2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

රනිල් සජිත් සහ අනුරගේ රට හදන සැලසුම්

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:05 92

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෝ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම පසුගිය සතියේ දී ඇරඹූහ. ජනතාව විසින් අනුමත කරනු ලබන්නේ කාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද? සැප්තැම්බර් අවසාන සතියේ අපට ඒ පිළිබඳව දැන කියා ගැනීමට ලැබෙනු ඇත. කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශ මනාව කියවා අවබෝධ කොටගෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලාංකීය ඡන්දදායකයන්ගේ යුතුකමකි. ඒ සඳහා ඔබට අභිප්‍රේරණයක් ලබා දීමට ජනාධිපතිවරණ අපේක්ෂක ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිබඳ සංක්ෂිප්ත නමුත් සංසන්දනාත්මක විග්‍රහයකට අපි සැරසෙමු.

ස්වාධීන අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කොට ඇත්තේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ නමිනි. මෙහි තේමාව වී ඇත්තේ, රනිල් සමඟ රට දිනවන වසර පහක් යන්නයි. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු හැට දෙකකින් යුතු ලියැවිල්ලක් ලෙස එළි දක්වා තිබේ.

සමගි ජන බලවේගයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට නම් ලබා දී ඇත්තේ ‘සැමට ජයක්’ යන්නයි. ඔහු තම තේමාව ලෙස ‘එක්වෙමු, කපවෙමු, ජයගමු’ යන පාඨය තෝරාගෙන තිබේ. පිටු 38 කින් යුතු මෙම ප්‍රකාශයේ දී පළමුව ශ්‍රී ලාංකික ඡන්දදායකයන් ආමන්ත්‍රණය කරමින් ප්‍රේමදාස මහතා විසින් ලිපියක් පළ කොට තිබේ.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ නමින් නම් කොට තිබේ. පිටු 233 කින් යුතු දීර්ඝ ප්‍රකාශනයක් වන මෙය ප්‍රධාන මාතෘකා හතරක් ඔස්සේ ගොනු කොට ඇත.

01. පරිසමාප්ත ජීවිතයක් - සුව පහසු රටක්

අධ්‍යාපනය, සෞඛ්‍ය, ජනමාධ්‍ය ඇතුළු විශේෂ ගණනාවක් පිළිබඳව කුඩා, අනු කුඩා මාතෘකා රැසක් යටතේ ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කොට තිබේ.
 
02. ගෞරවනීය ජීවිතයක් - සුරක්ෂිත රටක්

දිළිඳුකම තුරන් කිරීම, වෘත්තීය සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳව මෙන්ම දරුවන් සහ තාරුණ්‍යය පිළිබඳ ප්‍රතිපත්ති මෙහිදී පැහැදිලි කොට තිබේ.

03. නවීන ජීවිතයක් - පොහොසත් රටක්

මෙහිදී සිය ආර්ථික, නිෂ්පාදන ප්‍රතිපත්තීන් සහ සංචාරක ප්‍රවාහන බලශක්තිය ආදී ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කොට තිබේ.

04. අභිමානවත් ජීවිතයක් - නොසැලෙන රටක්

මෙහිදී නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳව වන සිය ප්‍රතිපත්තිය ප්‍රමුඛව මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව සහ නීතිය හා රාජ්‍ය සේවය පිළිබඳව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කොට තිබේ.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී පළමුව පසුගිය වසර කිහිපයේ දී ඔහු විසින් ගනු ලැබූ ආර්ථික තීන්දු පිළිබඳවත් ඒ ඔස්සේ ලැබූ ජයග්‍රහණ පිළිබඳවත් විස්තර කොට දක්වා ඇත. එහිදී විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ප්‍රකාශ ද ඔහු උපුටා දක්වා ඇති අයුරු දැකගත හැකිය. අනතුරුව වික්‍රමසිංහ මහතා ද සිය පස් අවුරුදු සැලැස්ම සඳහා මූලික තේමාවන් පහක් තෝරාගෙන තිබේ.

01. ථේරවාදී ආර්ථික ප්‍රතිපත්තිය

ථේරවාදී බුදු සමය ප්‍රචලිතව පැවති රජරට රාජධානි සමයේ ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්ද්‍රස්ථානය ගුරුකොට ගනිමින් ආර්ථික සංවර්ධනය සිදු කරන ආකාරය මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කොට තිබේ.
02. ක්‍රියාන්විතය - 2025 න් ඔබ්බට

වර්තමාන තත්ත්වයන් සමඟ සසඳා ඉදිරි කාලයේ දී ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන අධ්‍යාපන, කෘෂිකර්ම, සංචාරක, බලශක්තිය තුළ ශේෂයන් ගණනාවක ව්‍යාපෘති සහ අරමුණු ඉලක්ක මෙන්ම උතුරු නැගෙනහිර සහ වතුකරය සම්බන්ධ ප්‍රතිපත්ති ද මෙහි දක්වා තිබේ.

03. ප්‍රභාශ්වර සමාජයක් කරා

විවිධ ජන කණ්ඩායම් සම්බන්ධ සිය ප්‍රතිපත්තීන් මෙහිදී හෙළිදරව් කොට ඇති අතර කාන්තාවන්, දරුවන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකොට තිබේ. රැකියා වෙළෙඳපොළ සහ නීතිය, අණ පනත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කොට ඇත.

04. මව්බිම දිනවමු

කලාව, සංස්කෘතිය සහ මාධ්‍ය පිළිබඳ මෙහිදී අවධානය යොමුකර ඇති අතර රසඥතාව, සහකම්පන සහ නිර්මාණශීලීත්වය ආදිය සංවර්ධනය කිරීම සඳහා දක්වනු ලබන දායකත්වය පිළිබඳව ද මෙහිදී වැඩිදුර තොරතුරු දක්වා තිබේ.

05. එකමුතු ශ්‍රී ලංකා

සංහිඳියාව, 13 ව්‍යවස්ථා සංශෝධනය, ජාතික ප්‍රතිපත්ති රාමුව, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ආදිය පිළිබඳව මෙහිදී අවධානය යොමුකර ඇති අතර සාමූහික උත්සාහයක් කරා රට ජයග්‍රහණය කරවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කොට ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ප්‍රධාන තේමාවන් පහක් යටතේ සිය ප්‍රතිපත්ති එළි දක්වා තිබේ. එහිදී තවත් කුඩා සහ අනු කොටස්වලට මෙම තේමාවන් බෙදා දක්වමින් ඒ හා සම්බන්ධ සිය ප්‍රතිපත්ති එකිනෙක පැහැදිලි කිරීමට ඔහු කටයුතු කර ඇත.

01. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

බලශක්ති, කෘෂිකර්ම, ධීවර, සංචාරක, ඉඩම් ආදී සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සිය ප්‍රතිපත්ති මෙහිදී එළි දැක්වීම සිදුකොට තිබේ. විනිවිදභාවය ආරක්ෂා කර ගැනීමේ සහ වගවීමේ ක්‍රමවේදය සහ ණය අර්බුදය කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක් මෙහිදී පැහැදිලි කොට ඇත.

02. සෑම පුරවැසියෙක්ම බලගැන්වීම

අධ්‍යාපනය, සෞඛ්‍ය සහ කාන්තාවන්, දරුවන් පිළිබඳව ප්‍රතිපත්ති මේ ඔස්සේ විස්තර කොට ඇති අතර ක්‍රීඩාව සහ ආදිවාසී ප්‍රජාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කොට තිබේ. සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන් පිළිබඳවත් මෙහිදී පැහැදිලි කර ඇත.

03. රාජ්‍ය සේවය නංවාලීම

ඩිජිටල්කරණය, සැලසුම්කරණය, සහ ඒ හරහා රාජ්‍ය සේවය බලගැන්වීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත. ඊට අමතරව පාස්පෝට් පෝලිම් නිමා කිරීම පිළිබඳව ද විශේෂ සටහනක් අන්තර්ගතය.

04. ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම

මාධ්‍ය, ආගම්, නිවාස සහ පොදු පහසුකම් පිළිබඳව සිය ප්‍රතිපත්ති සහ විශ්‍රාමිකයන්, වතු ප්‍රජාව සහ රණවිරුවන් පිළිබඳව ප්‍රතිපත්තීන් ද මෙහි අන්තර්ගතය.

05. රාජ්‍ය ආරක්ෂාව

විදේශ සබඳතා, නීතිය, සාමය සහ දූෂණ විරෝධී ප්‍රතිපත්ති පිළිබඳව මෙහිදී සාකච්ඡා කොට ඇත. පරිසර ආරක්ෂණය සහ මත් උවදුර මැඩලීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබේ.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයන් ත්‍රිත්වයට අමතරව තවත් අපේක්ෂකයන් කිහිප දෙනකු සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීම සිදු කර තිබේ. ඉදිරි සතිය තුළ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ ද සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත. මෙම සියලු ප්‍රතිපත්ති ප්‍රකාශන සලකා බලා තීරණයක් ගැනීමට මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයන්ට අවකාශය උදා වේ.

සමස්තයක් ලෙස සෑම ප්‍රතිපත්ති ප්‍රකාශයක්ම ආකර්ශනීය දැක්මක් සහිත බව සඳහන් කළ යුතුය. එහෙත් එදා මෙදා තුර ඉතිහාසයේ අත්දැකීම් අනුව මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන යථාර්ථයක් බවට පත් කිරීමට අපේක්ෂකයන් සතු ශක්‍යතාවය ගැටලු සහගතය. ප්‍රතිපත්ති සුන්දර වූ පමණින්ම තෝරා ගැනීම සිදු කිරීමට හදිසි නොවිය යුතු බව අපි අත්දැකීමෙන්ම දනිමු. ප්‍රතිපත්ති සහ එය ක්‍රියාවට නැංවීමේ හැකියාව අදාළ පුද්ගලයන් සතු දැයි මැන බලා අවසන් තීරණයට එළැඹිය යුතුව තිබේ.

චමිඳු නිසල් ද සිල්වා

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:04