2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

කොම්පියුටරයෙන් කියවූ දිඹුලාගල සෙල්ලිපිය

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:04 210
අප රටේ සෙල්ලිපි කියවීම මෙතෙක් කල් කළේ කඩදාසිවලට ගත් ස්පර්ශ ලාංඡන මගිනි. නැත්නම් එය ඇසට පේන ආකාරයට අතින් පිටපත් කිරීමෙනි. එසේ පිටපත් කළ ලිපිය ඇසින් බලා අකුරු හඳුනාගෙන කියවීම සාමාන්‍ය පිළිවෙත විය. නමුත් පසුගිය වසරේ දිඹුලාගල නාමල් පොකුණ අසල කැලයෙන් සොයාගත් ලංකාවේ විශාලතම සෙල්ලිපිය ලෙස සැලකෙන සෙල්ලිපිය එසේ කියවීමට උත්සාහ කළත් අසාර්ථක විය. ඒ එහි සියයට 60ක පමණ කොටසක් අව් වැසි උවදුරට ගොදුරු වී ගෙවී ගොස් පැවති නිසාය. මේ නිසා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සෙල්ලිපිය කියවීමට නූතන ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීම සිදු විය. එසේ කියවා අවසන් කළ සෙල්ලිපිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගිය දා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පැවැත්විණි. නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානයෙහි නිල්දිය පොකුණ හා කාශ්‍යප ලෙනට කිලෝමීටර් දෙකක් පමණ ඉහළින් පිහිටි ස්වභාවික දෙපළු වී ගිය ගල් කුලක පැති මුහුණතක මෙම ශිලා ලේඛනය කොටා තිබේ.
 
එහිදී අදහස් දැක්වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් : “දිඹුලාගල සෙල්ලිපිය ඉක්මනින් නොකියවන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පසුගිය කාලයේ චෝදනා එල්ල වුණා. සෙල්ලිපියක් පිටපත් කර කියවීම ලේසි නෑ. මේකෙ අක්ෂර විශාල ප්‍රමාණයක් ගෙවී ගොස් තිබුණේ. මේ නිසා එය කියවීමට දිගු කාලයක් ගතවුණා. අප හැකිතරම් නිරවද්‍ය ආකාරයෙන් එය සිදුකළ යුතු වුණා. දිඹුලාගල සෙල්ලිපිය කියවීමට පත්කළ කමිටුව රැස්වීම් වාර 20ක් පමණ තිබ්බා. ඊට පසු තමයි එහි අර්ථය ගැන එකඟතාවකට පැමිණියේ. ගෙවී ගිය අක්ෂර කියවීමට අපට තාක්ෂණික සහාය ලබාගැනීමට සිදුවුණා. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සහයෝගය එයට ලැබුණා. ආචාර්ය අර්ජුන තන්තිලගේ ඇතුළු කණ්ඩායම කිසිම ගෙවීමකින් තොරව එම කාර්යයට දායකත්වය දැක්වුවා.”
 
මෙසේ පරිගණක තාක්ෂණය සහයෝගයෙන් එය කියවීම ගැන අදහස් දැක්වූයේ පුරාවිද්‍යා පශ්චාද් උපාධි ආයතනයේ ආචාර්ය අර්ජුන තන්තිලගේ ය: “මේ සඳහා සෙල්ලිපියට බහුවර්ණාවලික්ෂ ඩිජිටල් ඡායාරුපකරණය භාවිත කළා. ඒ මගින් ගෙවී ගිය අකුරු පවා පෙනෙන ලෙස රූපගත කළ හැකියි. ඒ සඳහා පෞද්ගලික තාක්ෂණික ආයතනයක සහාය ලබාගත්තා. විවිධ කෝණවලින් සෙල්ලිපියේ පින්තූර 2000ක් පමණ ලබාගැනීම සිදුවුණා. ඉන්පසු ඒ ඡායාරූප ත්‍රිමාණ ආකාරයට මෘදුකාංග භාවිතයෙන් සකස් කළා. පසුව මුළු සෙල්ලිපියම පරිගණක තිරයක් මතට ගැනීමට හැකි වුණා. ඉන්පසු යාන්තම් සලකුණු ලෙස තිබුණු අපහැදිලි අක්ෂරත් කියවීමට හැකියාව ලැබුණා.”
2023 වසරේ ජූලි මස 10 වැනිදා හඳුනාගනු ලැබූ ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල්ලිපිය වන දිඹුලාගල සෙල්ලිපිය කියවීමට කමිටුවක් පත් කළ අතර එය සෙල්ලිපියක් කියවීමට කමිටුවක් පත් කළ පළමු අවස්ථාව ද විය. එම කමිටුව නියෝජනය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පැවසුවේ, සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 11ක් හඳුනාගත හැකි බවත් මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක් හමුවී ඇති බවත්ය.
 
ආදි බ්‍රාහ්මී අක්ෂවලින් ලියා ඇති සෙල්ලිපිය සිංහල ප්‍රාකෘත භාෂාවෙන් යුක්තය. එය ක්‍රි.පූ. දෙවැනි සියවසට අයත් බවට තීරණය කර තිබේ. 
 
මේ ගැන මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මෙසේ පැවසුවේය : “මෙහි පස්වැනි පේළියේ අයතිශ කියන නම සඳහන් වෙනවා. ඒ කාවන්තිස්ස රජු බව අප හඳුනා ගත්තා. හයවැනි පේළියේ දැක්වෙන මහරජ තිශ සද්ධාතිස්ස (137- 119) ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ සෙල්ලිපිය අදින් වසර 2200කට පෙර ලියා තිබෙන බව පැහැදිලි වුණා. 
 
මෙය මෙතෙක් හඳුනාගෙන ඇති බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද විශාලම සෙල්ලිපිය වගේම වැඩිම පිරිසකගේ නම් සඳහන් වන සෙල්ලිපිය ද වෙනවා. අනුරාධපුර රාජධානියේ මුල් යුගයේ දිඹුලාගල අවට කලාපය ගැන තොරතුරු රාශියක් මින් හෙළි වෙනවා. මේ ලේඛනයෙහි විහාරයකට කරන ලද පරිත්‍යාග ගැන සඳහන් වෙනවා. ඒ නාමය ගෙවී ගොස් ඇති නිසා පැහැදිලි නෑ. අතීත ලංකාව පාලන ඒකකවලට බෙදා ඒ කලාපවල බලය තහවුරු කරගත් පාලකයන් විසින් පාලනය කළ බව මෙහි කරුණුවලින් හෙළි වෙනවා. දිප රජ නම් ප්‍රාදේශීය පාලකයකු ගැනත් මෙහි දැක්වෙනවා.”
 
එකල පැවති කෘෂි ආර්ථිකය හා වෙළෙඳ ආර්ථිකය ගැන කරුණු මේ ලිපියෙහි ඇතුළත්ය. කුඹුරු බදු, බිම් බදු, හා ඉඩම් කොටස් ආරාමයට පූජා කිරීම ගැන මෙහි දැක්වේ. එමෙන්ම කෙත්යායක බදු සහ තිස්ස නම් පවුලට අයත් බදු ආදායම යොදා අලුත් මාර්ගයක් ඉදිකර තිබේ. තවත් තැනක සඳහන් වන්නේ බිම් කොටස් සියයක් හා ඉඩම් කොටස්වල බද්ද ආරාමයට පූජා කිරීමක් ගැනය.
 
බැංකුවලට සමාන වෙළෙඳ ආයතනයක් ගැන ද මෙහි සඳහන් වේ. ඒවා මුලතන, දෙවතන, බදනනම අරිහතන ලෙස සඳහන් කර තිබේ. බැංකුවලට සමාන ආයතන ගැන සඳහන් වන පැරණිම මූලාශ්‍රය ලෙසත් මේ සෙල්ලිපිය වැදගත් වේ. මෙතෙක් බැංකු ක්‍රමයක් ගැන සඳහන් පැරණිම මූලාශ්‍රය ලෙස සැලකුණේ වවුනියාව තෝනිගල සෙල්ලිපියයි. එය කිත්සිරිමෙවන් රජු විසින් කරවූවකි. එකල ලංකාවේ සිටි විවිධ පුද්ගල වෘත්තින් ගැන ද මෙහි සඳහන් කර තිබේ. අශ්වාරෝහකයන්, ආචාර්වරු, චිත්‍ර ශිල්පීන්, කාර්මිකයන්, දාසයන්, මැණික් කර්මාන්තකරුවන්, යකඩ කර්මාන්තකරුවන් ඔවුහු වෙති.
 
දිඹුලාගල ආදි බ්‍රාහ්මී අක්ෂරවලින් ලියන ලද තවත් සෙල්ලිපි 16 මීට ඉහත දී සොයාගෙන ඇත. දිඹුලාගල මාරවීදියෙන් සෙල්ලිපි 4 ක්ද දිඹුලාගල කොස්ගහඋල්පතින් සෙල්ලිපි 2ක්ද දිඹුලාගල පුල්ලිගොඩ ලෙන අවට සෙල්ලිපි 1 ක්ද ලෙස දැක්වේ. දිඹුලාගල නාමල් පොකුණේ ද මීට ඉහත දී සෙල්ලිපි 9 සොයා ගෙන ඇත. මේ සෙල්ලිපි වාක්‍ය එකකට දෙකකට සීමා වූ කෙටි ලිපි වේ.
 
දැන් අපේ වැඩිදෙනකුට අවශ්‍ය වන්නේ මේ සෙල්ලිපිය දැක බලා ගැනීමටය. නමුත් ඒ සඳහා තවම මාර්ග පහසුකම් සංවර්ධනය කර නැත. මුලින්ම මේ සෙල්ලිපිය ආරක්ෂාව සඳහා යකඩ ආවරණ තැනීම සිදුකරන අතර ලබන අවුරුද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබෙන ප්‍රතිපාදන මත එයට පිවිසීමට මාර්ග පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය. එමෙන්ම මෙහි ආරක්ෂාව සඳහා මේ වනවිට පුරාවිද්‍යා මුරකරුවන් සිව්දෙනකු යොදවා තිබෙන බවත් ඔහු කීවේය.
 
• කුසුම්සිරි විජයවර්ධන
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:04