2024 මාර්තු 30 වන සෙනසුරාදා

ඉන්දියාවයි - ලංකාවයි සම්බන්ධ කරන මහ පාර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගොඩබිමින් සම්බන්ධ කරන මාර්ගයක් තැනීමට සූදානම් වේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ප්‍රධාන අමාත්‍යංශ අටක පමණ ලේකම්වරුන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් පසුගියදා ඉන්දියාව බලා පිටත් වූහ. දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන් ද එයට ඇතුළත්ව සිටි බව අනාවරණය වේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර බැඳුණු ඓතිහාසික සාධක අනුව රටවල් දෙක යා වී තිබෙන්නට ඇත. වසර ලක්ෂ අටකට පමණ කලින් රටවල් එකට යා වී තිබෙන්නට ඇති බවට සාක්ෂි භූගෝලීය විද්‍යාඥයෝ දක්වති. රාමායනය පුරාවෘතයට අනුව දෙරට අතර තැනින් තැන මතු වූ භූමියක් නිර්මිතය. එය හනුමන් පාලම වශයෙන් ද දැක්වේ.

බෙදී වෙන් වී මායිම් ඇතිකරගත් ලෝක ස්වභාවය අවසන්ය. තාක්ෂණය භාවිත කරන සමාජය ලෝකය එකම යායක් බව හඳුනාගෙන තිබේ. ඇමෙරිකානු ජනාධිපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ඡන්ද පොරොන්දුවක් අනුව මෙක්සිකෝ දේශසීමාව වසා තාප්පයක් බඳින බව ප්‍රකාශ කිරීම හැර ලෝකයේ අනෙක් තැනකින් වෙන්වීමක් ගැන වාර්තා වූයේ නැත. ඉන්දු ශ්‍රී ලංකා සබඳතා කෙරෙහි පරීක්ෂාකාරී වන පසුබිමක දෙරට අතර ගොඩබිම මාර්ගයක් තැනීමෙන් ඇතිවිය හැකි වාසිය පමණක් නොව අවදානම ගැන ද පරීක්ෂාකාරී විය යුතුය.

► ලංකාව යුරෝපයට යා කිරීම

ලංකාව යටත් කරගෙන සිටි අධිරාජ්‍යවාදීන් ඉන්දියාව හා ලංකාව යා කරගෙන යුරෝපයට ගොඩබිමෙන් ගමන් කරන්නට සැලැස්මක් සකස් කරගෙන සිටි බව අතීත වාර්තා දක්වයි. ඉංග්‍රීසි ජාතිකයන් මෙරට නිෂ්පාදන ඔවුන්ගේ වෙළෙඳපොළට ප්‍රවාහනය එහිදී අරමුණු කළ බව සඳහන්ය. නාවික ගමනාගමනයේ දී තාක්ෂණය දියුණු නැති එකල භාණ්ඩ ප්‍රවාහනයට මුහුද යොදා ගැනීමේ දී අවදානමක් තිබුණු අතර දීර්ඝ කාලයක් ගත විය. මාස ගණනක් නැව්වලින් ගෙන යන භාණ්ඩවලට දරන වියදම අඩු කරන අතර පිරිවැය කළමනාකරණය ඉංග්‍රීසින්ගේ අරමුණ වූ බව පෙනේ. කෙසේ නමුත් අධිරාජ්‍යවාදීන්ගේ එවැනි පරිවර්තනයකට කලින් පරිසරය වෙනස් විය. දෙවැනි ලෝක යුද්ධය බ්‍රිතාන්‍යයේ බලය හීන කළේය. ගොඩබිම මාර්ගයක් තනන අදහස අතීතයට එක්  විය.

2002 වසරේ දී පමණ නැවත වතාවක් ගොඩබිම මාර්ගය ගැන අවධානයක් ඇතිවන අතර එය මෑත කාලයේ සංධිස්ථානයකි. එල්.ටී.ටී.ඊ සංවිධානය සමඟ දරුණු යුද්ධයක පැටලී සිටි ශ්‍රී ලංකාව සාමය ස්ථාපිත කරන අලුත් මග සොයමින් සිටි කාලයකි. සාම ක්‍රියාවලිය අතරවාරයේ දී එවකට ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය රජයට රටවල් යා කරන ගොඩබිම මාර්ගය ගැන යෝජනාව ඉදිරිපත් කර ඇත. එහෙත් තමිල්නාඩුව මෙහිදී සැලකිය යුතු විරෝධයක් පළ කර තිබේ. මධ්‍යම රජය සමඟ සම්බන්ධ වී දෙරට අතර සබඳතා තර කර ගතහොත් ප්‍රජාව අතර ඇතිවිය හැකි තත්ත්වය දේශපාලනඥයන් අවදානමක් සේ සලකන්නට ඇත.

► ශ්‍රී ලංකාව පැත්තෙන් බරපතළ විරෝධයක්

ඉන්දු ශ්‍රී ලංකා ගොඩබිම මාර්ගය ගැන අවධානය යොමු කළ පසු මෙරට ඇතැම් විද්වත් පාර්ශ්ව මතු කරන අදහස් ද සැලකිල්ලට ගත යුතුය. ඉන්දියානු විශාල ජනගහනය පහසුවෙන් පැමිණ ලංකාවේ අවස්ථා ආක්‍රමණය කරනු ඇති බව ඔවුහු දක්වති. දූපතක් වශයෙන් තරමක් ඈතින් සිටින ශ්‍රී ලංකාව ගැලවී සිටින ඇතැම් රෝග, සංස්කෘතික උපද්‍රව මාර්ගය විවෘත වීම සමඟ නිදැල්ලේ ඇතුළු විය හැකි අතර එය ඉතාම භයානක තත්ත්වයක් බව ද සඳහන් කරති. 

රටවල් දෙක වෙන්ව පැවැති කාලයේ ද බුදු දහම රටට ඇතුළු වූ අතර නොයෙක් කලා ශිල්ප ඇතුළු වෘත්තිය අවස්ථා හුවමාරු වූ බව නොරහසකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සංගීත හා සිනමා කර්මාන්තයට ඉන්දියාවෙන් ලැබුණු ආභාෂය සැලකිය යුතු තරම්ය. එය ගැන විවිධ පර් යේෂණ සිදු කෙරී තීබේ. කලා ශිල්පීන් කොටුවෙන් දුම්රියට නැග පසුව තලෙයිමන්නාරම ඔස්සේ පාරුවකින් ධනුෂ්කොඩිය දක්වා මුහුදු ගමනකින් පසු ලංකාවේ දුම්රිය ප්‍රවේශ පත්‍රයකින් ඉන්දියාවේ දුම්රියවල පහසුකම් ලබාගෙන ඇති බව දක්වා ඇත. මෑත කාලයක් දක්වා තිබුණු එම පහසුකමට ත්‍රස්තවාදී ගැටුම් බරපතළ හානියක් සිදු කරන අතර මුහුදේ තිබුණු අනතුර හේතු කොටගෙන මෙම සේවා නතර කරන්නට බලධාරීන්ට සිදුවී තිබේ. ඉතාම මෑතක දී අවස්ථා දෙකක දෙරට අතර මගී නැව් සේවා ආරම්භ කරන ප්‍රයත්නක පසුවිය. ගුවන් යානයක පහසුව හා මුහුදු ගමනක දී නවදිල්ලියට කෙළින්ම යන්නට ඇති අපහසුව එම සේවා අඩපණ කළේය. 

රටවල් දෙක අතර භාණ්ඩ හා මගී නැව් සේවා නැවතත් ආරම්භ කළ හැකිදැයි සොයා බැලීම නතර වී නැත. නෝර්වේ රාජ්‍යයෙහි ආයෝජකයන් සහ එම්.එම්.බී.එල් පාත්ෆයින්ඩර් සමාගම මෙයට උනන්දුවක පසුවේ. තලෙයිමන්නාරම හා රාමේශ්වරම් දක්වා මගී නැව් සේවාවක් ආරම්භ කිරීම එහි අරමුණය. රටවල් දෙක ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන ඇති නමුත් එම නැව් ළඟාවීමට පහසු ආකාරයේ වරාය ඉදිකිරීමට ඇති ප්‍රමාදය මෙම ආයෝජනයට හරස් වී ඇති බව අනාවරණය වේ. ගොඩබිම මාර්ගයක් ඉදි කළහොත් නැව් සේවා, ගුවන් ගමන් හා තවත් සේවා සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් සිදුවිය හැකිය.

► මැතිවරණ වේදිකාවට අලුත් මාතෘකාවක් 

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරන අලුත් මාර්ගයක් ඉදි කළහොත් සාමාන්‍ය ජනතාවට විශාල සහනයකි. කොළඹින් ගමන් ඇරඹූ පසු ගොඩබිම ඔස්සේ ඉන්දියාව හරහා ලෝකයේ ඕනෑම රටකට ප්‍රවේශ විය හැකිය. විසා පහසුකම් ලබා ගතහොත් අඩුම වියදමකින් යුරෝපයටත් නැගෙනහිර ආසියාවටත් ඇතුළු විය හැකි වේ. 

මනිපූර් ප්‍රාන්තයේ සිට මියන්මාරයටත් එතැන් සිට තායිලන්තය දක්වාත් අධිවේගී මාර්ගයක් ඉදි කරන ඉන්දියාව 2025 වසරේ දී විවෘත කරන්නට දින නියම කර ඇත. ඉදිකිරීම් අවසන් කිරීමෙන් පසු වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන හැත්තෑවක් බැගින් සම්බන්ධිත රටවල්වල ආර්ථිකය ප්‍රසාරණය වනු ඇතැයි ගණන් බලා තිබේ. මෙම ව්‍යාපෘතිය ඔස්සේ අවම වශයෙන් මිලියන විසි පහකට රැකියා අවස්ථා නිර්මාණය වනු ඇති අතර එය මැලේසියාව දක්වා සංවර්ධනය කරන්නට ද යෝජනාවක් ඇත.

ෆෝක් සමුද්‍ර සන්ධිය හරහා මාර්ගයක් හෝ මුහුද යට මාර්ගයක් ඉදි කළහොත් එහි දිග කිලෝමීටර් විසි පහක් පමණ විය හැකිය. ලෝකයේ අලුතින් ඉදිවන මුහුද යට මාර්ග, දැවැන්ත කඳු යා කරන පාලම් ගැන වාර්තා කියවන අතර මෙවැනි ව්‍යාපෘතියක් ඉතාම සාමාන්‍ය එකක් බව පැහැදිලිය. කෙසේ වෙතත් රාමායනය විශ්වාස කරන හින්දු ජනතාව හනුමන් පාලම විකෘති වන ආකාරයේ ඉදිකිරීමකට එකඟ නැත. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවා ආර්ථික විභවය කෙසේ වෙතත් සංස්කෘතික පීඩනය ගැන සලකා රටවල් යා කරන ගොඩබිම් මාර්ගයක දී හනුමන් පාලම ආකෘතිය පසෙක තබන්නට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ සමාජ ආකල්ප පවා පැහැදිලි නැත. නවීන ආකෘතියකට ඇතුළුවන පුළුල් අවස්ථාවක් නමුත් මෙම අවුරුද්දේ පැවැත්වෙන ජනාධිපතිවරණ හා මහ මැතිවරණ වේදිකාවේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන වෙනමම මුහුණුවරකින් කතා කරන්නට ඉන්දු ලංකා ගොඩබිම මාර්ගය කදිම මාතෘකාවක් විය හැකිය. ආර්ථික හා සමාජීය වශයෙන් ඉදිරි පිම්මකට අවස්ථාවක් නමුත් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීම හැර අනෙක් තීරණ පවතින ආණ්ඩුවෙන් අපේක්ෂා කළ නොහැක.   

► විදුලිය, තෙල්, ගෑස් සැපයුම

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බලශක්ති අවශ්‍යතා හුවමාරු කරගන්නා සැලැස්මක් දීර්ඝ කාලයක සිට සාකච්ඡා කෙරේ. මහවැලි යෝජනා ක්‍රමය නිර්මාණය කෙරෙන කාලයේ එහි නිපදවන විදුලි අතිරික්තය ඉන්දියාවට අපනයනය කරන යෝජනාවක් තිබුණි. අසූ ගණන්වල පැවැති තාක්ෂණය සමඟ එය දුෂ්කර කාර්යයකි. අනෙක මෙරට විදුලිය පරිභෝජනය ඉහළ මටට්මකට පැමිණීම සමඟ අපනයන අදහස පසෙක තබන්නට සිදුවිය. නමුත් මන්නාරම් ද්‍රෝණියේ සුළං බලාගාර ඉදි කරන්නටත්, ත්‍රිකුණාමලය අවට ද්‍රව හයිඩ්‍රජන් විදුලිය නිපදවන්නටත් හා සූර්ය කෝෂ විදුලිය පද්ධති සඳහා ඇති අවස්ථා මගහැරිය නොහැක. මේවා ශ්‍රී ලංකා ආණ්ඩුවට ආයෝජනය කළ හැකි නවතම අංශ වශයෙන් හඳුනාගෙන තිබේ. එහි විදුලිය නිපදවුවහොත් අපනයනය කළ හැකි අතර ග්‍රිඩ් සම්බන්ධතා ඔස්සේ මැදපෙරදිග දක්වා විදුලිය සැපයිය හැකි බව පර් යේෂණ වාර්තා අනාවරණය කරයි.

ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය හා මෙරට පිරිපහදු කරන ඉන්ධන නළ මාර්ගයෙන් වෙනත් රටවලට යැවීම ද අලුතින් අවධානය යොමු වූ අංශයකි. ගොඩබිම මාර්ගයක් තැනීමෙන් පසු එහි යටිතල පහසුකම් ඔස්සේ විදුලිය රුහැන් ගෙන යන හා තෙල් හා ගෑස් නළ මාර්ග විහිදුවන්නටත් පහසුව ලැබේ. රටවල් අතර හුවමාරුවේ දී නාවික පිරිවැය පහත වැටීම හේතු කොටගෙන පාරිභෝගිකයන්ට වාසියක් ලබාගත හැක. 

පවතින රාමුව වෙනස් කර අලුත් ආකෘතියකට ඇතුළුවීම පහසු නැත. විකල්ප මතධාරීහු, දේශපාලන පක්ෂ වෙනස් අදහස් මහජනතාවට පෙන්වා අවදානම දක්වති. සුළං බලාගාර මගින් මෙරටට සංක්‍රමණය වන කුරුල්ලන්ට බාධා වන බව දැනටමත් ඉදිරිපත්ව ඇති මතයකි. ගොඩබිම හෝ මුහුද යටින් ඉදිවන නළයක් මාර්ගයෙන් රටවල් යා කළහොත් ලැබෙන ආර්ථික වාසිය අභිබවන සමාජ කැළඹීම ඇති කරන්නට ඇතැම් පිරිස් කටයුතු කරනු ඇත. ශ්‍රී ලංකාව මෙම යෝජනාව ඉදිරිපත් කළහොත් වියදම ආවරණය කරන ණය ආධාර සපයන්නට ආසියානු සංවර්ධන බැංකුව සූදානම් බව දැනටමත් ප්‍රකාශ වී තිබේ. වසර ගණනක් තිස්සේ රටවල භූ විෂමතා හා සාධක සලකා බලන විශේෂඥයෝ ශ්‍රී ලංකාව හා ඉන්දියාව යා කරන ගොඩබිම මාර්ගයක් තැනීමේ දී මතුවන තාක්ෂණික කාරණා ගැන අධ්‍ය්‍යනය කරමින් සිටිති. මේවායේ තොරතුරු ජනතාව අතට පත්කර මහජන කතිකාවතක් ඇතිකිරීම ඉතාම වැදගත්ය. දේශපාලනඥයන්, දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් අංශ කරන, ඔවුන්ට දැනෙන ආකෘතිය ඉක්මවා ගිය ව්‍යුහයක්, මෙම ගොඩබිම මාර්ගය ගැන සමාජයට ලබාගත හැකි විය යුතුය. 

I සාරා කන්දෙගොඩ