2024 ජුනි 08 වන සෙනසුරාදා

ඉදිරි අභියෝගවලට රාජගිරිය සූදානම්ද?

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

කොළඹ නගරයෙන් නගරයට ඇවිද එන ගමනේ මෙවර අපේ නැවතුම රාජගිරියයි. රාජගිරිය යනු ශ්‍රී ලංකාවේ අගනුවර වන ජයවර්ධනපුරයට අයත් කොටසකි. කොළඹට මායිම් වන තදාසන්න ප්‍රදේශ අතරින් රාජගිරිය  තරමක් විශාල ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය. වර්තමානයේ ශීඝ්‍රයෙන් දියුණු වන පුරවරයක් ලෙස ද රාජගිරිය හඳුන්වා දීම වරදක් නොවේ. කෙසේ වෙතත් කොළඹ අවට ඇති අනෙක් සෑම නගරයකට මෙන්ම රාජගිරියට ද අනන්‍ය ගැටලු රැසක් පවතින බවද සඳහන් කළ යුතුය.

රාජගිරිය නගරය පිළිබඳ සංවාදයේදී එහි ඉතිහාසය අපට මගහැර යා නොහැකිය. මෙම ප්‍රදේශයට රාජගිරිය යන නම ලැබීම පිළිබඳ පුරාවෘත්ත කිහිපයක්ම වේ. ආණ්ඩුකාරවරයාගේ නිවෙස පිහිටා තිබීම හේතුවෙන් රාජගිරිය යන නම මෙම ප්‍රදේශයට ලැබුණු බවට වූ කතාව තරමක් ප්‍රකටය. කෙසේ වෙතත් පසුව එම නිවෙස සහ භූමිය ආනන්ද කුමාරස්වාමි මහතා විසින් මිලදී ගෙන ඇත. ඇතැම් ඉතිහාසඥයන්ට අනුව කුමාරස්වාමිගේ මලයාලි සේවකයකු උයනේ විශාල මැංගුස් දැක ‘රාජ කිරියා’ (‘විශාල මැංගුස්’) යනුවෙන් කෑගැසූ බවත් ඒ අනුව පසුව මෙම ප්‍රදේශය හැඳින්වීමට රාජගිරිය යන නාමය භාවිතයට ආ බවත් කියැවේ.

එහෙත් තවත් පිරිසක් මෙම ප්‍රදේශයේ පුරාවත කෝට්ටේ රාජධානිය සමයට ගලපා ඇති අයුරු ද දැකගත හැකිය. ඒ අනුව රාජගිරිය ප්‍රදේශය කෝට්ටේ රාජධානියේ ආරක්ෂාව සැලකූ විට අතිශය වැදගත් ප්‍රදේශයක් වූ බව ඔවුහු සඳහන් කරති. රාජධානියේ ගෙල පෙදෙසට සම වූ නිසාවෙන් මෙම භූමියට මෙම නම ලැබුණු බව මෙම පිරිස විශ්වාස කරති. කෙසේ වෙතත් රාජගිරිය කෝට්ටේ රාජධානිය හා සම්බන්ධ ප්‍රදේශයක් වූ බවත් එම නිසාම මෙම නම ලැබුණු බවත් මෙම ප්‍රදේශයේ ජීවත් වූ පැරුන්ණන් විශ්වාස කරන බවට සාක්ෂි හමුවේ.

රාජගිරිය හා තදාසන්න ප්‍රදේශයේ නාගරීකරණය වීම සහ දියුණු වීම පිළිබඳව ඇති ඉතිහාස කතාවද අප විමසා බැලිය යුත්තකි. ඒ කතාවලට අනුව මෙම ප්‍රදේශය හරහා වැටී තිබුණු ප්‍රවාහනය සඳහා භාවිත කළ ඇළ මාර්ගය රාජගිරිය සහ තදාසන්න ප්‍රදේශ ජනාකීර්ණ වීමට ප්‍රධාන හේතුව වූ බව කියැවේ. තවද වැලිකඩ කේන්ද්‍ර කරගත් මිණිරන් පිරිසුදු කිරීමේ කර්මාන්තය රාජගිරිය ජනාකීර්ණ වීමට හේතු වූ බව ඇතැම් ඉතිහාස වාර්තා පෙන්වා දෙයි.

රාජගිරියේ වර්තමානය පිළිබඳ කතාබහ කරන විට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට රාජගිරිය පත්ව තිබේ. ඊට හේතු වී ඇත්තේ කොළඹ නගරය වේගයෙන් සංවර්ධනය වී රට අභ්‍යන්තර කරා පැතිර යෑමයි. රාජගිරිය ද දශක ගණනාවක සිට මෙම සංවර්ධන රුල්ලේ කොටසක් බවට පත් වූ බව නොරහසකි. 

එසේම බත්තරමුල්ල රටේ පරිපාලන කේන්ද්‍රය බවට පත්වීමත් කොළඹ සහ බත්තරමුල්ල යා කෙරෙන මාර්ග පද්ධතියේ කේන්ද්‍රය රාජගිරිය බවට පත්වීමත් මෙම ප්‍රදේශයේ සුවිශේෂීත්වය වර්ධනය කර ඇත. තවද රාජගිරිය කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර රුසකට ගමන් කරන මාර්ග පද්ධතියේ කේන්ද්‍රය බවට පත්වීමද වර්තමානයේ රාජගිරියේ වටිනාකම ඉහළ යාමට හේතු වී තිබේ.

ඊට අමතරව රාජගිරියේ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක් මෙම නගරයට ආභරණයක් වී ඇති බව සඳහන් කළ යුතුය. ඒ අතරින් අප පෙර සඳහන් කළ පැරුණි ආණ්ඩුකාර නිවෙස වන ඔබේසේකර වලව්ව සුවිශේෂී ස්ථානයකි. ඊට අමතරව රාජගිරිය කී සැණින් අප මතකයට නැගෙන්නේ සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවයි. තවත් රාජ්‍ය ආයතන රැසක් රාජගිරිය කේන්ද්‍ර කරගනිමින් පිහිටා තිබේ.

එසේ නමුත් රාජ්‍ය ආයතන අනන්‍යතාව පරයා යමින් බොහෝ පෞද්ගලික බැංකු සහ සමාගම්වල මූලස්ථාන රාජගිරිය වර්තමානයේ ආක්‍රමණය කරමින් සිටින බව පෙනී යයි.‍ ඒ වර්තමානයේ දැකගත හැකි නව ප්‍රවණතාවයකි. රාජගිරිය වෙත බොහෝ ව්‍යාපාරවල මූලස්ථාන රුගෙන යාමට කොළඹ ව්‍යාපාරිකයන් උනන්දුවක් දක්වන බව අප කළ නිරීක්ෂණවලට අනුව පැහැදිලි විය.

දශක කිහිපයකට ඉහත පැරුණි රාජගිරිය සහ තදාසන්න ප්‍රදේශය කොළඹ ග්‍රාමීය පරිසරයක ලකුණු පළ කළ බව සිහිපත් කළ යුතුය. එහෙත්වර්තමානයේ රාජගිරිය වේගයෙන් නවීන වර්ගයේ ගොඩනැගිලිවලින් පිරී යමින් පවතී. ඒ අනුව රාජගිරිය ව්‍යවසායකත්වයේ නගරයක් බවට පරිවර්තනය වීමේ ලකුණු පළ කරමින් සිටින බව පැහැදිලිය. කොළඹ නාගරික ප්‍රදේශයන්හි මධ්‍යගත නගරයක් ලෙස රාජගිරිය ගමන් කරමින් සිටින්නේ අලුත් යුගයක් කරාය.

මෑතකදී අපට නවීන මහල් නිවාස සංකීර්ණ කිහිපයක්ම රාජගිරිය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වූ අයුරු දැකගත හැකි විය. ඇතැම් මහල් නිවාස ප්‍රකෝටිපතියන්ට වඩාත් සුදුසු ලෙස නිර්මාණය වී තිබුණි. මෙම මහල් නිවාස හරහා කොළඹ නාගරික ව්‍යාපාරික පැලැන්තිය අනාගතයේදී රාජගිරිය කේන්ද්‍ර කර ගැනීම වළකාලිය නොහැකි තත්ත්වයකි. කොළඹ, බත්තරමුල්ල සහ ප්‍රධාන නගර බොහොමයකට රාජගිරිය කේන්ද්‍රය බවට පත්වීම ඊට හේතුවයි.

රාජගිරියේ මෑත කාලයේ නැගීම පිටුපස රාජගිරිය ගුවන් පාලම ද වන බව සඳහන් කළ යුතුය. කලකට පෙර මංතීරු පහ හයක් භාවිත කළ ද රාජගිරිය දැඩි මාර්ග තදබදයෙන් යුතු නගරයක් විය. මෙම රථවාහන තදබදයත් සමඟ රාජගිරිය හරහා ගමන් කරන ප්‍රධාන මාවතේ වේගය පැයට කිලෝමීටර් 2.5 – 3ක් පමණ වූ බව කියැවුණි. ඒ අනුව බත්තරමුල්ලේ සිට රාජගිරියට පැමිණීමට මෙම තදබදයත් සමඟ අවම වශයෙන් පැයක පමණ කාලයක් ගත වූයේය.

ගුවන් පාලමේ ඉදිකිරීමත් සමඟ මෙම තත්ත්වය සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. රාජගිරිය මාර්ග තදබදය අවම වී ඇත. එහෙත් එය මුළුමනින්ම සංසිඳුණු බව කීමට අපහසුය. මෙම ගුවන් පාලම නවීන තාක්ෂණය භාවිත කරමින් ඉදිවීමත්, ඉහතින් නූතන නගර සැලසුම්කරණයේ චමත්කාරයත් හේතුවෙන් රාජගිරිය නගරයට එක් වී ඇත්තේ අපූරු හැඩයකි.

රාජගිරිය ප්‍රධානව පද්ධතියේ සිදු වූ මෙම පරිවර්තනය අගය කළ යුතුය. එහෙත් රාජගිරිය සහ අවට ප්‍රදේශවල සෙසු මංමාවත්වල තත්ත්වය එතරම් යහපත් නොමැති බව මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ. මෑත කාලීනව සංවර්ධනය නොකළ මාවත් රැසක් රාජගිරිය සහ තදාසන්න ප්‍රදේශයේ දැකගත හැකිය. එසේම වර්ෂා ජලය හේතුවෙන් යට වී ජනතාව පීඩාවට පත්වන මාර්ග කිහිපයක්ද රාජගිරිය අවට ප්‍රදේශවල දැකගත හැකිය. මීට අමතරව රාජගිරිය සහ තදාසන්න ප්‍රදේශවල පවතින මත්ද්‍රව්‍ය සහ සමාජ ගැටලුව ද මෙම සංවාදයේදී අපට අමතක කළ නොහැකිය.

මෙවන් වටපිටාවක් තුළ නවීන ව්‍යවසායකත්වයේ නගරය බවට පරිවර්තනය වෙමින් ඇති රාජගිරිය සම්බන්ධව ගැටලු කිහිපයක් නිර්මාණය වෙයි. නූතන සංවර්ධනය සමඟ ඉදිරියට යාමට රාජගිරියේ යටිතල පහසුකම් ප්‍රමාණවත්ද? රාජගිරියේ නාගරික සංවර්ධනය පිළිබඳ සැලසුමක් බලධාරීන් සතුද? මෙම ප්‍රශ්න සඳහා පැහැදිලි පිළිතුරක් තවම සොයාගත නොහැකිය.

I චමිඳු නිසල් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02