නවීන තාක්ෂණය කෙතරම් දියුණු වී පැවතුණත් මැතිවරණයක දී ඡන්ද පෙට්ටියේ වැදගත්කම නම් එසේමය. ඡන්ද දිනය කට ළඟට එනවිට අපේක්ෂකයන් මෙන්ම ඡන්දදායකයෝ ද ඡන්ද පෙට්ටි සොරකම් කිරීම්, මාරු කිරීම් ගැන උනන්දු වෙන්න පටන් ගනිති. යම්කිසි කලබලයක් ඇති වී ඡන්ද පෙට්ටි ශුන්‍ය කරාවි දැයි සිතමින් සිටිති. මෙවර අප රටේ උණුසුම් ජනාධිපතිවරණයේ දී ද ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සම්බන්ධයෙන් දේශපාලනඥයන් සහ අපේක්ෂකයන් කිහිප දෙනකු විසින් යම් යම් අදහස් මතු කළ අතර ඒවාට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සවිස්තරාත්මක ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිවරණ ක්‍රියාවලියේ ආරක්ෂාව තහවුරු කළේය. ඔබ මේ ලිපිය කියවන විට සමහර විට නව ජනාධිපතිවරයා පත් වී අවසන්ව තිබෙන්නටත් පුළුවන.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අවධාරණය කළේ ඡන්ද විමසීමෙන් පසු ඡන්ද පෙට්ටි සුරක්ෂිතව හැසිරවීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් දැඩි ක්‍රමවේදයක් පවතින බවයි. “මෙම පියවර අතර විනිවිද පෙනෙන, අගුළු දැමූ බෑග්වල ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදුවනවා. මෙය පෙර මැතිවරණයේදී හඳුන්වා දුන් ආරක්ෂක අංගයක්. එය මේ වසරේ දිගටම පවත්වාගෙන යනවා” යනුවෙන් කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ මැතිවරණයට පෙර සතියේය.
ඡන්ද විමසීම අවසන් වූ පසු, අහඹු ලෙස තෝරාගත් ඡන්ද පොළ නිලධාරීන් විසින් අත්සන් කරන ලද පෝරමයක පිටපතක් සමඟ ඡන්ද පෙට්ටි මුද්‍රා තබනු ලැබේ. මෙම මුල් පිටපත ඡන්ද පෙට්ටියේම අලවනු ලබන අතර, අනෙකුත් පිටපත් ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත යවා ඡන්ද පොළ නියෝජිතයන් අතර බෙදා හැරීම සිදු කෙරේ. ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන් කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයන්ගේ නියෝජිතයන්ට වාහනයකින් පැමිණීමටත් අවස්ථාව ලබා දී තිබුණි. ඒ ඡන්ද පෙට්ටි වංචා ගැන වූ සැකය තුරන් කිරීම සඳහාය.
ඡන්ද පෙට්ටිය ප්‍රජාතන්ත්‍රීය සමාජයක විශිෂ්ටතම සංකේතයක් ලෙස සැලකේ. ජනතාව විසින් රටේ පාලකයන් තෝරාගැනීමේ අභිමතය පළ කරන්නේ මුද්‍රා තබන ලද ඡන්ද පෙට්ටියට ඡන්දය දැමීම මගිනි. පෞරාණික රෝම රාජාණ්ඩුව බිඳ වැටීමෙන් අනතුරුව එරට ආරම්භ වූයේ ජනරජයකි. එහි පෞර නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට පැවැත්වූ ඡන්ද විමසීම්වලදී දැවයෙන් සකස් කරන ලද ඡන්ද පෙට්ටියක් භාවිත කර ඇති බව ඉතිහාසඥයෝ සඳහන් කරති.
නවීන ලෝකයේ රටවල පාලන ක්‍රම අතර, බහුතරයක් රටවල් හොඳම පාලන ක්‍රමය ලෙස සලකන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදී’ පාලන ක්‍රමයයි. එහිදී රට පාලනය කරන මහජන නියෝජිතයන් ජනතා ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම සිදුවේ. ඒ අනුව රටවැසියන්ට රටේ පාලනයට සුදුසු යැයි සලකන නියෝජිතයන් හා ආණ්ඩු තෝරා පත්කර ගැනීමටත් තමන් අකමැති ආණ්ඩු වෙනස් කිරීමටත් බලය ලැබෙන්නේ මෙම සර්වජන ඡන්දය මගිනි. ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ ගමේ ඡන්ද පොළට ගොස් ඡන්ද පෙට්ටියට සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව දැමීමෙනි.
රහස් ඡන්දය
ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටියක් භාවිත කරමින් ප්‍රථම බ්‍රිතාන්‍ය රහස් ඡන්දය 1872 අගෝස්තු 15 වැනි දින පොන්ටෙෆ්‍රැක්ට් හිදී පැවැත්විණි. ඒ 1872 ඡන්ද පනතේ නීතිවලට අනුවය. ඉටි මුද්‍රා තැබූ මුල් ඡන්ද පෙට්ටිය පොන්ටෙෆ්‍රැක්ට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.
එක්සත් ජනපදයේ ප්‍රථම කඩදාසි ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි 19 වැනි සියවසේ මුල් භාගයේදී ආරම්භ විය. එයට පෙර පැවතියේ හඬ නගා ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමයකි.
කෙසේ වෙතත්, මේවා 1850 ගණන් වන තෙක් ප්‍රචලිත වූයේ නැත.
ජංගම ඡන්ද පෙට්ටි
අපේ රටේ දැකගත නොහැකි වුණත් ලොව සමහර රටවල ජංගම ඡන්ද පෙට්ටි ද පවතී. මේවා ඇවිදීමට අපහසු අයගේ නිවෙස්වලට ගෙන යන්නේ ඔවුන්ට ඡන්ද මධ්‍යස්ථානයට යාමට අවශ්‍ය නොවන පරිදිය. ලංකාවේ නම් සිදුවන්නේ ඇවිදීමට අපහසු අයට අපේක්ෂකයන් හෝ දේශපාලන පක්ෂ මුල්වී ප්‍රවාහන පහසුකම් සැපයීමය. ජංගම ඡන්ද පෙට්ටි නැගෙනහිර යුරෝපයේ ඉතා ජනප්‍රිය අංගයක් වන අතර, රටවල්වලින් 90% කටම ඒවා භාවිතය සඳහා නීතිමය ප්‍රතිපාදන ලබා දී තිබේ. බටහිර යුරෝපයේ ඒවා භාවිතයේ ඇත්තේ ඉතා සීමිතය. අප්‍රිකාවේ සහ ඇමරිකානු මහාද්වීපයේ කුඩා රටවල ජංගම ඡන්ද පෙට්ටි භාවිත වේ.
විනිවිද පෙනෙන ඡන්ද පෙට්ටි
මැතිවරණය ආරම්භ වීමට පෙර පෙට්ටිය හිස් බවත්, හොර ඡන්දවලින් පුරවා නැති බවත් ජනතාවට දැක බලා ගැනීමට හැකිවන පරිදි විනිවිද පෙනෙන ඡන්ද පෙට්ටි භාවිත කිරීම සමහර රටවල සිදුවේ. මෙම වීදුරු ඡන්ද පෙට්ටි විලාසිතාව 1860 වන විට එක්සත් ජනපදයේ ප්‍රධාන අංගයක් බවට පත්ව තිබුණි. එය විසිවන ශතවර්ෂයේ ආරම්භයේදී පමණ එක්සත් ජනපදයේ භාවිතයෙන් ඉවත් කෙරුණි. නමුත් තවමත් ප්‍රංශය ඇතුළු අනෙකුත් රටවල ඉඳහිට භාවිත වේ.
ලංකාවේ ඡන්ද පෙට්ටි
මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්ද පෙට්ටි 15,000කට වැඩි ප්‍රමාණයක් යොදාගෙන තිබේ. ලංකාවේ සාමාන්‍යයෙන් භාවිත වූයේ දැවයෙන් තැනූ ඡන්ද පෙට්ටියකි. එය නිෂ්පාදනය කරන්නේ කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාවේ වඩු කාර්මිකයන් විසිනි. නමුත් මෙවර ඡන්ද පත්‍රිකාව ප්‍රමාණයෙන් විශාල නිසා ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි භාවිත කෙරුණි. ප්‍රමාණ තුනකින් එම කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි සකසා තිබුණි. මුද්‍රා තබන ලද ඡන්ද පෙට්ටි රජයේ මැතිවරණ නිලධාරින් භාරයේ ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කෙරේ. ඒ සඳහා වැඩිපුර යොදා ගන්නේ ලංගම බස් රථයි.
1910 දී එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩුව විසින් සිදුකළ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මගින් ලංකාවට සීමිත ඡන්ද බලයක් හඳුන්වා දෙන ලදී. එම අයිතිය හිමිවුණේ උගත් ධනවත් පුරුෂ පක්ෂයට පමණකි. එසේ ඡන්දය ලබාදී පළමු උගත් ලාංකික මන්ත්‍රීවරයා ලෙස පත්කර ගන්නා ලද්දේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්ය.
සර්වජන ඡන්ද බලය
1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මගින් ලංකාවට සර්වජන ඡන්ද බලය හඳුන්වා දීම සිදුවිය. ඒ අනුව පිරිමි සහ ගැහැනු දෙපක්ෂයටම ඡන්ද බලය හිමිවිය. සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කරමින් පළමු ‘රාජ්‍ය මන්ත්‍රණ සභා’ මැතිවරණය පැවැත්වූයේ 1931 වසරේදීය. ඒ කාලයේ දේශපාලන පක්ෂ සංස්කෘතියක් ලංකාවේ පැවතුණේ නැත. මේ නිසා පක්ෂවලට අද වාගේ සලකුණු ලබාදීමක් ද සිදු වූයේ නැත.
ඒ කාලයේ 1931 සහ 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණ දෙකක් පැවැත්වූ අතර එක් එක් ඡන්ද කොට්ඨාසවලින් ඉල්ලන අපේක්ෂකයාට වර්ණයක් ලබා දී තිබුණි. ඡන්ද අපේක්ෂකයන් තමන්ගේ වර්ණය යොදා ඇති පෙට්ටියට ඡන්දය දමන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමින් ඡන්ද ප්‍රචාරණ ව්‍යාපාරය සිදු කළේය. ඒ කාලයේ අද මෙන් ඡන්ද පත්‍රිකාවේ කතිරයක් ගැසීම හෝ අංකයක් යෙදීම ද සිදුවූයේ නැත.
අදාළ ඡන්ද මධ්‍යස්ථානවල ඒ ඒ අපේක්ෂකයාට අයත් වර්ණයෙන් යුත් ඡන්ද පෙට්ටි තබා තිබුණි. ඡන්දදායකයා කළ යුතුව තිබුණේ තමාගේ ඡන්ද පත්‍රිකාව තමා කැමති අපේක්ෂකයාගේ වර්ණයෙන් යුත් පෙට්ටිය තුළට බහාලීම පමණි. වැඩිම ඡන්ද ප්‍රමාණයක් ඇතුළත් වර්ණය අයත් ඡන්ද පෙට්ටිය හිමි අපේක්ෂකයා ජයග්‍රහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. හොර ඡන්ද දැමීම් ගැනත් ඒ කාලයේ අසන්නට ලැබුණි. හොර ඡන්ද වළක්වා ගැනීමේ සියුම් වැඩසටහන් එකල ක්‍රියාත්මක වූයේ නැත. මෙය නොදියුණු මැතිවරණ ක්‍රමයක් ලෙස සැලකුණි. විශේෂයෙන් සාක්ෂරතාවයෙන් මෙන්ම මැතිවරණ ක්‍රමය ගැන දැනුමක් නැති බහුතර ජනතාවක් එකල විසූ නිසා වර්ණ පෙට්ටි ක්‍රමය යොදාගෙන තිබුණි. එකල ගම්මුලාදෑනිවරු තමන්ට හිතවත් අපේක්ෂකයන් පත්කර ගැනීමට බොහෝ ඡන්ද වංචා කළ බවත් වාර්තා වේ. එකල ඡන්ද මුදලට අලෙවි කිරීම ද බහුලව සිදු විය.
මුදල් ලද ඡන්දදායකයෝ ඡන්ද පත්‍රිකාව සඟවාගෙන ඡන්ද පොළට පැමිණ අපේක්ෂකයාගේ නියෝජිතයකුට ලබාදෙන අතර ඔවුහු එය තමන්ට උවමනා අපේක්ෂකයකුගේ පෙට්ටියට දැමීම සිදු කළහ.
1931 සහ 1936 මැතිවරණවලදී බොහෝ ඡන්ද අපේක්ෂකයන් මැතිවරණ සටනේ දී තමන්ට ලැබුණු පාටේ අගය කියමින් ද ඡන්ද ප්‍රචාරණ කටයුතු මෙහෙයවා තිබේ. ‘සුදු පාට’ පවිත්‍රතාව පිළිබඳ සංකේතයක් ලෙසද, ‘කහ පාට’ බෞද්ධයන්ගේ පාට ලෙස හඳුන්වමින් රැස්වීම්වලදී කතා පැවැත්වූහ. නිල් පාට ලද අපේක්ෂකයන් එය රට රක්නා විෂ්ණු දෙවිඳුන්ගේ පාට ලෙස හුවා දක්වා තිබේ.
1947 දී රටේ ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනාවලින් වර්ණ ඡන්ද පෙට්ටි ක්‍රමය අහෝසි කරනු ලැබිණි. ඉන්පසු අපේක්ෂකයන්ගේ පක්ෂවලට සලකුණු ක්‍රමයක් හඳුන්වා දීම සිදුවිය.
දැන් ලොව සංවර්ධිත රටවල ඔන්ලයින් ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කර තිබේ. එවිට නම් ඡන්ද පෙට්ටි අවශ්‍ය වන්නේ නැත. ඉදිරියේ දී අපේ රටත් ඔන්ලයින් ඡන්ද ක්‍රමයට යාවිදැයි අපි නම් නොදනිමු.
කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ - අන්තර්ජාලයෙනි