2024 මාර්තු 30 වන සෙනසුරාදා

මෛත්‍රීගේ පාස්කු බෝම්බය

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 101

පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. දෙබරෙකට ගලෙන් ගැහුවා හා සමාන මෙම කතාව කිසිදු පදනමකින් සහ වගකීමකින් තොරව මාධ්‍ය ඉදිරියේ කුමක් හෝ කිව යුතු යැයි සිතා සිදු කළ ප්‍රකාශයක් බව බැලූ බැල්මට පෙනෙන දෙයකි. එයට හේතුව එම ප්‍රකාශය සිදු කළේ මේ රටේ තවම විසඳුමක් නැති සිදුවීමක් සම්බන්ධයෙන් වීමය. ඊටත් වඩා එම සිදුවීම පිළිබඳ මෙලෙස හිතුමතේ අදහස් ප්‍රකාශ කරන මෛත්‍රීපාල සිරිසේන ද දඬුවම් ලැබූ අයකු නිසා ඔහුගේ ප්‍රකාශය මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වී තිබේ. ඒ 2019 අප්‍රේල් 21 වැනිදා මේ රටේ ආරක්ෂක අංශ දැනුවත්ව සිටියදී එල්ල කළ පාස්කු ප්‍රහාරය පිළිබඳ වීමය. එළැඹෙන පාස්කු දිනට මෙම අබිරහසට අවුරුදු පහකි. එහෙත් තවමත් ප්‍රහාරයේ ඇතැම් ගැටලු විසඳී නැත. 

මේ අතර තවමත් ඉස්මතු වන ප්‍රශ්නය වන්නේ මේ ප්‍රහාරය කාගේ සැලසුමක්ද? එය සිද්ධ කළේ කාගේ අරමුණක් වෙනුවෙන්ද? යන ගැටලුවයි. අයි.එස්. සංවිධානය සමඟ සබඳතාවයක් නැති සහරාන් මේ ප්‍රහාරය සිදු කළේ කුමන අරමුණකින්ද යන්න ගැටලුවකි. මේ නිසාම එය බොහෝ දේශපාලනඥයන් තලු මරන ප්‍රශ්නයක් වී ඇත.

මේ සියල්ල එසේ තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහතා, පසුගියදා මාධ්‍ය ඉදිරියේ මේ ප්‍රහාරයසිදු කළේ කවුදැයි තමන් දන්නා බවත් අධිකරණ නියෝගයක් ලබාදුනහොත්  තමන් විනිසුරු ඉදිරියේ රහසිගතව ප්‍රකාශයක් ලබා දෙන බවත් කීවේය. මේ ප්‍රකාශය කිසිදු බරක් පතලක් නොමැතිව සිදු කළ බව බැලූ බැල්මට පෙනෙයි. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජය තුළ විශාල කතාබහක්, විරෝධයක්, විවේචනයක් ඇතිවූ කල මෛත්‍රීපාල සිරිසේන කළේ ඒ කතාව ක්‍රමයෙන් දියාරු කර දැමීමය. එය තමන්ට වෙනත් අයකු විසින් කියූ දෙයක් බව පසුව ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව මේ වන විට එය ඔත්තුවක් බවට පරිවර්තනය වී තිබේ.

මෙරට හිටපු විධායක ජනාධිපතිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ජනතා නියෝජිතයකු වශයෙන්, විශේෂයෙන් තමන්ගේ ධූර කාලයේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ පුද්ගලයන් සිදු කළ ප්‍රකාශ ප්‍රසිද්ධියේ මහා රහස් ලෙස කීම කෙතරම් වගකිම් විරහිතදැයි පුංචි දරුවකුට පවා අවබෝධයක් තිබේ. අඩුම තරමින් අපට විරුද්ධ වන අයකු කියූ බව හැඟවෙන කේලමක් විශ්වාස නොකරන සමාජයක මෛත්‍රීපාල මහතාට ලබාදුන් ඔත්තුව සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීම බරපතළ තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත.

අනතුරුව එම ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළේය. මේ හේතුවෙන් අවසානයේදී නීතිය සාමය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට නියෝග කළේ වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසය. ඒ අනුව රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රහස් පොලිසියට පැමිණෙන ලෙස සිරිසේන මහතාට දැනුම් දී තිබිණි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 25දා රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේය.

පැය පහක කාලයක් පුරා ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව සිරිසේන මහතා රහස් පොලිසියෙන් පිටත්ව ගියේය. කෙසේ වෙතත් මෛත්‍රීපාල රහස් පොලිසියේදී පැවසුවේ මොනවාද? තවමත් එය බොහෝ දෙනකුට අබිරහසක් වී ඇත. එහෙත් අපට ලැබුණු තොරතුරු අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා රහස් පොලිසිය හමුවේ හාත්පසින් වෙනස් කතාවක් ප්‍රකාශ කර ඇතැයි පැවසේ

එනම් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පැවැති සාදයකදී එක්තරා පුද්ගලයකු තමන්ට හමුවූ බවත් ඒ අවස්ථාවේ මෙම හෙළිදරව්ව සිදු කළ බවත් ඔහු සඳහන් කර ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග පවසයි. එසේම මෙම ප්‍රහාරය සිදුකිරීමට මූලික වී ඇත්තේ තමන්ගේ රජය සමීපව චීනය සමඟ සමීපව කටයුතු කිරීම බවත් ඒ නිසා ඊට එරෙහිව කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදු කළ බවට එම පුද්ගලයා සඳහන් කළ බවත් මෛත්‍රීපාල මහතා ප්‍රකාශ කර ඇත. ඒ අනුව අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසුව මෛත්‍රීපාල මහතා සිතුවේ කතාව හමාර බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවම තොරතුරක් රටට අනාවරණය වී නැත. ඔහුගේ සමයේ සිදුවූ මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 268 දෙනකු මියගිය අතර ඒ අවස්ථාවේ ආරක්ෂක අංශයේ සිට මේ රට පාලනය කළ සියලු දෙනාම මීට වගකිව යුතුව ඇත. එසේ වගකිව යුතු විත්තිකරුවන් මේ ආකාරයෙන් වහසි බස් දොඩමින් වේදනාවෙන් සිටින ජනතාව තව තවත් වේදනාවට පත් කිරීම යහපත් දෙයක් නොවේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා යනු සාමාන්‍ය ගමේ ගොඩේ අයකු නොවේ. ඔහු වගකීම් සහගත ලෙස කටයුතු කළ යුතු අයකු වුවත් ඔහු හැසිරෙන්නේ ගමේ ගොඩේ ඕපාදූප තැන් තැන්වල ප්‍රකාශ කරන අයකු මෙනි. මේ නිසා ඔහු හැමවිටම වගකීම් විරහිත ප්‍රකාශ සිදු කරන්නට ගොස් වැඩ වරදාගත් අවස්ථා අනන්ත අප්‍රමාණය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය එළඹෙන සතිය වන විට නීතිපතිවරයා හරහා අධිකරණයට ඉදිරිපත් වනු ඇත. එසේ අධිකරණයට ඉදිරිපත් වීමත් සමඟ මෙම සාක්ෂි‍යේ තව තවත් කතා හෙළි විය හැක. කෙසේ වෙතත් හොඳම සාක්ෂිය වනුයේ මෛත්‍රීපාල සිරිසේන ලබාදුන් සාක්ෂියයි. ඒ අනුව මෙකී සාක්ෂියේ වලංගුතාවය අනාගතයේ විසඳෙනු ඇත. එතෙක් තව තවත් රහස් ඇත්නම් ඒවා හෙළි කරන ලෙසට මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිමු.

I ගයාන් ගාල්ලගේ

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 07:18
 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 02:02