2024 ජුනි 08 වන සෙනසුරාදා

එලෝන් මස්ක් ඇමෙරිකානු ජනාධිපති උපදේශක තනතුරකට

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 44

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිතර පුවත් මවන්නෙකි. වෝල් ස්ට්‍රීව් පුවත්පත පසුගියදා හෙළි කරන ලද පරිදි ලබන නොවැම්බර් පස්වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කර ජනාධිපති ධුරයට පත්වුවහොත් ලෝක ප්‍රකට නවෝත්පාදකයකු හා ප්‍රමුඛ ව්‍යවසායකයකු වන එලොන් මස්ක් ඔහුගේ උපදේශක වශයෙන් පත්කෙරෙනු ඇත. මෙම තොරතුර ජාත්‍යන්තරයේ විශේෂ අවධානයට ලක්ව ඇත. ඉලොන් මස්ක්ගේ පසුබිම අනුව ඔහු සමඟ අලුත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඇතැම් ලෝක නායකයන් මහත් උත්සුක වන බවද ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන කරුණකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධයකට වැරදිකරුවකු බවට පත් හිටපු හෝ ඉදිරියේ දී ඡන්දයට ඉදිරිපත් වන ඇමෙරිකානු ජනාධිපතිවරණයේ අනුමාන අපේක්ෂකයකු බව දැනට ප්‍රකාශ වේ. ට්‍රම්ප් වසර මුලදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය අත්පත් කරගත් අතර ඔහු වරදකරු කරන ලද ව්‍යාපාරික වාර්තා වැරදි ලෙස සකස් කළ බවට වන චෝදනා තිස්හතර ඔප්පු වුවහොත් විශාල දඩයක් හා සිරදඬුවම් නියම විය හැකිය. බන්ධනාගාරයේ සිට හෝ ජනාධිපතිවරණයට තරග කරන බව ඔහුගේ අනුගාමිකයෝ අවධාරණය කරමින් සිටිති. එවැනි පසුබිමක් ඉදිරියේ එලෝන් මස්ක් සාධකය පුළුල් සාකච්ඡාවකට පත්ව තිබේ.

හැත්තෑ එකේ කැරුල්ලට පසු ලෝකය දැකගැනීම

එලෝන් මස්ක් 1971 ජූනි විසි අටවැනිදා දකුණු අප්‍රිකාවේ ප්‍රිට්‍රෝරියාවේ උපත ලැබීය. එය දකුණු අප්‍රිකාවේ පරිපාලන නගරය වන අතර ප්‍රධාන විශ්වවිද්‍යාල ගණනාවක් එහි පිහිටා තිබේ. කැනඩාවේ සම්භවයක් සහිත මව නිරෑපිකාවකි. ඔහුගේ පියා විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරුවකු වන අතර ව්‍යවසායක පසුබිමක් සහිතය. ගුවන් නියමුවකු, නාවිකයකු හා දේපල සංවර්ධකයකු වශයෙන් ද ක්‍රියා කර ඇත. එලෝන්ට බාල සහෝදරයකු හා සහෝදරියක සිටින අතර රසදිය නිෂ්පාදනයට ද යොමුව තිබුණු එලොන්ගේ පවුල ධනවත් බව සඳහන් කළ යුතුය. කෙසේ වෙතත් එලෝන්ගේ දෙමාපියෝ ඔහු බාලවියේ දී නීත්‍යානුකූලව විවාහයෙන් වෙන්වූහ. එලෝන් සිය පියා සමඟ ජීවත් වීමට තීරණය කර තිබේ. පසුව නැවත විවාහ වූ පියා ඔවුන්ගේ අලුත් පවුලට තවත් දරුවන් හතර දෙනකු එකතු කරගෙන ඇත. එලෝන්ගේ බාලවිය එතරම් මිහිරි නැති බව ඇතැම් ලියකියැවිලි දක්වයි.

එලෝන් බාල වියේදී කියවන්නට අතිශය කැමැත්තක් දක්වා තිබේ. පරිගණක ක්‍රීඩාවලට ද ඇබ්බැහි වී සිටියෙකි. ඔහු නිර්මාණය කළ ක්‍රීඩාවක් වයස අවුරුදු දොළහේ දී සඟරාවකට අලෙවි කර ආදායමක් උපයාගෙන ඇති බවද ජීව දත්ත සටහන්වල සඳහන්ව ඇත. බාලවියේ සිට ව්‍යාපාරික අදහස්වල සිටි හෙතෙම වයස දහ අටේදී කැනඩාවටත් පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆිඩෙල්පියාවට පැමිණ එහි පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයටත් ඇතුළත් විය. එහිදී භෞතික විද්‍යාව හා ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධි ලබාගෙන තිබේ. අතිරේක ආදායමක් උපයා ගැනීම සඳහා අතිරේක පන්තිවල උගන්වා ඇති හෙතෙම අන්තර්ජාල ව්‍යාපෘතියකට ද සම්බන්ධ වී සිටියේය. 

සහෝදරයන්ගේ සමාගමෙන් ඉවත් වන තීරණ

පියාගෙන් ලබාගත් මුදලක් ආයෝජනය කර සිය බාල සහෝදරයා සහ තවත් අයකු සමඟ එක්ව කුඩා ව්‍යාපාරික සමාගමක් ආරම්භ කරන එලෝන් මස්ක් පසුව කොටස් විකුණා එයින් ඉවත් වී තිබේ. ඇමෙරිකාවට පැමිණ අවුරුදු දහයක් ගතවන්නටත් කලින් ඇමෙරිකානු මහ බැංකුව පිළිගත් අන්තර්ජාල මුදල් ගෙවීම් හා ලබාගැනීම් ආයතනයක් අරඹන හෙතෙම ඉතාම කෙටි කාලයක් ඇතුළත ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය දෙලක්ෂයේ සීමාව ඉක්මවන්නට සමත් විය.
එක්ස් කොම් නමැති සමාගම පසුව පේ පැල් සමාගම සමඟ සම්බන්ධ වී අන්තර්ජාල මුදල් හුවමාරුවට ප්‍රවේශ වී තිබේ. මෙහිදී එලෝන් දියුණු වන තොරතුරු තාක්ෂණයේ ප්‍රතිභාව ගැනත්, ඔහුගේ ව්‍යාපාර ඥානය ගැනත් මහත් විශ්වාසයක් තබා සිය හවුල්කරුවන් සමඟ කටයුතු කර ඇති බව දැක්වේ.

ඇමෙරිකාව අභ්‍යවකාශ තරණ අවස්ථා පෞද්ගලික අංශයට ද ඉඩ දෙන අතර ස්පේස් එක්ස් නමින් සමාගමක් පිහිටුවන එලෝන් මස්ක් ජාත්‍යන්තරයේ කතාබහට ලක්වන තැනකට ප්‍රවේශ වේ. පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ තරණ ව්‍යාපෘතියක් අරඹන ඔහු එය ස්පේස් එක්ස් වශයෙන් නම් කළේය. ව්‍යවසායකයකු වශයෙන් රුසියාවට යන හෙතෙම අභ්‍යවකාශ තරණය සම්බන්ධ ඒකාබද්ධ ව්‍යාපෘතියකට වෑයම් කරන අතර එය අසාර්ථක වීමෙන් පසු නැවත කැලිෆෝනියාවේ දී අභ්‍යවකාශ යානා නිපදවන, සේවා සපයන හා අනාගතයේ දී වාණිජ අභ්‍යවකාශ ප්‍රවාහන සේවා අරඹන අදහස ඇතිව ක්‍රියාත්මක වේ. අභ්‍යවකාශ ප්‍රවාහන වියදම අඩු කරන අතර චන්ද්‍රිකා කක්ෂගත කර එයින් ලාබ ඉපැයීම ද එවකට අරමුණු කරගෙන සිටියේය. ස්ටාර්ලින්ක් නමින් පිහිටුවන සේවා අනුබද්ධ ආයතනය වසර 2000 වන විට ලෝකයේ විශාලතම චන්ද්‍රිකා ප්‍රමාණය අයත් සමාගම වූ අතර 2024 නිල තොරතුරු අනුව කක්ෂගත කුඩා චන්ද්‍රිකා හය දහසක් පාලනය කරන තැනක පසුවිය. කක්ෂගත කරන අභ්‍යවකාශ යානා නැවත නැවත භාවිත කිරීම එලෝන් මස්ක්ගේ අදහස විය. සාර්ථකව තුන්සිය වැනි වතාවටත් යානා නැවත ප්‍රයෝජනයට ගැනීමට සමත් වීම ඔහුගේ කණ්ඩායමේ සාර්ථකත්වය වී තිබේ. නාසා ආයතනය ඇතුළු ලෝකයේ ප්‍රධාන අභ්‍යවකාශ සමාගම්වලට හෙතෙම මෙම ව්‍යාපාරික අවස්ථාව සම්පාදනය කර කීර්තියක් අත්පත් කරගෙන ඇත.

පරිසර හිතකාමී වාහන නිෂ්පාදනයේ වාර්තා 

අභ්‍යවකාශ තරණය ගැන එලෝන් වඩාත් ප්‍රසිද්ධ නමුත් විදුලිය බලයෙන් ධාවනය වන සුපිරි වාහන නිපදවන ටෙස්ලා ඔහුගේ භූමිකාවේ තවත් පැත්තකි. ඔහු එම සමාගමේ සම අයිතිකරු වේ. 2003 දී පිහිටුවන ලද සමාගම පරිසර හිතකාමී වාහන වශයෙන් ඉන්ධන රහිත විදුලියෙන් ධාවනය කරන වාහන නිෂ්පාදනය අරඹන ලද අතර අද වන විට ලෝකය පුරා ටෙස්ලා වාහන මිලියන හතරක් පමණ ධාවනය වේ. එයින් අඩක් ඇමෙරිකාවේ බව අන්තර්ජාල වාර්තා දක්වයි. පේ පැල් යන අන්තර්ජාල ගෙවීම් දොරටුව හා සිප් 2 යන සිතියම් මගින් පාරිභෝගිකයන් දැනුම්වත් කිරීමේ ලෝකයේ පළමු සමාගම ද එලෝන්ගේ ව්‍යාපාරික අදහස් අතර විය.

ට්විටර් ආයතනය 2022 වසරේ දී මිල දී ගත් පසු ඔහු එය එක්ස් යනුවෙන් නම් කළ අතර අද්විතීය අදහසක් වශයෙන් මිනිස් මොළයට සවි කළ හැකි මෘදුකාංගයක් ගැන පර් යේෂණ පවත්වයි. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ සොයාගැනීම්වලට ආයෝජනය කරන මස්ක් චැට්ජීබී නමැති අවශ්‍ය අයවලුන්ට ලියකියැවිලි රචනා කරන කෘත්‍රිම සේවාවකට ද මුදල් යෙදවීය. ඩිජිටල් මුදල් භාවිතයේ මුලපුරා ඇති හෙතෙම තොරතුරු තාක්ෂණ අංශයේ සමාගම් විශාල ප්‍රමාණයක ආයෝජනය කර ඇති පුද්ගලයෙකි.

බදු උහුලාගත නොහැකිව පදිංචිය වෙනසකට

බ්ලූම්බර්ග් වාර්තා අනුව ඉකුත් මාර්තු පළමුවැනිදා වන විට එලෝන් මස්ක් ඇමෙරිකානු ඩොලර් බිලියන 251 ක පොහොසතෙකි. වැඩිම ධනයක් හිමි පුද්ගලයා වන හෙතෙම තෙවරක් විවාහ වූ තම දරුවන් පමණක් නොව හදාගන්නා දරුවන් ද නඩත්තු කරන්නෙකි. ඔහුගේ නමින් පදනමක් තිබෙන අතර එය තාක්ෂණය ඉගෙන ගන්නා දරුවන්ට සහ හදිසි විපත්වලට ගොදුරු වන පිරිසට සහන සැලසීම සඳහා වේ. 

එලෝන් මස්ක් සඳහන් කරන පරිදි ඔහු අඩක් ප්‍රජාතන්ත්‍රවාදියකු වන අතර අඩක් රිපබ්ලික්ය. ස්වාධීනත්වය ඉහළින් අගය කරයි. ආර්ථික සමුළුවලදී ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කළ ඔහු ජෝ බයිඩන් ජනාධිපතිවරයා ගැන කැමැත්තක් නැත. 

2002 දී ඇමෙරිකාවේ පුරවැසිභාවය ගත් එලෝන් දිගට කැලිෆෝනියාවේ පදිංචි වී සිටියේය. කෙසේ නමුත් ප්‍රාන්ත බදු ක්‍රමය විවේචනය කරන ලද හෙතෙම පසුව ස්ථිර වාසස්ථානය සඳහා ටෙක්සාස් ප්‍රාන්තය තෝරා ගත්තේය. ලෝකයේ ඉහළම ධනවතාට වුවද ගෙවන්නට පහසු, ඉහිලිය හැකි බදු පැනවීම යුක්ති සහගතය. ජනතාව මත බදු පටවන, ආණ්ඩු බදු ගැන එලෝන් මස්ක්ගේ අදහස ද අවබෝධ කරගත යුතු වේ. 

•   සාරා කන්දෙගොඩ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02