2023 දෙසැම්බර් මාසයේ තුන් මසක කාලයකට තහනම් කළ ලොකු ලූනු අපනයනය නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට ඉන්දීය රජය පසුගිය සතියේ තීරණය කර තිබේ. ඒ සමඟ පාකිස්ථානයද පසුගියදා ලොකු ලූනු අපනයනය නවතා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ලූනු මිල රුපියල් 700ක් වැනි මිලක් දක්වා ඉහළ ගියේය. මාර්තු මාසය අවසන් වන විට ඉන්දීය ලූනු අපනයන තහනම ඉවත් කරනු ඇතැයිද, ඒ අනුව මෙරට ලූනු මිල පහත වැටෙනු ඇතැයිද ලූනු ආනයනකරුවන්ගේ අදහස වුවද ඉන්දියාව එම තහනම දීර්ඝ කිරීමත් සමඟ මෙරට වෙළෙඳපොළේ ලූනු මිල යළි ඉහළ යනු ඇතැයි ලූනු ආනයනකරුවෝ පෙන්වා දෙති.
2023 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ඉන්දියාව ලූනු මෙට්‍රික් ටොන් මිලියන 2.5ක් අපනයනය කර තිබිණි. ඉන්දියාවේ විශාල වශයෙන් ලොකු ලූනු වගා කරන ප්‍රදේශවලට පසුගිය කාලයේ බලපෑ අධික වර්ෂාව මත නිෂ්පාදනය අවම වූ අතර එහි ප්‍රතිළුලය වූයේ පැවති මිල මෙන් දෙගුණයකටත් වඩා ලොකු ලූනු මිල ඉහළ යෑමය. ලොව දෙවැනි විශාලතම ලූනු අපනයනකරුවා වන ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීමට පියවර ගත්තේ ඉහළ යන ලූනු මිල පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ තුළ ලොකු ලූනු තොග පවත්වාගෙන යාමේ අරමුණින් යැයි ඉන්දීය රජය ප්‍රකාශ කළේය. මිල පාලනය කිරීම සඳහාත් පාරිභෝගිකයන්ට සහන සැලසීම සඳහාත් ඉන්දීය රජය 2023 ඔක්තෝබර් මාසයේදී සිල්ලර වෙළෙඳපොළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 25 ක් වැනි මිලකට අලෙවි කිරීමට කටයුතු කළේය. එමෙන්ම 2023 ඔක්තෝබර් 28 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා ලූනු අපනයනය සඳහා ටොන් එකකට ඩොලර් 800ක අවම අපනයන ගාස්තුවක් පැනවූ අතර 2023 අගෝස්තු මාසයේදී 2023 දෙසැම්බර් 31 දක්වා ලූනු සඳහා 40% ක අපනයන බද්දක් පනවා තිබුණි. මෙම තත්ත්වය මත ඉන්දියාවේ ප්‍රමුඛම ලූනු වගා කරන කලාපය වන නාෂික් හි තොග වෙළෙඳපොළේ ලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 40 සිට රුපියල් 13 දක්වා පහත වැටිණි. 2023 නොවැම්බර් මාසයේ ඉන්දියාවේ ලූනු නිෂ්පාදනය ටොන් මිලියන 22.7 ක් පමණ විය. ඉන් ශ්‍රී ලංකාවට අපනයනය කළ ලොකු ලූනුවලින් උපයාගත් ආදායම ඩොලර් මිලියන 48.2 කි.
ලොකු ලූනු අපනයන තහනම මාර්තු 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණද යළි දීර්ඝ කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. ඉදිරි මැතිවරණය ඉලක්ක කරමින් මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් අපනයනය තවදුරටත් තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇතැයි පැවසේ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් 19 සිට සති හතකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙන ඉදිරි මහ මැතිවරණයෙන් තෙවැනි වරටත් ජය ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. එහෙයින් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ලොකු ලූනු අවම මිලකට ජනතාවට ලබා දීම රජයේ අරමුණය.
2023 දෙසැම්බර් 8 ලූනු අපනයනය තහනම් කළද ඇතැම් රටවලට ලූනු අපනයනය කිරීමට ඉන්දියාව පියවර ගත්තේය. ජාතික සමුපකාර අපනයන සමාගම හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ බංග්ලාදේශයට ලූනු ටොන් 64,400ක් අපනයනය කිරීමට එය අවසර දී ඇතැයි ''ටයිම්ස් ඔෆ් ඉන්ඩියා'' පුවත්පත වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාව, මුරුසිය, බහරේනය, භූතානය සහ නේපාලය යන රටවලටද සීමිත වශයෙන් අපනයනයට අවසර ලබා දෙන බව පැවසුව ද එවැන්නක් තවමත් වාර්තා වී නොමැත.
කෙසේ නමුදු ඉන්දීය ලූනු අපනයනකරුවන් පවසන්නේ මෙම කන්නයේ ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින තත්ත්වයක් මත අපනයන තහනම දීර්ඝ කිරීම පුදුම සහගත සහ සම්පූර්ණයෙන්ම අනවශ්‍ය කටයුත්තක් බවටය. ඉන්දියාවේ මෙම තීරණය හේතුවෙන් ලොව වෙනත් ලූනු අපනයනකරුවන්ට ඉහළ මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසී ඇති අතර, ගැනුම්කරුවන්ට වෙනත් විකල්පයක් නොමැති බැවින් ඉහළ මිල ගණන්වලට ලොකු ලූනු මිලට ගැනීමට සිදුව ඇතැයිද දේශීය ගොවියාට තම අස්වැන්නට නිසි මිලක් ලබා ගැනීමට නොහැකි වී ඇතැයිද ඔවුහු පෙන්වා දෙති. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේද තොග වෙළෙඳපොළේ පසුගිය දෙසැම්බරයේ රුපියල් 45ට අලෙවි වූ ලූනු කිලෝවක් දෙසැම්බර් මාසයේදී රුපියල් 12 දක්වා පහත වැටී තිබිණි.
අපනයන තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ලූනු ගොවීහු මාස දෙකක කාලයක සිට විරෝධතා දක්වමින් සිටිති. රාජ්‍ය ලූනු ගොවීන්ගේ සංගමයේ සභාපති එන්.එම්. සිද්දේෂ් ඉන්දීය වෙබ් අඩවියකට ප්‍රකාශ කර තිබුණේ, තහනමට පෙර මධ්‍යම ප්‍රමාණයේ ලූනු කිලෝ 100 මල්ලකට රුපියල් 4,500ත් 6,000ත් අතරද හොඳ තත්ත්වයේ ලූනු සඳහා රුපියල් 7,000ත් 8,000ත් අතරද මිලක් ලැබුණු අතර, තහනමින් පසු මධ්‍යම ප්‍රමාණයේ ලූනු කිලෝ 100ක මල්ලක මිල රුපියල් 800ත් 1200ත් හා හොඳ තත්ත්වයේ ලූනු රුපියල් 2000ත් 2,500ත් වැනි මිලක් දක්වාත් පහත වැටී ඇති බවයි.
ඉන්දියාව විසින් පනවන ලද තහනම හේතුවෙන් බොහෝ රටවල මෙන්ම මෙරට වෙළෙඳපොළේ ද ලොකු ලූනු මිල මේ වනවිට ඉහළ ගොස් තිබේ. වෙළෙඳුන් පවසන්නේ අලෙවිය සඳහා ලූනු මිටියක් ගැනීමට රුපියල් 20,000ක් පමණ අවශ්‍ය බවයි.
ශ්‍රී ලංකාවේ පරිභෝජනය සඳහා වසරකට ලොකු ලූනු මෙට්‍රික් ටොන් 2,80000ක් පමණ අවශ්‍ය වේ. රටේ පවතින පොහොර අර්බුදය, පසුගිය සමයේ පැවැති විපරිත දේශගුණික තත්ත්වය, නිසි පරිදි බීජ නොලැබීම හා දිලීර රෝග මෙන්ම බොහෝ ගොවීන් වගාවෙන් ඉවත්වීම වැනි කරුණු මත 2024 මෙරට ලොකු ලූනු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 7000 දක්වා පහත වැටී තිබිණි. වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ මේ වන විට මෙරට ලොකු ලූනු අවශ්‍යතාවෙන් 5%ක්වත් දේශීය වශයෙන් නිෂ්පාදනය නොකරන බවයි. 2013 සහ 2014 දෙවසරේ දේශීය ලොකු ලූනු ගොවීන් මෙරට අවශ්‍යතාවයෙන් 65% පමණක් නිෂ්පාදනය කර තිබේ. වසරකට අවම වශයෙන් ගොවීන් 12000ක පමණ පිරිසක් හෙක්ටයාර් 7000ක පමණ ලොකු ලූනු වගා කළ අතර 2015 වසරේ සිට වගාව ක‍්‍රමයෙන් කඩා වැටීමට ලක් විය. 2021 වසරේදී හෙක්ටයාර් 2000ක් පමණ දක්වා එය පහත වැටිණි.
මෙරට ලොකු ලූනු අවශ්‍යතාවයෙන් 50%ක් පමණ ආනයනය කළේ ඉන්දියාවෙනි. ඉන්දියාව ලොකු ලූනු අපනයනය තහනම් කිරීමත් සමඟ මෙරට ආනයනකරුවෝ පාකිස්ථානයෙන් ලොකු ලූනු ආනයනය කළද පසුගියදා පාකිස්ථානයද ලොකු ලූනු අපනයනය නවතා දැමීය. මේ වන විට චීනය, තුර්කිය, ඉරානය හා ඕලන්දය වැනි රටවලින් ලොකු ලූනු ආනයනය කිරීමට ලොකු ලූනු ආනයනකරුවෝ පියවර ගනිමින් සිටිති. ඉන්දියානු ලොකු ලූනු සඳහා විශාල ඉල්ලුමක් පවතී. ඒවායෙහි පවතින වියළි තත්ත්වය නිසා ඒවා මාස තුනක පමණ කාලයක් තබා ගැනීමට හැකිය. පාකිස්ථානය වැනි රටවලින් ආනයනය කිරීමේදී ඒවා ශීතාගාරවල ආනයනය කෙරෙන හෙයින් එම ලූනු වැඩි කලක් තබාගැනීමට නොහැකි බවද පැවසේ. පසුගිය කාලයේ පාකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ලූනු ශීතාගාරවල තබා ගැනීමට සිදුවීම මත කිලෝවකට රුපියල් 40ක පමණ අමතර වියදමක් දැරීමට ලූනු ආනයනකරුවන්ට සිදුවීමද පසුගිය කාලයේ ලොකු ලූනු මිල ඉහළ යාමට බලපෑවේය.
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කරන්නේ ලොකු ලූනු හිඟය මිල ඉහළ යාම පාලනය සඳහා මධ්‍යම ප්‍රමාණයේ රෝස ලූනු ප්‍රභේදය ආනයනය කිරීමට තීරණය කර ඇති බවටය. සිංහල අලුත් අවුරුද්ද වන විට ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 375ත් 400ත් අතර මිලකට ගෙන ඒම තම අරමුණ බවද ඔහු කියා සිටියේය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා