2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

සමන් දේවාලයේ පැළවෙන කළුගල

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:05 190

පොළොන්නරු යුගයෙන් පසුව මහා පරාක්‍රමබාහු රජතුමා විසින් සුමන සමන් දෙවියන් උදෙසා රත්නපුර නගරයේ සමන් දේවාලය ඉදිකර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ. සමන් දෙවියන් වෙනුවෙන් ප්‍රධාන දේවාලය සමනල කන්දේ සාදා ඇති අතර දකුණින් බොල්තුඹේ සමන් දේවාලය ද, නැගෙනහිරෙන් මහියංගණය සමන් දේවාලය ද, උතුරෙන් දැරණියගල සමන් දේවාලය ද, බටහිරෙන් සබරගමු මහ සමන් දේවාලය ද ඉදිකොට තිබේ.

රත්නපුර මහා සමන් දේවාලය තුළ අද ද දක්නට ඇති සුවිශේෂී දෙයකි. එය මෙතෙක් කිසිදු දෙවොලක දකින්නට ලැබී නැ්‍ත. එය පැළවෙන ගලකි. පැළවෙන ගසක් යනු සාමාන්‍ය දෙයකි. නමුත් මෙය පැළවෙන ගලකි. ඕනෑම කෙනකුට ගලක් පැළවෙන්නේ යැයි සිතිය නොහැකිය. නමුත් මේ මීටර් තුනක් පමණ උසින් යුක්ත වූ පැළ වූ ගලකි. මෙය කළු ගලකි.

“මෙය අඩි තුනක් පමණ අලංකාර බඳුනක් තුළ දේවාලය ඇතුළට එන බැතිමතුන්ට දැකගත හැකි සේ ආවරණ කර ඇති කොටසකින් යුක්තයි. මෙය අඟල් හයක් පමණ කළු ගල් කැබැල්ලක්. මෙම ස්ථානයේ දේවාලයක් ඉදිකිරීමට ගෙන ආ ගල්වලින් කොටසක් කඩා එම කටයුතු සාර්ථක වෙන්න යැයි දෙවියන්ට පූජා කරලා තියෙනවා. මෙය ගල් කොටසින් කරන ලද පූජාවක්. දේව කටයුතු සාර්ථකව නිමා කොට පුද පූජා කටයුතු කරන අතරතුරේ සමන් දෙවියන්ගේ දේව ප්‍රතිමාවට අභියසදී මෙම ගල් පැළය දකින්නට ලැබී තියෙනවා.” යැයි රත්නපුර මහා සමන් දේවාලයේ සේවයේ නියුතු ඩී. වික්‍රමාරච්චි මහතා දේශයට පැවසීය.

කළු ගල් කොටසක ඉතා කුඩාවට පැළ වෙමින් ඇති මෙම කොටස පැවත ඇත්තේ සමන් දෙවිඳුන්ගේ ප්‍රතිමාව අසල පූජා භාණ්ඩයක් සේ පූජා කොටය. දෙවියන්ට පුද පූජාව පවත්වන අතරතුරේ මෙම ගල් පැළය පැළවෙන්නට පටන්ගෙන ඇති බව දක්නට ඇත. අඟල් දෙකක් පමණ ප්‍රමාණයෙන් යුත් ගල් කැබැල්ලක් පැළ වී ගෙන එන අතරතුරේ දේවාලයේ සේවයේ යුතු කපු මහතුන් පුදුම වී මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු කොට තිබිණි. කලක් ගත වෙද්දී මෙම පැළය අඟල් හයක් පමණ වැලක් සේ පැළ වී ඇත. මිනිසුන් පුදුමයට පත් කරමින් මීටර් තුනක් දක්වා මෙම කළු ගල් කැබැල්ල පැළ වී තිබිණි. මෙය වැලක් ආකාරයෙන් වැඩුණු කළු ගල් පැළයකි.

මුල් කාලයේ දී මෙම පැළය දැක බලාගත හැකි වූයේ විශේෂිත වූ අයට පමණි. මේ හේතුවෙන් දේවාලයට පැමිණෙන ඇතැම් බැතිමත්හු මෙය නැරඹීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. ඒ හේතුවෙන් රත්නපුර මහා සමන් දේවාලයට ඇතුළුවන ස්ථානයේ කුටියක් සාදා මෙම පැළවෙන කළු ගල තැන්පත් කරන ලදී. එමගින් ලොව කිසිදු දේවාලක දැකගත නොහැකි මෙම පැළවෙන කළු ගල සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව රත්නපුර සමන් දේවාලයට පිවිසෙන සෑම බැතිමතකුටම අවස්ථාව සලසා තිබේ.

“මේ අනුව සමන් දේවාලයට පැමිණෙන බැතිමතුන් සමන් දෙවිඳුන්ගේ ඇති ආනුභාවය නිසාවෙන් ගල් පැළයක් පැළවෙන්නට ඇතැයි විශ්වාස කරනවා. සමහරුන් සුමන සමන් දෙවිඳුන් ජීවමානව වැඩසිටින බවට තියෙන සාක්ෂියක් ලෙසින් ද මෙය සලකනවා. ඒ නිසාම සමන් දෙවොලට පැමිණෙන බැතුමතුන් මෙම ගල් පැළය වැඳ පුදා ගන්නට අමතක කරන්නේ නැහැ.” යැයි රත්නපුර සමන් දේවාලයේ සේවයේ යුතු ඩී. වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත්  පැවසීය.

අද වන විට මෙම පැළවෙමින් පැවති ගල් පැළය වර්ධනය නතර වී ඇත. එනම් මීට වසර හතළිහකට පමණ පෙර සමන් දේවාලයට පැමිණි එක්තරා නඩයක් පැළය කොයිතරම් වේගයෙන් වැඩෙනවාද බැලීමට සිතා පැළයේ දලු කොටස කඩා ඇත. එම පාප කර්මයත් සමඟ එදා සිට මෙදා දක්වා තවමත් එම පැළයේ වැඩීමක් පෙන්නුම් කොට නැත. ඇතැමුන්ගේ මතය වන්නේ විදේශිකයකු අතගෑම හේතුවෙන් මෙම වැඩීම නතර වී ඇති බවය. නමුත් එය කටකතාවක් වුවද සත්‍ය සිදුවීම ලෙසින් දේවාලයේ ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ පැමිණි එක්තරා නඩයක් විසින් මෙම පැළයේ දලු කැඩීමත් සමඟ මෙම වර්ධනය නතර වූ බවය.

වර්තමානයේදී ද රත්නපුර සමන් දේවාලයට පිවිසෙන බැතිමත්හු මෙම පැළවෙන ගස සහිත කුටිය නරඹා වන්දනාමාන කිරීමට අමතක නොකරති. සමන් දෙවිඳුන්ට පුද පූජා පවත්වන තැනක් ඉදිරිපිට වීදුරු කුටියක මෙම පැළවෙන ගස තැන්පත් කොට ඇත.

• දිශානි ජයමාලි කරුණාරත්න