මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා
මානුෂීය මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි මනෝ උපදේශනය යනු නිවැරදිව සහ විධිමත්ව එමෙන්ම පරාර්ථකාමී චේතනාවන් පෙරදැරිව සිදු කළ යුතු කර්තව්‍යයක් වන්නේ මනෝ උපදේශනයේ යෙදෙන්නේ මානසික සුවපත්භාවය අපේක්ෂා කරන කවර හෝ පුද්ගලයන් විෂයෙහි වන හෙයිනි. කොන්දේසි විරහිත ධනාත්මක සැලකිල්ලකින් ජාති, ආගම්, පන්ති, කුල ආදී කිසිදු භේදයකින් වියුක්ත මානුෂවාදී සැලකිල්ලක් මනුෂ්‍යයන් විෂයෙහි දක්වමින් පටු ලාභ සහිත වංචනික අරමුණුවලින් වියුක්තව සද්භාවයෙන් මනෝ උපදේශනයෙහි යෙදීම මනෝ උපදේශකවරයකුගේ කාර්යභාරය සහ වගකීමයි.
එහෙත් වර්තමානය වනවිට මනෝවිද්‍යාව විෂය ක්ෂේත්‍රය පිළිබඳව විධිමත් හැදෑරීමකින් සහ විධිමත් පුහුණුවකින් තොරව බොහෝ පිරිස් මනෝ උපදේශන ක්ෂේත්‍රයට ප්‍රවේශ වී සිටිති. තවද මනෝ උපදේශනයට මුවා වී විවිධ වංචනික ක්‍රියාවන්හි සහ අයථා ලෙස මුදල් ඉපයීමේ යෙදෙන බොහෝ පුද්ගලයන් සිටින අතර මේ සියලු දෙනා මනෝවිද්‍යාව වැනි සාධනීය, ධනාත්මක විෂය ක්ෂේත්‍රයකට සිදු කරන්නේ කිසිදු ලෙසකින් සමාව දිය නොහැකි වරදකි. එහෙයින් මෙම විෂය ක්ෂේත්‍රය නිවැරදිව හදාරා එම විෂය දැනුම ප්‍රගුණ කරන සියල්ලන් එක්වී ව්‍යාජ මනෝ උපදේශකයන්ට විරෝධය ප්‍රකාශ කළ යුතුය. මේ පිළිබඳව අද වනවිට හඬක් නගන්නන් අතර මහාචාර්ය ඥානදාස පෙරේරා යනු දැවැන්තම චරිතයකි. මනෝවිද්‍යාව විෂය ක්ෂේත්‍රය ඔස්සේ සුවහසක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නෙත් පාදමින් එම විෂය පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු වශයෙන් මෙන්ම මනෝ උපදේශන කර්තව්‍ය තුළින් දැවැන්ත සමාජ මෙහෙවරක යෙදෙන මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය ලියැවේ.
අද සමාජ මාධ්‍ය තුළ බොහෝ විට දකින්නට ලැබෙන්නේ මනෝ උපදේශනය සාපරාධී ලෙස අවභාවිත කරන බහුතර පිරිසකි. ඇතැම් පුද්ගලයන් ''මනෝවිද්‍යා අභිප්‍රේරක'' ආදී මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුළ නොමැති තනතුරුද භාවිත කරමින් තමන් මනෝවිද්‍යා උපදේශකවරු ලෙස පෙනී සිටින්නේ විධිමත් න්‍යායික දැනුමකින් හෝ ප්‍රායෝගික පුහුණුවකින් වියුක්තවය. මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය යනු සරල විෂය ධාරාවක් නොවේ. එය අනාදිමත් ඉතිහාසයක් තුළ සංවර්ධනය වූ නව න්‍යායන් හා සංකල්ප තුළ වර්තමානය දක්වාම ප්‍රවර්ධනය වූ පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය, චර්යාවන්, මානසික ආබාධ ඇතුළු විවිධ දිශානතීන් ඔස්සේ ගැඹුරු අධ්‍යයනයක යෙදෙන උප විෂය ක්ෂේත්‍ර ගණනාවකින් සංයුක්ත විෂයකි.
ළමා මනෝවිද්‍යාව, සායනික මනෝවිද්‍යාව, සංවර්ධන මනෝවිද්‍යාව, අසාමාන්‍ය මනෝවිද්‍යාව, උපදේශන මනෝවිද්‍යාව, අධිකරණ මනෝවිද්‍යා, සෞඛ්‍ය මනෝවිද්‍යාව, ක්‍රීඩා මනෝවිද්‍යාව, අධ්‍යාපන මනෝවිද්‍යාව, මේ ආදී උප විෂය ක්ෂේත්‍ර ගණනාවකින් මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය සමන්විතය. උදාහරණයක් ලෙස ළමා මනෝවිද්‍යාව යන උප විෂය ක්ෂේත්‍රය ගත් විට ඒ ඔස්සේ කතා කරන්නේ දරුවා මව් කුසේ පිළිසිඳ ගත් මොහොතේ සිට දරුවකුගේ ජීවිතයේ සියලුම අවධීන්, දරුවන් සම්බන්ධ මානසික සහ චර්යාත්මක ආබාධ සහ දාරක මානසිකත්වයේ විවිධ ස්වරූපයන් ආදිය පිළිබඳවය. මේ ආදී වශයෙන් මෙම උප ක්ෂේත්‍ර ඔස්සේ ඒ ඒ විෂය ක්ෂේත්‍ර පිළිබඳව ඉතා ගැඹුරු අධ්‍යයනයක යෙදෙන ආකාරය විද්‍යමානය. එහෙත් අද සමාජ මාධ්‍ය තුළ සුලභව දැකිය හැකි වන්නේ උපදේශන මනෝවිද්‍යාව යන විෂය මාර්ගගත ක්‍රමයට උගන්වන මාස තුනේ මාස හයේ පාඨමාලාවන්ය. සැබැවින්ම උපදේශන මනෝවිද්‍යාව වැනි ගැඹුරු න්‍යාය හා සංකල්පවලින් යුක්ත විෂයක් මාස තුන හය වැනි කාලයන් තුළ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම ප්‍රායෝගික නොවන සහ පිළි නොගන්නා කරුණකි. එමෙන්ම මනෝ උපදේශනය යනු න්‍යායික සංකල්ප ඔස්සේ පමණක් ප්‍රගුණ කළ හැකි විෂය ධාරාවක් නොවන අතර න්‍යායන් හා සංකල්ප පිළිබඳව න්‍යායාත්මක දැනුම විධිමත් ලෙස ලබා දීමෙන් පසු විවිධ සමාජීය පිරිස් අරමුණු කරගෙන ප්‍රායෝගික පුහුණුව ලබා දිය යුතුය. උදාහරණයක් ලෙස මා මනෝවිද්‍යාව පිළිබඳව මහාචාර්යවරයකු ලෙස මා විසින් ගොඩනංවන ලද මානසික සෞඛ්‍ය සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපදේශන මනෝවිද්‍යා විෂය උගන්වද්දී එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, සිරකරුවන්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ආදී මනෝ උපදේශනයේ අවශ්‍යතාවය ඇති විවිධ පිරිස් වෙත විධිමත් ලෙස යොමු කරමින් ප්‍රායෝගිකව ඒ ඒ පාර්ශ්ව විෂයෙහි උපදේශනයෙහි යෙදිය යුතු මූලික මූලධර්ම සහ පිළිවෙත් පිළිබඳව අවබෝධය ලබා දී ඔවුන්ට උපදේශන මනෝවිද්‍යාව පිළිබඳව ප්‍රායෝගික පුහුණුව ලබා දෙනු ලැබේ.
උපදේශන මනෝවිද්‍යාව වැනි උප විෂය ක්ෂේත්‍රයන් ගත් විට එම විෂය න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව ප්‍රගුණ කරමින් උපදේශන සේවයේ යෙදෙන පුද්ගලයාට මනා ඉවසීමක්, සංයමයක් සහ සදාචාරයක් සහිත පෞරුෂයක් තිබිය යුතු අතර පරාර්ථකාමීත්වය, සහකම්පනය ආදී මානුෂික ගුණාංග ප්‍රගුණ කළ මානසිකත්වයකින් සන්නද්ධ විය යුතුය. මානසික සෞඛ්‍ය සරසවිය තුළ අප විෂය දැනුමින් මෙන්ම එවන් ශක්තිමත් පැහැදිලි පෞරුෂත්වයන්ගෙන් යුත් පරපුරක් නිර්මාණය කිරීමට වෙහෙසෙන්නේ ඔවුන් සමාජයට පිවිස මනෝ උපදේශකවරුන් ලෙස කටයුතු කරද්දී ඔවුන්ගෙන් ඉටුවිය යුතු මෙහෙවර හුදෙක් මූල්‍යමය සාධක විෂයෙහි පමණක් සීමා නොවී එය උතුම් සමාජ කර්තව්‍යයක් බවට පරිවර්තනය වීමට නම් එවන් ශික්ෂණයක් ඔවුන්ට නිසැකවම අවශ්‍ය හෙයිනි.
මනෝ උපදේශකවරුන් යැයි කියාගන්නා ඇතැම් පුද්ගලයන් එම තනතුර අවිධිමත් ලෙස භාවිත කරමින් එම විෂය ක්ෂේත්‍රය පිළිබඳ විධිමත් න්‍යායික සහ ප්‍රායෝගික දැනුමකින් වියුක්තව සිදු කරන සමාජ අගතිගාමී ක්‍රියාවන් රුසක් දක්නට ලැබේ.
නොයෙකුත් සමාජීය හෝ පෞද්ගලික ප්‍රශ්න හේතුවෙන් විවිධ මානසික පීඩනයන්ට සහ මානසික ආබාධයන්ට ලක්වූ පුද්ගලයන් දඩමීමා කරගෙන මනෝ උපදේශක භූමිකාවේ මුවාවෙන් වංචනික ලෙස මුදල් හම්බ කිරීම අද ඇතැම්හු කරති. සැබෑ මනෝ උපදේශකවරයකු හුදෙක් මුදල් ඉපයීමේ අරමුණින්ම මනෝ උපදේශනයේ නොයෙදෙන අතර සාධාරණ සහ මානුෂීය පදනමක් මත තමා සපයන සේවාව වෙනුවෙන් මුදල් අය කරන අතර අවශ්‍ය තැන්වලදී මානුෂීය පදනමක පිහිටා නොමිලේම වුවත් තම සේවාව ලබාදීමට ඉදිරිපත් වේ. පසුගිය කාලයේ වාර්තා වූ ඇතැම් සිදුවීම්වලින් කියැවුණේ උපදේශනයේ යෙදෙන ඇතැම් පුද්ගලයන් උපදේශන සේවාවේ ගුණාත්මක වටිනාකමට අගෞරව වන අයුරින් පුද්ගලයන් හිංසනයට පත් කළ අවස්ථා ඇති බවය. එමෙන්ම ඇතැම් පුද්ගලයන් උසස් ආයතනවල විශේෂයෙන් රජයේ ආයතනවලින් පවා විශාල මුදලක් අය කරමින් මනෝ උපදේශන වැඩමුළු පවත්වා ගුණාත්මක හරයකින් තොරව ඒවා මෙහෙයවමින් පුද්ගලයන් මුලාවට පත් කළ අසභ්‍ය වචන භාවිත කරමින් මනෝ උපදේශනයේ හරයාත්මක ගුණාත්මක ප්‍රතිරූපයට හානි කළ අවස්ථා තිබුණි. එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මනෝවිද්‍යා උපදේශකවරුන් ලෙස ප්‍රතිරූප ගොඩනංවා ගනිමින් විවිධ ප්‍රචාරණ පිටු (උදාහරණ: facebook page) සහ Youtube නාලිකා ආදිය ආරම්භ කරමින් වැරදි තොරතුරු සහ පෙළඹවීම් සමාජගත කළ අවස්ථා ද තිබුණි. එමෙන්ම රජයේ ලාංඡනය පවා භාවිත කරමින් පාඨමාලා නිර්මාණය කරමින් හුදෙක් මුදල් හම්බ කිරීමේ පරමාර්ථය පමණක් පෙරදැරිව කටයුතු කළ ආයතන සහ පුද්ගලයන් සිටියහ.
එවැනි පාඨමාලා ඔස්සේ බිහිවන උපදේශන මනෝවිද්‍යාවේ හරයාත්මක වටිනාකම නොදත් රුල්ලට යන මනෝ උපදේශකවරුන්ගෙන් පොදුවේ සමාජයට සහ මානව සංහතියට වන අසාධාරණ සහ අකටයුතුකම් සංකීර්ණ මුහුණුවරක් ගනී. මේ සියලු කරුණු පාදකව මෙම සියලු අවභාවිතයන්ට එරෙහිව මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය මැනවින් විධිමත් ලෙස ප්‍රගුණ කළ පිරිස් එක්වී ඔවුන්ට එරෙහිව සන්නද්ධ වීම අපගේ අරමුණයි. ඒ උදෙසා විධිමත් පියවර කිහිපයක්ම මේ වනවිට අප රුගෙන තිබේ. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය නොදත් මෙම වංචනික මනෝ උපදේශකවරුන්ට සහ මනෝවිද්‍යා අභිප්‍රේරක ආදී එක් එක් නම්වලින් හඳුන්වාගෙන මෙම විෂය ක්ෂේත්‍රයට බරපතළ හානියක් සහ අගෞරවයක් සිදු කරන පාර්ශ්ව විෂයෙහි විධිමත් ලෙස ක්‍රියාත්මක වීම තවදුරටත් පමා නොකළ යුතු සමාජීය මෙහෙවරකි.
I සංජීවිකා සමරතුංග