වැටත් නියරත් ගොයම් කා නම් ඒ අමාරුව කියනුයේ කා හටද? මෙරටට පැමිණෙන සංචාරකයන් විසින් මෙරට සංචාරක කර්මාන්තයේ නියුතු ප්‍රජාවන්ගේ රුකියා සහ ආදායම් මාර්ග උදුරා ගැනීම පිළිබඳ ඛේදවාචකයේ මෙතෙක් අනාවරණය නොවූ කතාව හෙළිදරව් කිරීමට අපි සැරසෙමු.
සංචාරක කර්මාන්තය විෂයයෙහි පැවති සංචාරක මගපෙන්වීම, මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳාම, නිවාස සහ වාහන සංචාරකයන්ට කුලී බදු පදනම මත ලබා දීම ආදී ආදායම් මාර්ග රුසක් මේ වන විටත් අවදානමට ලක්ව තිබේ. මෙතෙක් ස්වදේශිකයන් විසින් සිදුකරගෙන යනු ලැබූ මෙම ව්‍යාපාර සහ වෘත්තියන් ක්‍රමයෙන් විදේශිකයන් අතට පත්ව ඇති බව බස්නාහිර දකුණ සංචාරක කර්මාන්තය පිළිබඳ අවධානය යොමු කිරීමේදී මනාව පැහැදිලි වේ.
පැහැදිලිවම මෙම අවදානම මතුව ඇත්තේ රුසියානු සහ චීන සංචාරකයන් ලෙස පැමිණ මෙරට පැළපදියන් වූ විදේශිකයන් නිසාවෙනි. කිසිවිටෙකත් දේශපාලනික සහ ආර්ථිකමය හේතු මත මෙම සංවාදය විෂයයේ විවිධ වාරණ සීමා පැනවී ඇත්තේ අප කවුරුත් නොසිතූ පරිද්දෙනි.
සංචාරකයකු ලෙස පැමිණෙන විදේශිකයකු මෙරට තුළ ආයෝජනයක් සිදුකිරීම හෝ ව්‍යාපාර ආරම්භ කිරීම හා වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වය පටලවා ගත යුතු නැත. මෙය මුළුමනින්ම අනර්ථකාරී ක්‍රියාවලියකි.
“මේ වෙනකොට රුසියානු ජාතික සංචාරක මගපෙන්වන්නන් සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. අපේ රටේ ඉන්න සංචාරක මගපෙන්වන්නන්ගේ රුකියා අවස්ථා තමා මේ අය හරහා නැති වෙන්නෙ. මෙයාලා සංචාරකයෝ විදිහට සලකන්න බැහැ. කඩවල් අල්ලගෙන කොමිෂන් ගන්නවා, තව එක එක ජාවාරම් වැඩ කරනවා. කවුරුත් මේ ගැන කතා කරන්න කැමැති නැහැ."
රුසියානු සංචාරක මගපෙන්වන්නන් විසින් මෙරටට පැමිණෙන රුසියානු සංචාරක කණ්ඩායම් දැඩිව ග්‍රහණය කර ගන්නා බවට වන මෙම චෝදනාව ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නෙකි.
අප කළ සොයා බැලීම අනුව පැහැදිලිවම සංචාරක මගපෙන්වන්නන් ලෙස පෙනී සිටින විදේශිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙරට තුළ වෙසෙන බව අනාවරණය විය. එහෙත් ඔවුන් වීසා ලබාගෙන ඇත්තේ කවර පදනමක් මතද යන්න පැහැදිලි නැත. සංචාරක වීසා මත පැමිණ රුකියා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ මුදල් ඉපයීම නීත්‍යානුකූල කටයුත්තක් නොවේ.
සංචාරක කර්මාන්තය ආශ්‍රිත ශ්‍රී ලාංකික ස්වර්ණාභරණ අලෙවිකරුවන් හට චීන සංචාරකයන් හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
“හිතාගන්න බැරි විදියට චීන්නු අපේ මාර්කට් එක ඇල්ලුවා. දැන් චීනෙන් එන කිසිම විදේශිකයකුට අපිට ගල් විකුණන්න බෑ. කලින්ම ලංකාවට ඇවිල්ලා මෙහෙ පදිංචි වෙලා ඉන්න චීන බයර්ස්ලා ඉන්නවා. එයාලා තමා බිස්නස් එක කරන්නේ. සමහරක් වෙලාවට සංචාරක හෝටල්වලට ගිහිල්ල සංචාරකයෝ විදිහට නතර වෙලා, යුරෝපා සංචාරකයන්ට පවා මෙයාල හොරෙන් ගල් විකුණනවා. බේරුවල පත්තේකඩේ මැණික් පොළේ බිස්නස් කරන චීන්නු දැන් ඕනෑ තරම් ඉන්නවා."
බේරුවල අවට වෙරළ තීරයට ආසන්න ප්‍රදේශ රුසක චීන ජාතිකයන් විශාල පිරිසක් නිවාස බදු පදනම මත මිලදී ගෙන මෙම ව්‍යාපාරවල නිරත වන බව එම ප්‍රදේශවාසීන්ට රහසක් නොවේ. ඇතැම් බදු පදනම මත ලබාගත් නිවාස, නැවතත් තම හිතවතුන්ට බද්දට ලබාදීමටද චීන ජාතිකයන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇත. ශ්‍රී ලංකාවේ මැණික් පිළිබඳ අධි අවධානයක් මෙම පිරිස දක්වන අතර ජාලයක් ලෙසින් ඔවුන් ක්‍රියාත්මක වෙමින් ඇති බව ඉතා පැහැදිලිවය.
මෙම තත්ත්වයන්ගෙන් තාවකාලික වාසි ලබන ශ්‍රී ලාංකිකයන්ද සිටින බව මෙහිදී සඳහන් කළ යුතුය. එම වාසි හේතුවෙන් ඔවුන් ශ්‍රී ලාංකීය සංචාරක වෙළෙඳපොළ විදේශීයකරණයට විරුද්ධ නොවේ. එහෙත් මෙම විදේශීයකරණය හරහා ක්‍රමිකව මෙරට වෙළෙඳපොළ අවස්ථා ස්වදේශිකයන්ට අහිමි වී යන බව පැහැදිලි කරුණකි.
මීට අමතරව යෝගා ඉගැන්වීම, සම්බාහන සිදුකිරීම, සර්ෆ් කඳවුරු, DJ වාදනය, ඡායාරූපකරණය, නවාතැන්, කැෆේ වැනි ව්‍යාපාර කරන සංචාරක වීසා මත සිටින සංචාරකයන් සංඛ්‍යාවද ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. පැහැදිලිවම මෙය සංක්‍රමණ නීති උල්ලංඝනය කිරීමකි. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දුර්වල වීමත් සමඟ මෙම තත්ත්වය බරපතළ වී ඇති බව පැහැදිලිය. ඇතැම් රටවල් කෙරෙහි පවතින බය, පක්ෂපාතීත්වය හේතුවෙන් බලධාරීන් තීන්දු තීරණ ගැනීම පවා පමා කරමින් සිටින බවට චෝදනා නැගී තිබේ.
දකුණේ වෙරළ නියාමකයකු අප සමඟ සඳහන් කළේ දකුණේ සෑම වෙරළ තීරයකම ව්‍යාපාර සිදු කරන විදේශිකයන් ඕනෑ තරම් සොයා ගත හැකි බවයි.
“සංචාරකයන් ඇවිල්ල ලංකාවේ වියදම් කළාම රටට විදේශ විනිමය ලැබෙනවා කියලා තමයි හැමෝම සතුටු වෙන්නේ. ඒත් දැන් දැන් සිද්ධ වෙන්නේ පිරිසක් සංචාරකයෝ විදියට ඇවිල්ලා, අපේ මිනිස්සුන්ගේ රස්සා ටිකක් නැති කරලා අපිට හම්බවෙන්න තියෙන දේ හූරගෙන යන එක. ටුවරිස්ට් වීසාවලට ඇවිල්ලා ඕනෑ තරම් බිස්නස් කරන අය ජොබ් කරන අය අපේ ප්‍රදේශවල ඉන්නවා. අපි කවුරුත් ඒ අය එක්ක ගහමරා ගන්න, රණ්ඩු කරන්න යන්නේ නෑ. අපිට කරන්න දේකුත් නෑ. මේවට පියවර ගන්න ඕනෑ අපි නෙවෙයි, වගකිව යුතු අය."
පසුගිය කාලයේ අන්තර්ජාල අපරාධ, මාෆියා කටයුතු ආදියද ශ්‍රී ලංකාවට සංචාරකයන් ලෙස පැමිණි පිරිස් විසින් මෙහෙයවනු ලැබූ බවට විවිධ වාර්තා පළව තිබුණි. අප කළ සොයා බැලීම අනුව ක්‍රමයෙන් ශ්‍රී ලංකාව මෙවන් කටයුතු සඳහා උචිත වාතාවරණයක් පවතින රටක් බවට මෙම අපරාධකරුවන් අතර මතයක් නිර්මාණය වෙමින් ඇති බවටද තොරතුරු වාර්තා වේ. ආර්ථික දේශපාලන අස්ථාවරත්වය මෙන්ම නීතියේ පවතින හිඩැස් සහ අල්ලසට දූෂණයට බලධාරීන් යටවීම ඊට හේතුව බව නොරහසකි.
පසුගිය සමයේ ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් ඇතැම් විදේශීය අපරාධකරුවන් සම්බන්ධ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය අධ්‍යයනය කරන්නකුට මෙම තත්ත්වය තවදුරටත් පැහැදිලි වනු ඇත. කෙසේ වෙතත් මෙම පැහැදිලි කිරීම අනවශ්‍ය බිල්ලකු මැවීමක් ලෙස යමකුට අර්ථගන්වා ගත හැකිමුත්, සංචාරක කර්මාන්තය ආශ්‍රිත ප්‍රදේශවල විධිමත් අධ්‍යයනයක් සිදු කරන්නකුට මෙම නිරස යථාර්ථය මනාව පැහැදිලි වනු ඇත.
පසුගිය දිනවල වාර්තා වූ පරිදි මෙම ගැටලුව සම්බන්ධ පළමු පුපුරා යාම සිදුවූයේ උණවටුන ප්‍රදේශයෙනි. විදේශිකයන් විසින් පවත්වාගෙන යනු ලබන නියාමනය නොකළ ව්‍යාපාර සම්බන්ධයෙන් පවතින මතභේද හේතුවෙන් උණවටුන, හබරාදූව සහ අහංගම යන ප්‍රධාන සංචාරක නගර ආවරණය වන පරිදි විමර්ශනයක් සිදු කිරීමට හබරාදූව ප්‍රාදේශීය සභාවට සිදුවිය. එහිදී ආදායම් පරීක්ෂකවරුන් ගෙයින් ගෙට ගොස් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ලබාදීම සඳහා සමාගම්වල ලියාපදිංචි තොරතුරු රුස් කිරීමට පියවර ගත්තේය. මෙහිදී ව්‍යාපාර කිහිපයක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව කියැවේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශ ඇතුළු බොහෝ පාර්ශ්ව කඩිනමින් මෙය හා සම්බන්ධව අවධානය යොමු කළ යුතුය. ක්‍රමිකව වර්ධනය වෙමින් ඇති මෙම අනතුර වළක්වා ගැනීම සඳහා අවශ්‍ය අණ පනත් වෙතොත් පාලකයන් ඒවා වහා සම්මත කරගත යුතුමය. ළඟ බලා දුර නොබලා කටයුතු කළහොත් අනාගත පරපුරට මෙම අර්බුදයේ වන්දිය ගෙවීමට සිදුවනු ඇත. නිය කොණින් සූරා ඉවතලිය හැකි දෑ පොරවෙන් කපා වෙන්කළ යුතු තරමට වර්ධනය වීමට ඉඩ නොදීම කාගේත් යුතුකමයි.
I චමිඳු නිසල් ද සිල්වා