අනුන්ගේ ප්‍රශ්නයක් තම පිට වැටුණු අවස්ථාවල ගැමියන්ගේ මුවින් පිටවන්නේ “මාර මරාලයක් තමයි මට පාත්වුණේ” කියාය. යටත්විජිත යුගයේ මරාල බද්ද නමින් බද්දක් පැවති අතර එය යමකු මියගිය පසු ජීවත්ව සිටි කාලයේ පරිහරණය කළ දේපල සහ ඉතුරුම් වෙනුවෙන් ප්‍රතිශතයක් ලෙස බද්දක් අය කරගෙන තිබේ. එයට අමතරව තම අසල්වැසියා ජීවිත හානියක් කරගතහොත් මියගිය පුද්ගලයා පිළිබඳ සොයා නොබැලීමේ සහ ආරක්ෂා නොකිරීමේ වරද වෙනුවෙන් අසල්වැසියාට බද්දක් නියම කර දඩ මුදලක් රජය අය කරගෙන ඇත. එය මරාල බද්ද ලෙසින් හඳුන්වා තිබේ. අපේ පැරුන්නන් “මරාලයක් පාත් වුණා” යැයි පැවසූයේ මෙවැනි ආකාරයේ අනුන්ගේ ප්‍රශ්නයකට තමන්ට වන්දි ගෙවීමට සිදුවුණු අවස්ථාවලදීය. මෙය පසුකාලීනව ධන බද්ද ලෙසින්ද හැඳින්වීය.
මේ අලකලංචි අස්සේ මරාල බද්දක් මතක් වූයේ මන්දැයි යමකුට ප්‍රශ්නයක් මතුවීමට ඉඩ ඇති වුවද එය එසේ වූයේ මෙරට විශේෂිත පුරවැසියකුගේ ප්‍රකාශයක් නිසාවෙනි. නුදුරු අනාගතයේදී භාණ්ඩ හා සේවා බදු තවදුරටත් ඉහළ නොදැමුවද මරාල බද්දක් අය කිරීමට සිදුවීමට ඉඩ ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. ජනාධිපතිවරයා මෙසේ පැවසූයේ පසුගියදා මාතර කොටුවේ පැවති “එක්ව ජයගමු - අපි මාතර” ජන හමුවේදීය. මෙය කන වැකුණු පසු මරාල බද්ද කියන්නේ මොකක්දැයි සැක හැර දැනගන්නට සිතුවෙමි.
මේ ගැන අතීතය සොයා යද්දී බදු පිළිබඳ පැරුණිතම ලේඛනගත සාක්ෂිය හමුවන්නේ “මනුස්මෘතිය” නමැති සංස්කෘත ග්‍රන්ථයෙනි. කූඩැල්ලා, වස්සා, මී මැස්සා ටිකෙන් ටික තම ආහාරය උරාගන්නාක් මෙන් රජුද තම විජිතයෙන් සාධාරණ ලෙස වාර්ෂික බදු අය කළ යුතු බව මනුස්මෘතියෙහි සඳහන් වෙයි. මේ බව සවිස්තරාත්මකව දැක්වෙන්නේ පී. චන්ද්‍රරත්න මහතා විසින් රචනා කරනු ලැබූ “ශ්‍රී ලංකාවේ බදු පුරාණය” නමැති කෘතියේය.
මියගිය යන අදහස දෙන මෘත යන වදනින් බිඳුණු මරාල බද්ද පිළිබඳ සේනා සම්මත වික්‍රමබාහු රජුගේ ආඥාවක් පිළිබඳ ගඩලාදෙණිය සෙල්ලිපියේ දැක්වෙයි. මේ සම්බන්ධයෙන්ද පී. චන්ද්‍රරත්න මහතා ශ්‍රී ලංකාවේ බදු පුරාණය කෘතියේ මෙසේ සඳහන් කරයි.
“....... ඒ කාලයේදී මහනුවර රාජ්‍යය සම්පූර්ණයෙන් හෝ යටත් පිරිසෙන් ඉන් සෑහෙන කොටසක් වුණු ඇතැම් නම් කරන ලද පළාත්වල ජනයාට ජීවිත හානියක් නොපමුණුවන බව හා යුද්ධමය කටයුතුවලින් හෝ ඇත් දඩයමින් හෝ මියගිය අයගේ උරුමක්කාරයකු නැති අවස්ථාවක එකී අයගේ මරාලය ජරාජීර්ණව පවත්නා විහාර කටුකොහොල් හැරවීමට යොදන බවට දෙන පොරොන්දුවකි.”
ඒ වගේම මරාල බද්ද සම්බන්ධයෙන් ශිලා ලේඛන සංග්‍රහයේ දැක්වෙනුයේ ‘ගවපල්ලකු මියගිය විට එයින් හරකෙක්ද පැටියා සහිත එළදෙනක්ද මීහරකෙක් සහ මීදෙනක්ද වහාම ගෙවිය යුතුය. ඒ බද්දට මරාල යයි කියති’ යනුවෙනි.
කාලීන බදු පැනවීම් නිශ්චිත පාලන කාලවලට සීමා වී ඇති අතර එම පාලන කාලයෙන් පසු ඒවා අහෝසි වෙයි. රටේ පවතින ආර්ථික අහේනි මත කලින් කලට විශේෂ බදු පැනවීම් කෙරෙන අතර විවිධ හේතු මත ඒවා කාලීන වෙනස්කම්වලට හෝ අහෝසිවීම්වලට ලක්වෙයි. මරාල බද්දත් ඒ ගණයට අයත් අනියම් බදු ක්‍රමයකි.
රටවැසියන් කුමන හෝ බද්දක් ගෙවීම සතුටින් කළ බවට සාක්ෂි නැතත් මෙම මරාල බද්ද වඩාත් අප්‍රියජනක වී තිබූ බවට අතීත සාධක සාක්ෂි දරයි. හතරවැනි බුවනෙකබාහු රජු විසින් කරවන ලද දැදිගම ශිලා ලේඛනයට අනුව උඩරට කැරුල්ල පිළිබඳ තමාට එරෙහි වූ පිරිසෙන් අය කරගත් මරාල බද්ද යළිත් ආපසු අයිතිකරුවන්ට ලබාදෙන ලෙස නියෝග කර ඇති බව දැක්වෙයි. මේ සම්බන්ධයෙන් රුල්ෆ් පීරිස් සිය සිංහල සමාජ සංවිධානය කෘතියේ දක්වනුයේ මරණාසන්න පුද්ගලයන්ට මෙම බද්දේ බියජනක බව දැනී ඇති බවයි. දුක සේ උපයාගත් ගව සම්පත සහ ධාන්‍ය තමාගේ මරණයෙන් පසු යම් කොටසක් බදු ලෙස රජුට ලබාදීම යන සිතුවිල්ල හේතුවෙන් නිදහසේ මැරෙන්නටද බාධා වී ඇති බව ඔහු සඳහන් කරයි. පෘතුගීසීන් පැනවූ මෙම මරාල බද්දේ වක්‍රාකාර අරමුණක් වූයේ ක්‍රිස්තියානි ආගම පැතිරවීමය. මෙය ක්‍රිස්තියානි ආගමිකයන්ට එකල බල නොපෑ බවද කියැවේ. කෝට්ටේ රාජධානියෙහි සිටි පෘතුගීසීන්ගේ රෑකඩයක් බඳු වූ පසුවැනි බුවනෙකබාහු රජ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ දින දෙක තුනකින් තමන් මරුමුවට පත්වන බව දැනගත් බොහෝ දෙනකු ක්‍රිස්තියානි ආගම වැළඳගන්නේ මරාල බද්ද ගෙවීමෙන් නිදහස් වීමට බවයි. මෙය මරණාසන්න වූ අය පවා පරම්පරා ගාණක් තිස්සේ ස්වකීය උරුම ලබමින් ආගම අතහැර දැමීමට තරම් මරාල බද්ද පීඩාකාරී වී ඇත. පෘතුගීසීන් මෙම මරාල බද්ද අය කිරීමේදී විවිධාකාර කොන්දේසි ගණනාවක්ද සඳහන් කර ඇත. ඒ බව කෞටිල්‍ය විසින් රචිත අර්ථ ශාස්ත්‍රය නමැති ග්‍රන්ථයෙහි සඳහන් වන ආකාරයට යමකු මියගිය පසු මරණයේ අවසන් කටයුතුවලට වැය වන මුදල් හැර ඉතිරි මුදලද, වැන්දඹු නඩත්තුවට කොටසද වෙන් කළ පසු ඉතිරි කොටස ද රජුට අයත් වන බවයි.
අපේ රටට පෘතුගීසීන්ගෙන් පැවත ආ මරාල බද්ද වෙනුවට නව ධන බද්ද විධිමත්ව හඳුන්වා දී ඇති බව සැලකෙනුයේ විදෙස් ආර්ථික විශ්ලේෂකයකු වන මහාචාර්ය නිකොලස් කැලිඩෝර් විසිනි. ඒ පනහේ දශකයේ අග භාගයේ පමණය.
කොල්බෲක් ප්‍රතිසංස්කරණය මගින් බ්‍රිතාන්‍ය පාලකයන් මෙරට ජනතාවට පීඩාකාරීම බදු ක්‍රමයක් පැනවූ බව ඉතිහාසය සාක්ෂි දරයි. ඇඟ බද්ද ඒ අතරින් ප්‍රධානය. පිරිමි දරුවන් වැඩිහිටියන් බවට පත්වූ පසු මෙම ඇඟ බද්ද ගෙවිය යුතු බවට නියම කර තිබූ අතර වාර්ෂික රුපියල් 2 ක බද්දක් එකල අය කෙරිණි. මෙය ගෙවීමට අපහසු වූ සැමදෙනා දිනක් මහා මාර්ගයේ ප්‍රසිද්ධියේ කළුගල් කැඩීමට යෙදවීය. මෙම බද්ද නොගෙවා එයට විරෝධය පාමින් කම්කරු නායක ඒ.ඊ ගුණසිංහයෝද මහා මාර්ගයේ කළුගල් කැඩූහ. එකල පාලනයට විරෝධය දක්වමින් විරෝධතා රුල්ලක් බවට පත්වූ බොහෝ දෙනා ඇඟ බද්ද නොගෙවා පාරේ කළුගල් කැඩූහ. ඇඟ බද්ද නොගෙවා ගල් කැඩූ පිරිස දිනෙන් දින දස දහස් ගණනින් වැඩිවීමත් සමඟ ඉංග්‍රීසි පාලකයෝ මෙම ඇඟ බද්ද ඉවත් කළහ. 1848 මාතලේ කැරුල්ලට අඩිතාලම සැකසුණේද එකල ආණ්ඩුව ගැසූ පීඩාකාරී ඇඟ බද්දය.
ඉතිහාසය එසේ වෙද්දී මේ අල්ල පනල්ලේ මරාල බද්දක් ක්‍රියාත්මක වීමට නියමිත බව දන්වා තිබේ. අනෙකුත් බදුවලට අමතරව දේශීය ආදායම් බදු පනත යටතේ 123(8) වගන්තියට අනුව මෙම නව බද්ද පැනවෙන බව කියයි. මෙය ධනවතුන්ට පමණක් අයත් බවත් සාමාන්‍ය ජනතාවට මෙය අදාළ නොවන බවත් ජනාධිපතිවරයා පවසා ඇත. කෙසේ වෙතත් ළඟ එන බව කියන මරාල බද්ද ජනතාවට තවත් මරාලයක් නොවේවායි අපි පතමු.
• සසංක චලන ගිම්හාන