බොහෝ අය පාර්ලිමේන්තු යන්නට හීන දකින්නේ මහජන සේවයට වඩා ඒ හරහා ලැබෙන වරදාන වරප්‍රසාද හේතුවෙනි. "අපි ජනතාව වෙනුවෙන්" කියන්නෝ බොහොමයක් ජනතාවට හොරා, කොකා පෙන්වමින් සැපවත් ජීවිත ගත කරමින් සිටිති. මහජන ඡන්දයෙන් බලය ගන්නා දේශපාලනඥයෝ ජනතාවට බර දී සුඛිත මුදිත ජීවිත ගෙවා දමති. ඒ ජනතාවට නැති ඔවුන්ට පමණක් හිමි ප්‍රභූ වරදාන වරප්‍රසාද හේතුවෙනි. කපාගෙන කොටාගෙන පාර්ලිමේන්තු යන්නට බොහෝ දෙනා හීන දකින්නේ එකී අරමුණ වෙනුවෙනි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරය බාරගැනීමත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන්ට බොහෝ වරදාන වරප්‍රසාද අහිමි වී ගියේ ඉතිහාසයේ ප්‍රථම වරටය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබුණු විමධ්‍යගත අරමුදල පමණක් නොව අතිවිශාල කෝටාවක් වන තීරු බදු රහිත මෝටර් රථ බලපත්‍රය ද අහිමි විය. මෙය මන්ත්‍රීවරුන්ට හොඳටම දැනුණු අවස්ථාවක් විය. එහෙත් එය ඉල්ලා සටන් කළ නොහැකි විය. ඒ මොහොත වන විටත් ආර්ථිකය සම්පූර්ණයෙන් හාන්සි වී තිබුණු බැවිනි.
අරගලයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගියේය. රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපතිවරයා විය. ඒ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ සහාය ඇතිවය. රටේ ආර්ථිකය යම් තරමකට එසවමින් තිබෙන විට මන්ත්‍රීවරුන් නැවතත් තමන්ගේ යෝජනාව ඉදිරිපත් කර තිබේ. ඒ තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාගැනීමටය. එහෙත් එය දීමට හැකියාවක් නොමැත. ඒ ආණ්ඩුව විසින් වාහන ආනයනය සම්පූර්ණයෙන් නවතා දමා ඇති බැවිනි. එහෙත් මන්ත්‍රීවරුන් සටන අතහැරියේ නැත. අවස්ථාව එන තෙක් ඔවුහු බලා සිටියහ.
දැන් උදා වී ඇත්තේ එම අවස්ථාවය. ඉදිරියේ දී එන ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවට ඉඟි කර තිබේ. ඊට සහාය දීමට නම් මන්ත්‍රීවරු තමාට අහිමි වූ තීරු බදු රහිත වාහන ඉල්ලමින් සිටිති. පසුගියදා මන්ත්‍රීවරුන් 116 දෙනෙක් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එම යෝජනාව අත්සන් සහිතව කතානායකවරයාට ලබා දුන්හ. ඒ කතානායකවරයා හරහා ජනාධිපතිවරයා වෙත යොමු කිරීමටය.
මේ වනවිට ලැබෙන ආරංචි අනුව ඇතැම්විට මැතිවරණ අරමුණු සඳහාම නැවතත් වාහන ආනයනයට ජනතාවට අවස්ථාව හිමිවනු ඇත. ඒ කෙටි කලකට පමණි. එම කෙටි කාලය තුළ මෙම තීරු බදු රහිත වාහන බලපත්‍ර මන්ත්‍රීවරුන්ට ලැබෙනු ඇත. ඒ ඉදිරියේ එන මැතිවරණයට පොඩි තල්ලුවක් ගැනීමේ අරමුණිනි.
ඉතා අමාරුවෙන් නැගිටිමින් සිටින ආර්ථිකයට වඩා මන්ත්‍රීවරුන්ගේ සැප පහසුව ඉතා වැදගත් වී ඇති බව කිව යුතුය. ජනතාවට කන්න නැතත් මන්ත්‍රීවරුන් සැප පහසුවට සිටිය යුතුය. එවිට දුක් විඳින ජනතාව බලන්නට ඔවුන්ට සැප පහසුවටම යා හැක. ඒ නිසා "අපට නැතත් එයාලා සතුටෙන් නම් ඒ ඇති" යැයි කීම හැර වෙන දෙයක් නැත. ඒ මෙම යෝජනාව කෙක්කෙන් හෝ කොක්කෙන් කොයි මොහොතක හෝ ඉටුවන බැවිනි.
• ගයාන් ගාල්ලගේ