2024 මාර්තු 30 වන සෙනසුරාදා

කොම්පියුටර් ගේම් මාරයාගෙන් දරුවන් මුදාගන්නේ කොහොමද?

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 89

ඔබේ දරුවාට කුඩා කාලයේ ආහාර දීමට හෝ නිහඬ කරවා ගැනීමට දරුවා අතට දෙන ජංගම දුරකථනය නිසා දරුවාගේ ජීවිතය පවා අහිමි විය හැකි අවදානමක් ඇති බව ඔබ දන්නවාද?

එය වටහා ගැනීම සඳහා පහතින් පැහැදිලි කරන සත්‍ය සිදුවීම දෙස බලමු.

පානදුර ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පිරිමි දරුවකුගේ දෙමාපියෝ ඛේදනීය අත්දැකීමකට මුහුණ දෙමින් සිටිති. එම දරුවාගේ පියා සමාගමක නීතිඥවරයකු වන අතර මව ද නීතිඥවරියකි. සිය පුත්‍රයා ගෙවන ජීවිතය පිළිබඳව ඔහුගේ මව මෙලෙස පැහැදිලි කළාය.

“පුතා පාන්දර වෙනකම් ගේම්ස් ගහනවා. උදේට නැගිටින්නෙ නෑ. කෑම කන්නෙ නෑ. උදේ නැගිටින්නෙ නැති නිසා කිසිම දෙයක් කරන්න බැහැ. එයාව කම්පියුටර් කෝස් එකකට දැම්මා. ඒකට යන්නත් බෑ. එයාට රස්සාවකට යන්න විදිහකුත් නෑ. මොනව කරන්න ද කියලා හිතාගන්න බැරුව අපි ඉන්නේ."

අදාළ දරුවාගේ මව පවසා ඇති සියලු ලක්ෂණවලින්, පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහිවූවන් ගෙවන දෛනික ජීවිතය කියා පායි.

එවන් දරුවන් සමඟ ගනුදෙනු කිරීම දෙමාපියන්ට පහසු කටයුත්තක් නොවේ. ඒ, පරිගණකය හෝ ජංගම දුරකතනය ඔහුගෙන් ඉවත් කිරීමට තැත් කිරීම සිය දිවි හානි කර ගැනීමක් දක්වා දුරදිග යාමට ඉඩ ඇති බැවිනි.

► මාතර - රොටුඹ ඛේදවාචකය

ජංගම දුරකථනයෙන් ඉන්ටර්නෙට් ඔස්සේ පරිගණක ක්‍රීඩාවකට ඇබ්බැහි වී සිටි සිසුවකු ඉන් මුදවා ගැනීම සඳහා එම ජංගම දුරකථනය මවගේ භාරයට පත් කර ගැනීම සම්බන්ධයෙන් උරණ වූ 15 හැවිරිදි සිසුවකු නිවෙසේ බාල්කයක එල්ලී ගෙල වැළලාගෙන මිය ගිය පුවතක් 2021 වසරේ අගෝස්තු මාසයේදී මාතර, රොටුඹ පොලිස් වසමෙන් වාර්තා විය.

රොටුඹ, පල්ලෙකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි, 10 වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයකු එම ඛේදවාචකයට මුහුණ පෑවේය. එම සිසුවා පාසලේ අධ්‍යාපන කටයුතුවලට සහභාගි නොවන බවට පාසලේ ගුරුවරුන් දෙමාපියන්ට දැනුම් දී තිබූ අතර, ඒ අනුව දෙමව්පියන් කළ සොයා බැලීමකදී පෙනී ගොස් තිබුණේ, පාසලේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පසෙක ලා ඔහු පරිගණක ක්‍රීඩාවකට ඇබ්බැහි වී සිටි බවය.

පසුව දරුවාගේ මව ජංගම දුරකථනය සිය භාරයට ගෙන ඇති අතර ඊට උරණ වූ දරුවා දෙමව්පියන් නිවෙසේ නොමැති අවස්ථාවක මුළුතැන්ගෙයි බාල්කයක පොරවනයක් ආධාරයෙන් එල්ලී ගෙල වැළලාගෙන තිබුණු බව පොලිසිය සඳහන් කළේය.
මෙම සිද්ධිය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදාගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේදී අතිශයින් ප්‍රවේශම්සහගත විය යුතු බවය.

► ඇබ්බැහි වීම යනු කුමක්ද? එය හඳුනා ගන්නේ කෙසේද?

දරුවකු පරිගණකයට, ජංගම දුරකථනයට ‌හෝ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇත්දැයි දෙමාපියන් නිවැරදිව වටහාගත යුතු වේ.

ඇබ්බැහි වීම යනු "සාමාන්‍ය දෛනික කටයුතු පසෙක ලා පරිගණක ක්‍රීඩා කිරීම වෙනුවෙන් කාලය ගත කිරීම,” බව මනෝ විද්‍යාඥයෝ පෙන්වා දෙති. යම් දරුවකු පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වී ඇත්දැයි දැනගැනීමට විශේෂ ලක්ෂණ කිහිපයක් ඇතැයි මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පෙන්වා දෙයි.

පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වූ දරුවෝ ජංගම දුරකථනයක් හෝ පරිගණකයක් නොමැති විට පහත ලක්ෂණ පෙන්නුම් කරති. ආවේගශීලීත්වය, නොසන්සුන්තාව, නොරිස්සුම් ස්වභාවය, අවධානය අඩුවීම, මතක ශක්තිය අඩුවීම ඒ අතර වේ.
“මේ වගේ තත්ත්වයක් ඇති වුණාම ඒ දරුවන් සාංකාවට පත් වෙනවා. මේවා අඩු කර ගන්න නැවත ඒගොල්ලො ඒකටම යනවා. ඒ නිසා ඒගොල්ලන්ට අනිත් දේවල් කරන්න තියෙන කාලය නැතිවෙලා යනවා. යාළුවොත් එක්ක ගැවසෙන්න, ක්‍රීඩා කරන්න, පාඩම් කරන්න, වෙනත් ක්‍රියාකාරකම්වල යෙදෙන්න ඒ අයට වෙලාවක් නැති වෙනවා. අන්න ඒ ලක්ෂණ තියෙනවා නම් ඇබ්බැහි වීමක් කියලා හඳුනාගන්න පුළුවන්,” මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පැවසීය.

► ඇබ්බැහි වූ දරුවකු සමඟ ගනුදෙනු කළ යුත්තේ කෙසේද?

ඇබ්බැහි වූ දරුවකු සමඟ ගනුදෙනු කළ යුත්තේ ඉතා ප්‍රවේශමෙන් බවත්, දෙමාපියන් ඒ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බවත් මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසයි.

“මුලින්ම දරුවා පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලා ද කියලා දැනගත යුතුයි. ඊට පස්සේ ගත යුතු ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා.”

මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් පවසන පරිදි, ඇබ්බැහි වී සිටින දරුවකු ඉන් මුදාගැනීම සඳහා දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් ඉවසීමෙන් කටයුතු කළ යුතුය. එවන් දරුවන්ගෙන් පරිගණකය හෝ ජංගම දුරකථනය ඈත් කළ යුත්තේ, ක්‍රම ක්‍රමයෙන් බව ද ඔහු අවධාරණය කළේය.

“එවැනි දරුවන්ට ගොඩක් තරහ යනවා. දුකට පත් වෙනවා. ඒ නිසා ඔවුන්ගෙන් ක්‍රම ක්‍රමයෙන් තමයි, පරිගණක සහ ජංගම දුරකථන ඈත් කළ යුත්තේ. එහෙම නැති වුණොත් ඔවුන් වැරදි තීරණ අරගෙන ක්ෂණික තීරණ ගන්න ඉඩ තියෙනවා. වයස අවුරුදු 5ට අඩු කිසිම දරුවකුට පරිගණක හෝ ජංගම දුරකථන භාවිතය කිසිසේත්ම සුදුසු නැහැ. අවුරුදු 5ට වඩා වැඩි දරුවන්ටත් දිනකට උපරිම පැය දෙකක් තමයි නිර්දේශ කරන්නේ.”

ඇතැම් අවස්ථාවල දරුවන් සම්පූර්ණයෙන්ම ඉන්ටර්නෙට් භාවිතයෙන් මුදා ගැනීමට නම් දෙමාපියන් ද යම් කැපකිරීම් කළ යුතු බව වෛද්‍යවරයා සඳහන් කළේය.

“ඒ වගේ අවස්ථාවක දෙමාපියන් පවා ඉන්ටර්නෙට් පාවිච්චිය නතර කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, ගුරුවරුන්ටත් ඒ ගැන දැනුම් දීලා ජංගම දුරකථනවලට පාසල් වැඩ එවීම නතර කරන්න වෙනවා. ගුරුවරුන් ස්මාර්ට් දුරකථනවල‌ට පාසල් වැඩ එවීම වර්තමානයේ ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ වගේ ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගන්න ලොකු ගැටලුවක් වෙලා මේ ආකාරයට දුරකථනවලට වැඩ එවීම නිසා. ගුරුවරුන් මේකට විකල්ප ක්‍රම හොයා ගත යුතුයි. මුද්‍රිත පිටපත් ලබා දීම ඒකට හොඳ විසඳුමක්.”

► ශාරීරික ක්‍රියාකාරකම්

ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදා ගැනීමේදී ඔවුන් ශාරීරික ක්‍රියාකාරකම්වලට වැඩි වශයෙන් යොමු කළ යුතු බව මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් සඳහන් කළේය.

ඒ සඳහා, විනෝද චාරිකාවල නිරත වීම, එළිමහන් ක්‍රීඩාවල නිරත වීම, සුරතල් සතුන් සමඟ විනෝද වීමට ඉඩ සැලසීම, යහපත් මිතුරු මිතුරියන් ඇසුරු කිරීමට අවස්ථාව සැලසීම, පොතපත කියවීමට යොමු කරවීම වැනි දරුවන් ප්‍රිය කරන කාර්යයක හෝ කාර්යය කිහිපයක නිරත වීමට ඉඩ සැලසිය යුතුය.

කෙසේ වෙතත්, මේ සියල්ලට පෙර නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවත්, වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසත් මනෝවෛද්‍ය විශේෂඥ රූමි රූබන් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළේය.

I බීබිසි ඇසුරිනි
I දිශානි

 

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 07:18
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02