උදාවෙන සෑම රාත්‍රියක්ම අලුත් රාත්‍රියකි. එහෙත් ඉතිහාසය පුරාවට ඇතැම් රාත්‍රී සුවිශේෂී රාත්‍රීන් බවට පත් විය. ඊට හේතු වූයේ එම රාත්‍රින්වලදී, අප අවට ලෝකයේ සිදු වූ ඓතිහාසික සිදුවීම් දාමයන්ය. අද සතිඅන්ත පුවත්පත අතට ගත් ඔබ, මේ ගෙවා දැමීමට සූදානම් වන රාත්‍රිය ද එවන් වූම රාත්‍රියකි. මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා තීරණාත්මක රාත්‍රියයි.
අද රාත්‍රිය පිළිබඳ කතාබහට පෙර අතීත මැතිවරණ රාත්‍රීන් පිළිබඳව මතකාවලෝකනයක යෙදීම වැදගත්ය. උදාවන රාත්‍රිය කියවා ගැනීමට නම් ඉතිහාසය පිළිබඳ සංක්ෂිප්ත හෝ අදහසක් අප සතු විය යුතුමය. එබැවින් මෙම මැතිවරණ රාත්‍රියට පෙර කාල තරණයක් සිදු කිරීමට අපි සූදානම් වෙමු.
මෙරට මැතිවරණ රාත්‍රීන් විටෙක සතුට සොම්නස ද තවත් විටෙක අඳුරු බිහිසුණු බවද ශ්‍රී ලාංකික ජන සමාජයට කැඳවාගෙන එන ලද රාත්‍රීන් විය. කලක දී පෑනක් කොළයක් අතින් ගෙන ගුවන්විදුලියට සවන් දෙමින් ඡන්ද ප්‍රතිඵල ඇසූ අතීතයක් ශ්‍රී ලාංකික ඡන්දදායකයන් සතු විය. ඒ මීට දශක තුන හතරකට ඉක්බිතිය. එකල්හි මැතිවරණ රාත්‍රීන් උද්වේගකර වූ නමුදු මහජනතාව දේශපාලනයට මෙතරම් තදින් ඇලී නොසිටි බව අතීතාවලෝකනය තුළ දී අපට හැඟී යයි.
එම රාත්‍රීන්වල ඇතැමුන්ගේ බලාපොරොත්තු මල්ඵල දැරූ අතර තවත් පිරිසකගේ බලාපොරොත්තු සුණු විසුණු වී ගියේය. එහෙත් බොහෝ විට දේශපාලන බල හුවමාරුව ප්රජාතන්ත්රවාදී ලෙස සිදු කිරීමට ශ්‍රී ලාංකිකයන් තුළ අවිඥානික එකඟතාවයක් තිබුණි. ඒ අනුව රැය පහන් වන විට බලය දැරූ නායකයෝ මැතිවරණ ප්‍රතිඵලයට ගරු කොට බල හුවමාරුව වඩාත් ප්රජාතන්ත්රවාදී ලෙසින් සිදු කළහ.
මෙරට මැතිවරණ ඉතිහාසයේ පරිවර්තනීය පළමු මැතිවරණය වූයේ 1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ බණ්ඩාරනායක කඳවුර ලබාගත් මැතිවරණ ජයග්‍රහණයයි. නිදහසෙන් පසු මෙරට බලය දැරූ එක්සත් ජාතික පක්ෂය පරදා පළමුවරට වෙනත් පක්ෂයක් විසින් දේශපාලන ජයග්‍රහණයක් සනිටුහන් කළ මෙම සුවිශේෂී අවස්ථාව “පනස් හයේ පෙරැළිය” ලෙස ශ්‍රී ලාංකික දේශපාලන වංශ කථාවේ ලියැවී තිබේ.
අනතුරුව තවත් විවිධාකාර මැතිවරණ පැවති නමුත්, 1965 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ දී රාජාසන කතාව පරාජය වීමෙන් අනතුරුව පැවති මැතිවරණය මෙහිලා සලකුණු කොට තැබිය යුතුය. මෙහිදී එක්සත් ජාතික පක්ෂය විසින් මෙම මැතිවරණය හත් හවුලක් හරහා ජය ගැනීමට සමත් වූ අතර, නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ වාමාංශික කඳවුර තුන් හවුලක් සමඟ 1970 දී බලය අත්පත් කර ගැනීමට සමත් විය. මෙය ද මෙරට දේශපාලන ඉතිහාසයේ තරමක සංකීර්ණ කාල පරාසයක් ලෙස හැඳින්වීම සුදුසුය. 70 මැතිවරණ රැය තරමක් කලබලකාරි විය.
අනතුරුව 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය ලබාගත් ජයග්‍රහණය ද මෙරට දේශපාලන ඉතිහාසයේ සලකුණුගත ජයග්‍රහණයකි. හයෙන් පහක දැවැන්ත පාර්ලිමේන්තු බහුතරයක් සමඟ ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික හැඩතල වෙනස් වීමට මෙම මැතිවරණය විසින් සිදු කරනු ලැබූ බලපෑම අමතක කළ නොහැකිය.
එදා එම මැතිවරණ රාත්‍රිය ඉතිහාසය පුරා මෙරට ඡන්දදායකයන් අත්විඳි මැතිවරණ රාත්රීන්ට වඩා හාත්පසින් වෙනස් වූ බවට ඓතිහාසික සාක්ෂි රැසක් පවතී. පෙළපාලි, දේශපාලන ප්රචණ්ඩ ක්‍රියා ආදිය සැලකිය යුතු පමණින් සනිටුහන් වූ මෙම මැතිවරණ රාත්‍රිය, එතෙක් මෙතෙක් මැතිවරණ රාත්‍රීන් තුළ පැවැති සන්සුන් බව බිඳ දැමීය. මෙම පෙරළිකාර මැතිවරණ ජයග්‍රහණය සහ එම රාත්‍රිය පිළිබඳව සොඳුරු සහ අඳුරු මතක ඇත්තෝ තවමත් අප අතර සිටිති.
අනතුරුව අසූව දශකය ආරම්භයෙන් පසු මෙරට මැතිවරණ සංස්කෘතිය වල් වැදීම ඇරඹුණි. බියජනක මැතිවරණ රාත්‍රීන් විටින් විට උදා විය. මරණ සහ දේපල හානි පිළිබඳ බිහිසුණු මතක අසූව දශකයේ මැතිවරණ රාත්‍රීන් පුරා කොතෙකුත් ගැබ්ව තිබුණි. මැතිවරණ වර්ජන, තර්ජන අසූව දශකය පුරා නිතර දැකගත හැකි විය. මළමිනී සමඟ ගංගාවල පාවුණු ඡන්ද පෙට්ටි, ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඇතිවූ කලකෝලාහල පිළිබඳ මතක ඇත්තෝ ද අදටත් ජීවමානව සිටිති. ප්රජාතන්ත්රවාදයේ හතර මායිම් වල් වැදී ගිය එම යුගය අනූව දශකයේ යම් පමණක විරාමයක් සනිටුහන් කළේය.
දාහත් වසරක එක්සත් ජාතික පක්ෂ පාලනය බිඳ දැමූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්රමුඛ පොදු පොදුජන පෙරමුණේ ජයග්‍රහණය සනිටුහන් කළ 1994 මැතිවරණ රාත්‍රිය ද අපට අමතක කළ නොහැකිය. එය වූ කලී තවත් පෙරළිකාර රාත්‍රියක් විය. වෙනත් දේශපාලන යුගයක සහ භාවිතාවක ඇරඹුම එහිදී සනිටුහන් වූයේය. කෙසෙවෙත් 90ව දශකයේ මැතිවරණ රාත්‍රි වුයේ වයඹ පළාත් මැතිවරණ රාත්‍රියයි.
මෙම වකවානුව වන විට රූපවාහිනිය ජනප්‍රිය මාධ්‍යයක් වීමත් සමඟම මැතිවරණ දින රාත්‍රියට සෞන්දර්යාත්මක මුහුණුවරක් ද ලැබුණි. රූපවාහිනී නාලිකා විසින් අනූව දශකයේ දී ආරම්භ කරන ලද මැතිවරණ විකාශ රාත්‍රිය මුළුල්ලේ පවත්වාගෙන ගිය අතර, සිනමා පට සහ සෞන්දර්යාත්මක විශේෂාංග මෙම හෝරා කිහිපය හැඩ කිරීමට යොදා ගනු ලැබුවේය. කඩල රොටි වැනි ආහාර සකසාගෙන රූපවාහිනිය ඉදිරිපිට මැතිවරණ ප්‍රතිඵල නැරඹීම තරමක විනෝදාත්මක කටයුත්තක් විය.
21 වැනි සියවස ආරම්භයෙන් පසුව මෙරට මැතිවරණ සාපේක්ෂව සාමකාමී මුහුණුවරක් ගත් අතර, මැතිවරණ රාත්‍රීන් තරමක් වින්දනාත්මක ස්වරූපයක් ඉසිලීය. මැතිවරණ රාත්‍රියේ මාධ්‍ය විසින් ඉටු කළා වූ කාර්යභාරය ඒ උදෙසා සුවිශේෂී බව මෙහිලා අපි සිහිපත් කරමු. කවරක් වෙතත් රාජ්‍ය මාධ්‍ය ආයතන තුළ බලය කඳවුරු අතර මාරු වූ මැතිවරණ රාත්‍රීන්වලදී සිදුවූ පරිවර්තන ඉතා ආකර්ශනීය විය. ඇතැම් මැතිවරණවලදී ප්‍රතිඵල කී නිවේදකයන් පවා පරාජයන් හමුවේ ඉවත්ව ගිය සැටි අපට මතකය.
කෙසේ වෙතත් ඡන්ද ප්‍රතිඵල අසන රාත්‍රීන්වලදී තම දිස්ත්‍රික්කයේ සහ මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵලය දැන කියා ගැනීමට නොතිත් ආශාවක් කා අතරත් විය. රාත්‍රිය පුරා නිදි වැරීමට එම බලාපොරොත්තුව හේතුවෙන් ලැබුණේ අපූරු ප්‍රාණයකි. මෙම සුවිශේෂී රාත්‍රියේ ද තත්ත්වය එලෙස වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එහෙත් මෑත කාලීනව සමාජ මාධ්‍යයේ නැගීම හේතුවෙන් මැතිවරණ රාත්‍රීන් හිදී තොරතුරුවල විශ්වසනීය බව පිළිබඳ ගැටලු නිර්මාණය විය. ඒ නිසාම උදාවන රාත්‍රියේ දී ඒ පිළිබඳව ඔබට යම් ලෙසකින් අනතුරු අඟවා තිබීම අපගේ යුතුකමකි. මෙම මැතිවරණ රාත්රියේදී පිළිගත හැකි මූලාශ්‍ර පමණක් භාවිත කිරීමට ඡන්දදායකයන් ප්‍රවේසම් විය යුතුය.
මේ උදා වනුයේ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ තවත් පෙරළිකාර ඓතිහාසික දේශපාලන රාත්‍රියකි. ඒ අනුව උදාවන රාත්‍රියේ ඓතිහාසික වටිනාකම ඊට පූර්වයෙහි ගණන් බැලීම ද මේ මොහොතේ අප සිදු කළ යුත්තකි. ඉතිහාසය පුරාවට ශ්‍රී ලංකාවේ පැවති ප්‍රජාතාන්ත්‍රික බල හුවමාරු ක්‍රමය බිඳ වැටුණු ප්රබලතම අවස්ථාව ඉකුත් ජන අරගලය විසින් සනිටුහන් කරන ලදී. එතෙක් මෙරට දේශපාලන බල හුවමාරු සිදුවී තිබුණේ මැතිවරණවලදී සහ ආණ්ඩු අභ්‍යන්තර අර්බුදවලදී පමණි.
එහෙත් ඉතිහාසයේ පළමුවරට මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා හැරීමට අරගලය කටයුතු කළේය. එහි අන්තර්ගතය තුළ ද ජන බලයක් තිබුණු නමුත්, එය මෙතෙක් ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ අප අත් නොවිඳි සුවිශේෂී තත්ත්වයකි. ඉන් අනතුරුව මැතිවරණ අවකාශයක් තුළ සිය වරණය සිදු කිරීමට ජනතාවට අවකාශයක් නොවීය. ඒ අනුව සංකීර්ණ දේශපාලන ආර්ථික වටපිටාවකින් පසු, සිය වරණය සඳහා මෙරට ජනතාවට අවකාශය උදාවන පළමු අවස්ථාව මෙයයි.
මේ වන විට ශ්‍රී ලාංකික දේශපාලනයේ ප්රමුඛ කඳවුරු සහ ධාරාවන් දියවී ගොස් ඇති බව ගොස් අපි මෙම රාත්‍රියට පෙර තේරුම් ගත යුතු සත්‍යයකි. මෙරට දේශපාලනයේ ප්‍රමුඛයන් වූ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් එලෙසින්ම නොවපතී. ඇතැම් පක්ෂ කැඩී බිඳී විසිරී ගොස් පවතින අතර, ඇතැම් පක්ෂ සිය මුහුණත වෙනස් කර ගැනීමට කටයුතු කොට තිබේ. ඒ අනුව උදාවන රාත්රියේදී මෙරට දේශපාලන ප්‍රතිඵලය කවරක් වුවත් එය මෙතෙක් ඉතිහාසයේ දේශපාලන තෝරාගැනීම්වලට ඉඳුරාම වෙනස් එකක් වනු ඇති බව කිව යුතුය.
මෙම රාත්‍රිය කොතරම් සුවිශේෂී වනු ඇතිදැයි මේ වන විටත් ශ්‍රී ලාංකික පුරවැසියන් තුළ හැඟීමක් පවතිනු නොඅනුමානය. එබැවින්ම බොහෝ දෙනකු මේ වන විටත් රාත්‍රිය උදෙසා සූදානම් වෙමින් සිටිති. කෙසේ වෙතත් ඉතිහාසයේ පළමු වරට ජනාධිපතිවරණයක් තුළදී දෙවැනි මනාප ගණනය කිරීමට වීම පිළිබඳ සැකයක් මෙවර මැතිවරණයේ දී නිර්මාණය වී තිබේ. එය එසේ සිදුවුවහොත් රාත්‍රිය වඩා දිගු එකක් විය හැකිය. එසේම රාත්‍රිය ඉතා සංකීර්ණ එකක් බවට පරිවර්තනය වීමේ හැකියාවක් ද පවතී. ඒ අනුව මෙම රාත්රියේදී වඩාත් කාර්යබහුල වන ස්ථාන වන්නේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයි. ඉතිහාසය පුරාවට මැතිවරණ රාත්‍රීන් හිදී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලැබුවේය. රාජ්‍ය සේවකයන් පෙරටු කොටගත් මෙම මධ්‍යස්ථාන තුළ දී ඡන්දය ගණන් කිරීම, ඉතා වෙහෙසකර නමුත් උද්යෝගිමත් කටයුත්තක් වූ බව මෙම අත්දැකීම ඇත්තෝ දනිති. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ දේශපාලන පක්ෂ නියෝජිතයන් නිරීක්ෂකයන් ලෙසින් රැඳෙන අතර, ඔවුහු නිතරම කුකුසෙන් සහ සැකයෙන් යුතුව සිය කඳවුරේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රවේසම්සහගතව කටයුතු කරන්නෝ වෙති.
දැඩි ආරක්ෂක රැකවල් මත සිදුවන මෙම ක්‍රියාවලිය තුළ දී, බොහෝ විට ගැටුම් ඇතිවීමට ඇති සම්භාවිතාව අවමය. එහෙත් සැබැවින්ම මැතිවරණ රාත්‍රීන් තුළ දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ පවතින්නේ ව්‍යාජ සාමයක් බව දන්නෝ දනිති. ගතින් නැතත් සිතින් බොහෝ දෙනා එකිනෙකාට එදිරිව මෙම කටයුත්තේ නිරතව සිටින්නෝය. විටෙක මෙම මධ්‍යස්ථාන අවට හොර රහසේ මධුවිත ද සප්පායම් වන දේශපාලන ආධාරකරුවෝ වෙති. බොහෝ විට ඔවුන් වෙත ආහාරපාන සහ පහසුකම් සපයනු ලබන්නේ අදාළ පක්ෂවල දිස්ත්‍රික් ප්‍රාදේශීය නායකත්වයන් විසිනි.
මැතිවරණ රාත්‍රීන්වලදී උණුසුම් ස්ථානයක් බවට පත්වන්නේ රාජගිරියේ පිහිටි මැතිවරණ දෙපාර්තමේන්තුවයි. මාධ්‍යවේදීන්ගෙන් පිරී යන මෙම දෙපාර්තමේන්තුව, නිල ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින පක්ෂ නියෝජිතයන්ගෙන් ද පිරී යයි. එසේම මැතිවරණ නිරීක්ෂකයෝ ද සිය උකුසු මෙම ක්‍රියාවලිය වෙත ඇස් යොදවා ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ සහ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය තුළ රැඳී සිටිති. මැතිවරණයක ප්‍රතිඵලය තීරණාත්මක වන විට මෙහි තත්ත්වය තවත් සංකීර්ණය. ඒ අනුව නිසැක වශයෙන්ම මෙවර මැතිවරණයේ දී මෙම පරිශ්‍රය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මැතිවරණ ප්‍රතිඵල අතරේ උණුසුම් වන තවත් ස්ථානයක් වන්නේ ජාතික සහ ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ නිවාසය. මැතිවරණ ක්‍රියාවලිය සඳහා වෙහෙසෙන බොහෝ පිරිස් සිය නායකයන්ගේ සෙවණේ මැතිවරණ ප්‍රතිඵල දැන කියා ගැනීමට කැමැත්තක් දැක්වීම ශ්‍රී ලාංකීය මැතිවරණ ක්‍රමය තුළ දක්නට ලැබෙන ස්වභාවයකි. එහෙත් ඇතැම් විට පරාජයන් හමුවේ නොකියාම ඇතැමුන් මෙවන් ස්ථානවලින් ඉවත් වී යාම් පිළිබඳ පුවත් දේශපාලන කරළියේ දී අප කොතෙකුත් අසා ඇත. ඇතැම් විට මෙවර මැතිවරණයේ ද එවන් දෑ සිදුවිය හැකිය.
කවරක් වෙතත් අවසානයේ සනිටුහන් කොට තැබිය යුතු පොදු යථාර්ථයක් වේ. මැතිවරණ ප්‍රතිඵලයක් යනු බහුතරයේ කැමැත්ත නිරූපිත ප්රජාතන්ත්රවාදී ප්රකාශනයකි. එය පිළිගැනීමට සමස්තයට සිදුවනු ඇත. එහෙත් මැතිවරණ ප්රතිඵලයකදී ජයග්‍රාහකයා සේම පරාජිතයා ද ආරක්ෂා විය යුතුය. මැතිවරණයක් සැබැවින්ම ප්රජාතන්ත්රවාදී ප්රකාශනයක් බවට පත්වන්නේ එවන් විටෙකදී පමණි. ජයග්‍රහණය මගින් උදම් වී, පරාජිතයන් වෙත පීඩා පැමිණවීම ප්රජාතන්ත්රවාදී ලෝකය තුළ කිසිසේත්ම අනුමත කළ නොහැකිය.
ශ්‍රී ලාංකික ඉතිහාසයේ තීරණාත්මක මැතිවරණ රාත්‍රිය අභියස මැතිවරණ රාත්‍රිය පිළිබඳ වන ඔබගේ උද්යෝගය අවුලාලීමු. එය හුදෙක් උණුසුම් උද්වේගකර රාත්‍රියක, යථා ස්වභාවය අවබෝධ කොටගෙන සාධාරණ සහ යුක්ති සහගත ලෙස හැසිරීමට ඔබට උපකාර වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
කතිරයෙන් රාජ්‍ය වෙනස් නොවන අතර, රාජ්‍යයක් වෙනස් කළ හැකි වන්නේ ඔබ වෙනස් වූ විට දීමය. මෙම රාත්‍රියේ දී ඔබ වෙනස් වීම ඇරඹිය යුතුව තිබේ. හෙටින් උදාවන හිරු සමඟ, ඕනෑම නායකයකු යටතේ යහපත් රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමට අපි වෙහෙස වී වැඩ කරමු.
• චමිඳු නිසල් ද සිල්වා