2024 මාර්තු 30 වන සෙනසුරාදා

එහෙන් මෙහෙන් ස්පා හැමතැනම වටේට ඒඩ්ස්...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 260

හෙරොයින් අයිස් සහ මත්පෙති යන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් බස්නාහිර පළාතේ පමණක් සිටින බවට තොරතුරු පොලීසියට ලැබී තිබේ. මේ මත් රකුසා පරදන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදාගන්නා සවිය ප්‍රජාපාදක පුනරුත්ථාපන වැඩසටහන පොලීසිය විසින් මෙහෙයවයි. මීගමුව පොලිස් කොට්ඨාසය පුරා වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ ඒ අනුවය. මේ සඳහා මීගමුව කොට්ඨාසයට අලුතින් පත්ව ආ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා පෙරමුණේ සිටියේය. 

මේ අතරතුර පළාතේ ගුරුවරුන් විදුහල්පතිවරුන් ආගමික නායකයන් ඇතුළු  ප්‍රදේශවාසීහු විසින් එකම කාරණයක් සම්බන්ධයෙන් විවිධාකාරයට තොරතුරු දැනුම් දුන්හ. ‘‘ටුවරිසම් කියලා හැමතැනම ස්පා දාලා. ටුවරිස්ට්ලා නෙවෙයි මේවට යන්නේ, ඉස්කෝලෙ යන සමහර දරුවෝ. එයාලා මේවට ඇබ්බැහිවෙලා විනාශ වෙලා තියෙන්නේ. අනික ඈත පිටිසර ගම්වල ගෑනු දරුවෝ මේවායේ අතරමං කරනවා.'' යැයි ඔවුහු චෝදනාවක් ද එක් කළෝය. අදාළ කාරණය පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් දැනුම්වත් කරන්නට පියවර ගත් සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා කඩිනමින් තොරතුරු රැස්කර ගන්නට විය. 

මේ අතර සවිය ප්‍රජාපාදක පුනරුත්ථාපන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෛද්‍ය සායනයට සම්බන්ධ කළ මත්කුඩු ලෝලියකු HIV ඒඩ්ස් ආසාදිතයකු බවට තහවුරු වී ඇත. ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කොට තිබුණේ තමා මීගමුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට නිරන්තරයෙන් ආ ගිය බවය. එම HIV ඒඩ්ස් ආසාදිත තැනැත්තා කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තහවුරු කර ගැනීමත් සමඟ බුද්ධි අංශ නිලධාරීන් වෙතින් ලබාගත් තොරතුරු විශ්ලේෂණය කොට මීගමුව අවට පිහිටි සම්බාහන මධ්‍යස්ථාන හදිසි පරීක්ෂාවකට ලක්කිරීමට සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා පියවර ගත්තේය.

ඒ අනුව සීදුව සිට මීගමුව හා කොච්චිකඩේ දක්වා පිහිටි SPA හෙවත් සම්බාහන මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම සඳහා ක්ෂණික සැලසුමක් සූදානම් කෙරිණි. අත්‍යවශ්‍ය නිලධාරීන් යොදාගෙන මෙහෙයුම ආරම්භ කළ අතර සතියකට ආසන්න කාලයක් පුරා සම්බාහන මධ්‍යස්ථාන පරීක්ෂාව සිදු කෙරිණ. ඒ අනුව සීදුව, මීගමුව හා කොච්චිකඩේ යන ප්‍රදේශ ආවරණය වන ලෙස කළ පරීක්ෂාවේදී සම්බාහන ස්ථාන 53ක් හඳුනාගෙන ඒවායේ නාම පුවරු ගලවා දමා සීල් තැබීමට කටයුතු කෙරිණි. මෙහිදී එම ස්ථානවල සේවයේ නිරතව සිටි තරුණියන් හා කාන්තාවන් 120 දෙනෙක් පොලිස් බාරයට ගනු ලැබූහ. ඔවුන් අතර බාල වයස්කාර දැරියක සිට තිබෙන අතර ඇය 15 හැවිරිදිය. ඇය දූෂණයට ලක්ව ඇති බව වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වී ඇති අතර ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඇය නිවැසියන් සමඟ අමනාප වී ගෙදරින් පැනවිත් ඇති බවකි. එසේ සිටියදී දැය යම් කෙනකු විසින් රවටා සම්බාහන මධ්‍යස්ථානයක් වෙත විකුණා ඇතැයි තහවුරු වී ඇත. මෙම දැරිය සමඟ ලිංගික සබඳතා පැවැත්වූ බව කියන අයකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

අත්අඩංගුවට ගත් කාන්තාවන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ පසුව ඉන් දෙදෙනකුට HIV ඒඩ්ස් ආසාදිත බව තහවුරු කරගෙන ඇත. තවත් තරුණියන් 08 කට සමාජ රෝග වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ. මෙම තහවුරු වීමත් සමඟ මීගමුව පොලිස් කොට්ඨාසය තුළ මීගමුව, සීදූව හා කොච්චිකඩේ යන ප්‍රදේශවල තිබූ සියලුම සම්බාහන මධ්‍යස්ථාන වසා දැමීමට පියවර ගැනිණ. මෙම සම්බාහන මධ්‍යස්ථාන කිසිදු අවසරයකින් තොරව පවත්වාගෙන ගොස් ඇති අතර ඇතැම් ස්ථාන ගණිකා නිවාස වශයෙන් පවත්වාගෙන ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් මීගමුව නාගරික කොමසාරිස්වරයාගෙන් සිදු කළ විමසීමේදී ඔහු පැවසුවේ මෙකී කිසිදු සම්බාහන මධ්‍යස්ථානයක් නිත්‍යනුකූලව පවත්වාගෙන ගිය ඒවා නොවන බවය. එබැවින් බලපත්‍රයක් හෝ නොමැතිව එම ස්ථාන නියාමනය කිරීමට නොහැකි බවද ඔහු කීය. මීගමුව කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා “පළාතේ ගුරුවරුන් විදුහල්පතිවරුන් ආගමික නායකයන් ඇතුළු ප්‍රදේශවාසීන් විවිධාකාරයෙන් තොරතුරු ලබා දුන්නා. ඒ වගේම බුද්ධි අංශවලින් තොරතුරු ලැබුණා. ඒ ඔස්සේ කරුණු තහවුරු කර ගත්තා. සීදූව, මීගමුව, කොච්චිකඩේ, ඒත්තුකාල ප්‍රදේශවල පාසල් පන්සල් පල්ලි අයිනෙ ස්පා දාලා තිබුණා. අධික ලාභ අපේක්ෂාවෙන් තරුණියන් ඇතැම් අපරාධ සඳහා යොදාගෙන තිබුණා. එවැනි ස්ථාන 53ක් පමණ තහනම් කිරීමට මේ වැටලීමේදී හැකියාව ලැබුණා'' යැයි පැවසීය.

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මීට ඉහතදී වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී ලෙස සේවය කළ අතර එවකට එම ප්‍රදේශයේද මෙවැනි වැටලීම් සිදු කර අනවසර ස්පා මධ්‍යස්ථාන තහනම් කිරීමට පියවර ගත්තේය. මේ ආකාරයට සිදු කළ වැටලීම් නිසා සම්බාහන මධ්‍යස්ථානවල සේවය කළ කාන්තාවන්ට ඒඩ්ස් ආසාදිත බව හඳුනාගෙන ඇත. ඒ සමඟ වැඩි වශයෙන් ස්පා මධ්‍යස්ථාන පිහිටා තිබෙන කුරුණෑගල, කැලණිය, බත්තරමුල්ල සහ වෙනත් ජනාකීර්ණ ප්‍රදේශවල ස්පා හෙවත් සම්බාහන මධ්‍යස්ථාන පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත. ඉන් පසුව රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකවල සහාය ඇතිව සම්බාහන මධ්‍යස්ථානවල සේවය කරන කාන්තාවන් වෛද්‍ය පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 07:18
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02