2024 ජුලි 27 වන සෙනසුරාදා

දලයි ලාමාතුමාගේ විශ්ව කරුණාවේ මෙහෙවර

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:04 75

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වචනයේ උත්තරීතර අර්ථයෙන්ම දලයි ලාමාතුමා ශුද්ධෝත්තමයෙකි. විවාදයක් නැත. තර්කයක් නැත. සුගන්ධවත් කුසුමක් සේ තම හද මඬලේ නිදන්ගත අපිරිමිත කරුණා ධාරාවේ මහිමය විශ්වයටම මුදාහල, ඒ කරුණා මහිමයෙන් විශ්වවාසී මනුෂ්‍ය හදවත් සුවපත් කරන උන්වහන්සේ විශ්වීය ආදරයේත් විශ්වීය කරුණාවේත් ස්වර්ණවත් මුද්‍රාවක් සේ නිර්වචනය කිරීම නිසැකයෙන්ම සාධාරණය.

සතුට යනු ඉබේ සිදුවන දෙයක් නොවේ
එය පැමිණෙන්නේ ඔබේම ක්‍රියාවන්ගෙනි.

මගේ ආගම සරලය

මගේ ආගම කරුණාවයි

අප අප තුළින්ම සාමය ඇතිකර ගන්නා තුරු අපට කිසිවිටෙකත් බාහිර ලෝකයෙන් සාමය ලබාගත නොහැක.

ඔබට ඔබ කෙරෙහි කරුණාවක් නැත්නම් අන් අය කෙරෙහි කරුණාව දැක්වීමට ඔබට හැකියාවක් නැත.

ඔබට අන් අය සතුටින් සිටීමට අවශ්‍ය නම් මෛත්‍රී කරන්න. ඔබට සතුටින් සිටීමට අවශ්‍ය නම් මෛත්‍රී කරන්න.

1935 ජූලි 6 වැනිදා පින්සාර ජන්මලාභියකු ලෙස මෙලොවට සපැමිණි උන්වහන්සේ 14 වැනි දලයි ලාමාතුමා ලෙස ආදරයත් කරුණාවත් විශ්වාසයත් විශ්වය සරා විහිදුවනු වස් දෙවුර දරාගත් අපිරිමිත මානුෂිය වගකීම් සමුදාය, උත්තරීතර මෙහෙවර ඉටුකරන අතරතුර දේශිත මෙවැනි ධනාත්මක සහ දර්ශනවේදී වැකි දෙසුම් අපමණය.

බුදු දහම විශ්වයේ අහුමුළු නෑර මානව ප්‍රජාව වෙනුවෙන් රැගෙන යන්නට වචනයෙන් මෙතෙකැයි නිර්වචනය කළ නොහැකි අමිල මෙහෙවරක් අකලංක හදවතින් ඉටු කළ සහ ඉටු කරන දලයි ලාමාතුමා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ අවිහිංසාවාදී ගමන් මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් ටිබෙට් දේශයට නිදහස ලබාදීම උදෙසා දැරූ ගෞරවපූර්වතම මෙහෙවරට ලද ඇගයීමක් වශයෙනි. 

වරක් BBC ප්‍රවෘත්ති සේවයේ මාධ්‍යවේදිනියක් උන්වහන්සේ සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ භෞතික වටිනාකම්වලට වඩා, ද්‍රව්‍යමය වටිනාකම්වලට වඩා ආධ්‍යාත්මික වටිනාකම්, මානුෂිය වටිනාකම්, වටිනාකමින් වඩා වැඩි බවයි. උන්වහන්සේගේ නිරෝගිමත්භාවය සහ දීර්ඝායුෂ විඳීමේ රහස පිළිබඳව විමසූ විට දිගුකාලීන ජීවත්වීමේ රහසට හේතුව වශයෙන් උන්වහන්සේ ප්‍රකාශ කර සිටින්නේ සාමකාමී මනස තමා භුක්ති විඳින නිරෝගිමත්භාවයේ සහ දීර්ඝායුෂ විඳීමේ රහස බවයි.

ඉකුත් ජූලි 6 වැනිදා 89 වැනි ජන්ම දිනය විශ්වවාසී සුවහසක් දලයි ලාමා බැතිමතුන්ගේ ආශීර්වාදයෙන් සැමරූ උන්වහන්සේ පිළිබඳව මෙවැනි පූර්විකාවක් තැබුවේ පාලි හා සංස්කෘත හුවමාරු මධ්‍යස්ථානයේ උන්වහන්සේගේ ගුණ සිහිපත් කරමින් උන්වහන්සේට ආශිර්වාද එක් කරමින් පැවති විශ්ව කරුණාවේ දිනයේදී අතිපූජ්‍ය ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමියන් විසින් සිදු කළ දේශනාවේ වදන් වියමනකට අවකාශ තබමිනි.

මහනායක වස්කඩුවේ මහින්දවංශ හිමියන් දේශනා කළ පරිදි මේ වනවිට විශ්වගත යුග පුරුෂයෙක් මේ ලෝකයේ බිහි වී සිටියි. එම යුග පුරුෂයා වනාහි ශුද්ධෝත්තම දලයි ලාමාතුමාය. දලයි ලාමාතුමාට ශුද්ධෝත්තම යන වචනය භාවිත කිරීම සැබැවින්ම අගය කළ යුතු ප්‍රශංසනීය කාරණාවකි. සැබැවින්ම උන්වහන්සේට ශුද්ධෝත්තම යන වචනය භාවිත කිරීමම අප ලද භාග්‍යයකි. මක් නිසාද යත් උන්වහන්සේ තරම් ශුද්ධෝත්තම වචනය උදෙසා යෝග්‍යතා සපුරා ඇති තවත් අය අද සිටීදැයි සිතෙන තරමට දලයි ලාමා මුනිවර ගුණයෙන් සංයුක්ත ශුද්ධෝත්තමයාණන් වහන්සේ නමක් වන බැවිනි.

දලයි ලාමාතුමා ජීවන පුස්තකයේ 89 වැනි පරිච්ඡේදය ලියමින් සිටියද උන්වහන්සේ තරුණය. සැබැවින්ම ආශ්චර්යමත් ලෙස උන්වහන්සේ හැමදාමත් තරුණය. සිතුවිලි තරුණ නම්, මනස නිරෝගිමත්භාවයේ උපරිමය භුක්ති විඳී නම් මිනිසුන් හැමදාමත් තාරුණ්‍යය භුක්ති විඳින වගට, තරුණයෙක් මෙන් සක්‍රියව ක්‍රියාශීලීව වැඩ කරන වගට දලයි ලාමාතුමා මනා වූ සංනිදර්ශනයක් වැනිය.

තවද සැබැවින්ම දලයි ලාමාතුමා යනු විශ්වීය කරුණාවේ අප්‍රමාණ සලකුණකි. කරුණාව අප නිර්වචනය කරගන්නේ කෙසේද? අන් අයගේ දුකේදී හදවතේ කම්පනයක් ඇතිවෙයි නම් කරුණාව යනු එයයි. දලයි ලාමාතුමාගේ හදවතේ නිදන්ගත විසල් කරුණාව සමස්ත ලෝකයා කෙරෙහිම විහිද ගිය ජාති ආගම් කුල පන්ති භේදයන්ගෙන් වියුක්ත නිර්මල කරුණාවකි. තුවක්කුවෙන් අරගලයෙන් කිසිදා සෙවිය නොහැකි විමුක්තියක් සෙවීමට පැමිණි ආක්‍රමණිකයන් එක් යුගයක ටිබෙට් දේශයේ විශාල ආක්‍රමණයක් ඇති කරද්දී අදටත් පිළිම වහන්සේලා කඩා දමා වෙහෙර විහාර විනාශ කරද්දී එම ආක්‍රමණිකයන් දෙස ද කරුණාවෙන් සහ දයාවෙන් බරිතව බැලූ දලයි ලාමාතුමා කල්පනා කළේ කුමක්ද? “මට අවශ්‍ය සටන් කිරීමට නෙවෙයි, මට අවශ්‍ය මිනිස් ඝාතනයන් නවත්වන්නට” යන්නය.

භූමියක් අත්පත් කර ගැනීමේ, අල්ලා ගැනීමේ දැඩි ආශාවෙන් මම මෙතැන තවදුරටත් රැඳී සිටියොත් දස දහස් ගණන්, ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා” එදවස එලෙස පැවසූ ශුද්ධෝත්තම දලයි ලාමාතුමා භෞතිකත්වයට නොව ආධ්‍යාත්මිකත්වයට තවදුරටත් පෙම් බඳිමින් තවදුරටත් ආධ්‍යාත්මික විමුක්තියම ප්‍රාර්ථනා කරමින් සියල්ල අත්හරිමින් හිමාලය ඔස්සේ ඉන්දියාවට සපැමිණියහ. භාරත දේශයට පැමිණි උන්වහන්සේ ගෞරවපූර්ව භක්ත්‍යාදරයෙන් පිළිගත් ජවහල්ලාල් නේරුතුමා ඔබවහන්සේ මෙන්න මෙතැන වැඩ ඉන්න යැයි උන්වහන්සේට භාරත දේශයේ නවාතැන් ප්‍රදානය කළහ.

විශ්වවාසී සැදැහැවත් සුවහසක් මිනිසුන්ගේ හදවත් සෙනසුන් මත නිර්මල වෙසින් වැඩ හිඳිනා සුගන්ධවත් කුසුමක් වන් වූ ශුද්ධෝත්තම දලයි ලාමා උතුමාණෙනි... ශුද්ධෝත්තමයාණෙනි, ජීවන පුස්තකයේ තවත් බොහෝ පරිච්ඡේද ලියනු වස් ඔබවහන්සේට ශක්තිය, විශ්වාසය, ආදරය සහ දීර්ඝායුෂ ලැබේවා යන්න අප ප්‍රාර්ථනයයි.

• සංජීවිකා සමරතුංග