේ සාමකාමී සහ තරගකාරී දේශපාලන වාතාවරණයක් තුළයි. ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ ආරාධනයෙන්, EU විසින් මැතිවරණ ක්‍රියාවලියේ සියලු අංශ පිළිබඳ ස්වාධීන, අපක්ෂපාතී සහ තාක්ෂණික තක්සේරුවක් සිදු කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමක් (EU EOM) යෙදවීය.
යහපාලනය සහ ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ යුරෝපා සංගමයේ සමීප සහයෝගීතාව මෙය තවදුරටත් පිළිබිඹු කරයි.” යනුවෙන් සඳහන් කර තිබූ එහි EU EOM සිය මූලික වාර්තාවේ පෙන්වා දුන්නේ මූලික නිදහසට පුළුල් ලෙස ගරු කරන බවත්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව (ECSL) ස්වාධීනව සහ අධිෂ්ඨානශීලීව එම ක්‍රියාවලිය මෙහෙයවූ බවත්, මැතිවරණයේ සෑම ප්‍රධාන අදියරකදීම විනිවිදභාවය සහතික කළ බවත්ය.
“ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා තම ජනවරම තහවුරු කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවයි.” යනුවෙන් The Associated Press තම වාර්තාවක පළ කර තිබුණි. “අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවත්, පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 දිනට යෙදී ඇති බවත් රජයේ නිවේදනයකින් කියැවේ.” යනුවෙන් එහි වැඩිදුරටත් දක්වා තිබුණි. වසර 24කින් ආණ්ඩුවට නායකත්වය දුන් රටේ ප්‍රථම කාන්තාව බවට පත් කරමින් දිසානායක සිය සභාගයේ කාන්තා මන්ත්‍රීවරියක සිය අගමැති ලෙස දිවුරුම් දීමට සැලසීමෙන් පැය කිහිපයකට පසුව මෙම විසුරුවා හැරීම සිදුවිය, යැයි The Associated Press වාර්තා කර ඇත.
“ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක කවුද?” යනුවෙන් හින්දු පුවත්පතේ පළවන ලිපියක “බොහෝ ශ්‍රී ලාංකිකයන්ට, NPP ඔවුන්ගේ බලාපොරොත්තුවේ වාහනය බවට පත්ව ඇති අතර AKD ඔවුන්ගේ වෙනසේ සංකේතයයි.” යනුවෙන් ද සඳහන් කර ඇත.
• සුගත්