ජනාධිපතිවරණයෙන් රටම උණුසුම් වී තිබෙන අල්ල පනල්ලේ කතරගම පූජා භූමිය ආසන්නයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබේ.
අලුතෙන් දැමූ බව කියන මෙම මත්පැන් අලෙවිසලට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ මහනාහිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීහු විරෝධතාවක යෙදී සිටිති. මෙම විරෝධතා අවස්ථාවට කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ද එක් වී සිටියේය. කතරගම පූජා භූමියක් ලෙස ගැසට් කරන ලද්දේ 1961 ඔක්තෝබර් 6 වැනිදාය. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් පූජා භූමි සැලසුම යටතේ කතරගම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම්, කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති කපුගම සරණතිස්ස හිමියන් පවසනුයේ කතරගම පූජා භූමියේ හෝටල් ඇතුළත මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන හැර ප්‍රසිද්ධ තැබෑරුම් එදා මෙදා තුර විවෘත නොකෙරුණු බවයි. එසේම මෙම සුරාසල සඳහා අවසර පත්‍රය කතරගම පොලිස් ස්ථානයෙන් ලබාගත යුතුව තිබියදී ඇඹිලිපිටිය පොලිසියෙන් ලබාගෙන ඇතැයි උන්වහන්සේ චෝදනා කරති. කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති කපුගම සරණතිස්ස හිමියන් දිස්ත්‍රික් ලේකම්වරයා සමඟ කළ දුරකථන සංවාදයේ දී වැඩිදුරටත් මෙසේද පැවසූහ.
වැඩිහිටි කන්ද විහාරාධිපති හීල්ලේ ඥානානන්ද හිමියන් පැවසූයේ වැඩිහිටි කන්ද හන්දියේ බෝධිය අසල මෙම මත්පැන් අලෙවිසල දමා ඇති බවත් වැඩිහිටි කන්ද පුදබිමට මෙතැන සිට මීටර් 100 ක දුරක්වත් නොමැති බවත්ය. මොණරාගල දිස්ත්‍රික් ලේකම් පසන් රත්නායක මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ මෙය වහා නතර කළ යුතු බවත් එසේ නොවුණහොත් සිය සාමණේර හිමිවරුන් 25 සමඟ තමන් ඇතුළු ප්‍රදේශයේ මහා සංඝරත්නය මාරාන්තික උපවාසයක් කරන බවත්ය.
මේ සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගෙන් කළ විමසීමේදී උන්වහන්සේ පැවසූයේ කාර්යබහුල බව හේතුවෙන් මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට තමන්ට අපහසු බවයි.
මහසඟරුවන සහ ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවට කතරගම බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ද එක්ව සිටියේය. අප කළ විමසීමේදී ඩිෂාන් ගුණසේකර මහතා මෙසේ පැවසීය.
“කතරගම පූජා භූමියට අයත් වන්නේ ගම්උදා ඔරලෝසු කණුවෙන් පහළට. කතරගම පූජා භූමිය ඇතුළත සංචාරක හෝටල් ඇරුණාම විවෘත ස්ථානවල මත්පැන් අලෙවි කරන ස්ථාන පැවැත්වීම නුසුදුසු යැයි එදා සිට පැවතෙන සම්මතයක් තියෙනවා. මෙය තව මීටර් දෙතුන්සීයක් එහාට ගෙන ගියා නම් පූජා භූමි සීමාව පනිනවා. මෙය පූජා භූමි සීමාවෙන් එහා දැම්මා නම් ඒකට විරුද්ධ වෙන්න අපට හැකියාවක් නෑ. කතරගම හෝටල්වලට බැතිමතුන් එනවා වගේම යාල යන දෙස් විදෙස් සංචාරකයනුත් නවතිනවා. හෝටල් ඇතුළේ මත්පැන් විකිණීමයි පූජා භූමියේ විවෘත පරිසරයක මත්පැන් විකිණීමයි දෙකක්. මේ වගේ ප්‍රශ්න මුලින්ම කතාබහ කරල විසඳගන්න තිබුණා. මේවා දුරදිග යන්න ඕනෑ නෑ. පූජා භූමියක් ඇතුළෙ මේ වගේ දෙයක් පටන් ගන්න කලින් ප්‍රදේශයේ ආගමික නායකයන් එක්ක කතා කරන්න තිබුණා. නායක හාමුදුරුවන් ඇතුළු බොහෝ දෙනා මේක දන්නේ විවෘත කරපු දවසෙ උදේ. ප්‍රාදේශීය ලේකම් විරෝධතා දක්වන්න සුමාන දෙකක් දීලා තිබුණාලු. ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙ නාම පුවරුව ගිහින් බල බල ඉන්නේ නෑනෙ කවුරුත්. මේ වැඩෙන් ආණ්ඩුවත් අපහසුතාවට පත් වුණා. දාපු කෙනාත් අපහසුතාවට පත් වෙන්න ඇති. පූජා භූමියටත් අගෞරවයක් වුණා.”
මෙම මත්පැන් අලෙවිසල තාවකාලිකව වසා දමා තිබේ. පූජා භූමි සීමාවෙන් ඔබ්බට එම ගොඩනැගිල්ල ගෙන ගියහොත් එය යළි විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සලකා බලන බවත් එම ආරංචි මාර්ග කියයි. පූජා භූමිය ඇතුළත මත්පැන් අලෙවිසලක් ඇරඹීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් නිලධාරීන් දෙදෙනකුට චෝදනා එල්ල වෙනු අපි දුටුවෙමු. මහ සඟරුවන චෝදනා කරනුයේ දේශපාලන බලයට සහ මුදල්වලට යට වී නිලධාරීන් මෙම නීතිවිරෝධී ක්‍රියාවට අවසර ලබා දී ඇති බවයි. චෝදනා ලබන එක් නිලධාරියකු වන්නේ ප්‍රාදේශීය ලේකම්වරයෙකි. අනෙක් නිලධාරියා සුරාබදු කොමසාරිස්වරයා. මහනාහිමිවරුන් මෙම විරෝධතාව පවත්වා තිබුණේ මත්පැන් අලෙවි සල විවෘත කළ දිනයේය. සුරාබදු කොමසාරිස්වරයා මෙම මත්පැන් හල විවෘත කිරීමට කතරගමට පැමිණ සිට ඇතැයි ඇතැම්හු චෝදනා කළහ. එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ අප කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සිය පෞද්ගලික අවශ්‍යතාවක් මත කතරගම දෙවියන් වැඳපුදා ගැනීමට කතරගම පුදබිමට එදින පැමිණ සිට ඇති බවයි.
එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට කතරගම ප්‍රාදේශීය ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.
• සසංක චලන ගිම්හාන