වර්ජන තර්ජන පාලක පන්තිය විෂයයේ අඳුරු මායාවකි. එහෙත් වර්ජන ගර්ජන වැඩ කරන ජනයා විෂයයේ සිය ශක්තිය විදහාලන අවියකි. ඉකුත් සති කිහිපය තුළ රාජ්‍ය සේවාව තුළ වර්ජන අවිය භාවිත කිරීමට වෘත්තීය සමිති සූදානම් වන බවක් පෙනී ගියේය. මහා කම්පනයක් පිළිබඳ ඉඟි කළ පෙර කම්පන තත්ත්වයන් කිහිපයක් ද වාර්තා විය.
රාජ්‍ය සේවයේ හදවත බඳු රාජ්‍ය පරිපාලන සේවය දෙසින් ද කලකට පසුව තරමක බරපතළ වර්ජන තර්ජනයක් ඉස්මතු විය. අවම වශයෙන් රුපියල් ලක්ෂයක දීමනාවක් සියලුම පරිපාලන සේවා නිලධාරීන්ට සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදීමට කටයුතු නොකරන්නේ නම් වැඩවර්ජනයක නිරත වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පසුගියදා සඳහන් කළේය.
“පහුගිය දවස්වල මහ බැංකුවේ නිලධාරීන් තම වැටුප ඉතා විශාල ප්‍රමාණයකින් වැඩිකර ගැනීමට පෙරත් අපි ජනාධිපතිතුමාටත් භාණ්ඩාගාරයටත් අදාළ සියලු බලධාරීන්ටත් දන්වා සිටියා විධායක ශ්‍රේණිවල ඉන්න 13000ක් පමණ වන නිලධාරීන්ගේ දෙවැනි සහ තුන්වැනි ශ්‍රේණිවල නිලධාරීන් ඉතා බරපතළ ගැටලුවලට මුහුණපාලා ඉන්නවා, ඒ අයට පහසුකම් සපයා දීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන්න කියලා. ඉතින් මේ තත්ත්වය මත තවදුරටත් රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යා හැකිද කියලා ගැටලුවක් අපට තිබෙනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සියලුම විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට රුපියල් ලක්ෂයක අවම වශයෙන් දීමනාවක් මේ මොහොතේ වැඩි කිරීම අත්‍යවශ්‍යයි කියන එක රජයට දන්වන්න. මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමාට, විශේෂයෙන්ම මහ බැංකුවේ වැටුප් වැඩිවීමෙන් වැටුප් ලබන නිලධාරියෙක් හැටියට එතුමාට සහ අපි එතුමාට බලකිරීමක් කරනවා ප්‍රතිපත්තිය සකස් කරලා මහා භාණ්ඩාගාරය එකතු කරන මුදල්වලින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න කියලා ඉතාම කඩිනමින්.”
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ලසන්ත ගම්මන්පිල මහතා එලෙස පවසා තිබුණි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මුදල් කාරක සභාව විසින් මහ බැංකුවේ වැටුප් සංශෝධනය ගැන ඉදිරිපත් කළ සියලුම නිර්දේශ මහ බැංකුව විසින් පිළිගන්නා බව දැනුම් දීමත් සමඟ, පසුගියදා මේ වැටුප් ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් සහතික කිරීම සඳහා අදාළ කමිටු වාර්තාව සඳහා සති 4 ක කාලරාමුවකට එකඟ වූ බව කියැවුණි. ඒ අනුව රාජ්‍ය පරිපාලන සහා විධායක ශ්‍රේණිවල වර්ජන තර්ජන මේ වන විට තරමක් සමනය වී තිබේ.
මේ අතර සෞඛ්‍ය වර්ජන තර්ජන ද නැවත මතුවෙමින් තිබුණි. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීමට මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය පියවර නොගැනීමට විරෝධය පළ කරමින් යළි රට පුරා රෝහල්වල වැඩවර්ජන ආරම්භ කිරීමට සූදානම් වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පසුගිය සතියේ අනතුරු ඇඟවීය.
පළමු අවස්ථාවේ මෙම වර්ජනය සෞඛ්‍ය ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් වැළකී ගියත්, විසඳුම් නොලැබීම හේතුවෙන් ලබන සතියේ වර්ජනය නැවත ආරම්භ කිරීමට සූදානම් වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේය.
“සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් තාක්ෂණික වාර්තාවට දින 25 ක් තුළ උත්තර නැහැ. සෞඛ්‍ය ඇමැතිවරයා ගැටලුව විසඳීම සඳහා විශාල උත්සාහයක් ගත්තත් අවසන් සාකච්ඡාව අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙන තත්ත්වයක් හමුවේ වර්ධනයකින් තොරව ගැටලුව විසදා ගැනීමට ඇති ඉඩකඩ අවහිර වී තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ප්‍රතිචාරය ප්‍රමාද වීම නැවත වර්ජනයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක්.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අප්‍රේල් මස 2 වැනිදා උදෑසන 6.30 සිට නැවත අත්හිටවූ දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. මෙම වර්ජනය සඳහා මාතෘ රෝහල්, පිළිකා රෝහල්, ළමා රෝහල් සහ වකුගඩු රෝහල් දායකකර ගැනීමට මෙතෙක් තීරණය කර නොමැති නමුත් ඉදිරියේදී රජය දක්වන ප්‍රතිචාර අනුව ඒ පිළිබඳව ද තීරණය කිරීමට අද රුස්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නායකත්ව මණ්ඩලය තීරණය කර තිබෙනවා."
මීට අමතරව ඉකුත් මාසය පුරාවට විටින් විට මතු වූ වර්ජන තර්ජන රුසකි. බොහෝ වර්ජන තාවකාලිකව නතර වූ නමුත් ඒවා නැවතත් අවස්ථානුකූලව දියත් වීමට ඇති ඉඩකඩ බොහෝය. මේ අතර තරමක වෙනස් වූ හේතු මත සිදු කරනු ලැබූ වර්ජන ද දැකගත හැකි විය.
වසරක් තිස්සේ විදුලි සෝපානය අක්‍රිය වීම හේතුවෙන් මාර්තු 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වෘත්තිය සමිති කිහිපයක් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින අයුරු දැකගත හැකි විය. මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලැබුවේ අක්‍රියව පැවති විදුලි සෝපානය නැවත පිළිසකර කිරීමට ටෙන්ඩර කැඳවා සමාගමකට එය බාර දී තිබියදී බව ද තැපැල්පතිවරයා සඳහන් කර තිබුණි.
මේ අතර දුම්රිය ඉංජිනේරු වෘත්තිය සමිති කිහිපයක් පසුගිය මාර්තු 5 වැනිදා වැඩවර්ජනයකට සූදානම් වී සිටියේය. මෙම වර්ජන තර්ජනය නිසාවෙන් දුම්රිය මගීහු තැතිගෙන සිටියහ. කෙසේ වෙතත් වර්ජනයට පෙරාතුව බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වුණි. අවසානයේදී දැනගැනීමට ලැබුණේ වර්ජනයට මූලික ගැටලුව බවට පත්ව තිබූ උසස්වීම් සම්බන්ධ ගැටලුවට අමාත්‍ය මණ්ඩලය විසඳුමක් දීම නිසා වර්ජනය අදාළ වෘත්තිය සමිති විසින් අතහැර දැමූ බවයි.
තවත් මෙවන් වර්ජන රැසක් පිළිබඳ තොරතුරු ඉදිරියේදී වාර්තා කිරීමට මාධ්‍යයට සිදුවනු ඇත. පවතින ආර්ථික ගැටලු, වැටුප් විෂමතාවලට අමතරව මැතිවරණය අභිමුව පැන නැගෙන දේශපාලන අවශ්‍යතා ද මෙම වර්ජන සඳහා හේතු වෙමින් ඇති බව පෙනී යයි.
කෙසේ වෙතත් වර්ජනවලින් සැබෑ ලෙසම පීඩාවට පත්වන්නේ පාලක පන්තිය නොව පොදු මහජනයාය. වර්ජිකයන්ද පොදු මහජනතාව අතරින්ම කොටසකි. එබැවින් වර්ජනයට පෙර ගත යුතු වෘත්තිය ක්‍රියාමාර්ග ගෙන අවසන් අදියරේදී වර්ජන තර්ජන වෙත එළඹීම සියලු රාජ්‍ය සේවකයන්ගේ යුතුකමකි.
I චමිඳු නිසල් ද සිල්වා