2024 මාර්තු 30 වන සෙනසුරාදා

බ්‍රිතාන්‍ය රජ පවුලේ අසනීප අලකලංචිය!

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 245

බ්‍රිතාන්‍ය රජ පවුල මෑත කාලයේ මාධ්‍යවල දැඩි කතාබහට ලක්විය. ඒ කතාබහට ආරම්භය සැපයුවේ යොර්ක් හි ආදිපාදවරිය සාරා ෆර්ගියුසන් ආර්යාව මෙන්ම බ්‍රිතාන්‍යයේ III වැනි චාල්ස් රජු ද වේල්ස් හි කුමරිය වන කැතරින් ද, ළඟ ළඟම වාගේ රෝහල්ගත වීමය. බ්‍රිතාන්‍යයේ III වැනි චාල්ස් රජු සිය පුරස්ථ ග්‍රන්ථිය විශාල වීම සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වූ අතර සාරා ෆර්ගියුසන් හට සමේ පිළිකාවක් වැළඳී ඇති බව වාර්තා විය. චාල්ස්ගේ රෝගී තත්ත්වය ගැන පසුව ලොවම දැනගත්තද වේල්ස් කුමරියගේ රෝගී තත්ත්වය ගැන තොරතුරු එළියට නොපැමිණීමත්, ඒ සමඟම ඇය ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමත් හේතුවෙන් විවිධ කටකතා ප්‍රධාන මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද තදින්ම පැතිර ගියේය. කුමරියට අසාධ්‍ය බවත් ඇය රජ පවුලෙන් වෙන්ව යන බවත් දික්කසාදයකට සූදානම් වන බවටත් විවිධ මත පළවන්නට විය. කුමරියගේ රෝගී තත්ත්වයට හේතුව පිළිකාවක් බව ප්‍රකාශයට පත්වීමත් සමඟ දැන් මේ කතාබහ සමනයකට පත්ව තිබේ.

වේල්ස් කුමරිය වන කැතරින්, සාර්ථක උදරාශ්‍රිත ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පසු සති දෙකක කාලයක් රෝහලේ සුවය ලබමින් පසුවන බවට කෙන්සිංටන් මාලිගය කලින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. සැත්කම සාර්ථක වූ අතර බොහෝ දෙනකු “කේට්” ලෙස ද හඳුන්වන කැතරින් දින 10 සිට 14 දක්වා රෝහල්ගතව සිටි බවද වාර්තා විය. ඇය ශල්‍යකර්මයකට මුහුණ පෑ බව පැහැදිලි වූ නමුත්, රාජකීය පවුලේ තතු දන්නා මූලාශ්‍රයකට අනුව 42 හැවිරිදි ඇගේ රෝගී තත්ත්වය පිළිකාවක් නොවන බව මුලින් තහවුරු කර තිබුණි. වේල්ස් කුමරිය වින්ඩ්සර් හි නිවෙසේදී මාස දෙක තුනක් නැවතී සුවය ලබාගැනීමට අපේක්ෂා කරන බව ඒ රාජකීය මූලාශ්‍රයම පවසා තිබුණි. මේ අතර කැලේජා නම් ස්පාඤ්ඤ මාධ්‍යවේදිනියක කියා සිටියේ ඇය රාජකීය පවුල තුළ මූලාශ්‍රයක් සමඟ කතා කළ අතර ශල්‍යකර්මයෙන් පසු කැතරින් බරපතළ සංකූලතාවලට මුහුණ දුන් බවත්, ඇගේ ජීවිතය බේරා ගැනීමට “දැඩි” ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇති බවත් සිය මූලාශ්‍රය තමන්ට පැවසූ බවය. මේ සමඟ එංගලන්ත රාජකීයයන්ට ලබා ඇති අසුබ දසාව ගැන විවිධ සැක සංකා මතුවන්නට විය. ඒ සමඟ කේට්ගේ අසනීපය ගැන විවිධ කටකතා එළියට පැමිණ තිබුණි. මේ අතර චාල්ස් රජු සිය අසනීපය පිළිබඳ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර සාරා ආර්යාව ද සිය අසනීපය සහ ප්‍රතිකාර ගැන මාධ්‍ය අමතා කියා තිබුණි.

අන්තිමේදී කාලයක් මාධ්‍ය අතරින් ද ප්‍රසිද්ධ ගමන් බිමන්වලින් ද වෙන්ව සිටි ඒ නිසාම විවිධ කටකතාවලට ද හේතු සැපයූ හතළිස් දෙහැවිරිදි කේට් කුමරිය තමා පිළිකාවකින් පෙළෙන බවත් මේ වන විට රසායන ප්‍රතිකාර ලබන බවටත් ඉකුත් 22 දා විඩියෝවකින් එළිදක්වා තිබුණේ මේ සැක සංකා වෙනුවට කා තුළත් ශෝකයක් මතු කරවමිනි. 

“මේ මොහොතේ පිළිකාවට ගොදුරු වී සිටින සැම වෙත සිය අවධානය යොමුව ඇති බවත් මේ රෝගයෙන් මොන මට්ටමකින් හෝ මෙම අවදානමට ලක්ව සිටින අය වෙතින් තමා බලාපොරොත්තු සුන්කර නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ඔවුන් තනි වී නොමැති බවත් ඇය මෙම වීඩියෝවේම සඳහන් කර තිබුණි.

මෙතෙක් කලක් රජ පවුලෙන් ඈත්ව සිටි හැරී කුමරු සහ මෙගන් මර්කල් ද මේ ආරංචියත් සමඟ නැවතත් රජ පවුලේ අසීරු අවස්ථාවේදී ඔවුන් හා සමීපව සිටීම සඳහා පැමිණ උන්හ. ‘අපි කේට්ට සහ පවුලේ සැමට සුවය ප්‍රාර්ථනා කරමු! යැයි ඔවුන් ප්‍රකාශ කර තිබුණි. චාල්ස් රජු කේට් සිය පිළිකා ආරංචිය ප්‍රකාශයට පත් කිරීමට පෙර දින වින්ඩ්සර් වෙත ගොස් සිය ලේලිය සමඟ දිවා ආහාරය ගනිමින් දෙදෙනාටම පොදු වූ මේ හදිසි ඉරණම් උදාව ගැන කතාබහ කර තිබුණි.

එංගලන්ත රාජකීයයන්ට උදා වී ඇති මේ අසුබ ඉරණම හා සමඟ සියවසේ අනාගත වක්තෘවරයා ලෙස සැලකෙන නොස්ත්‍රදාමුස් විසින් ශතවර්ෂ ගණනාවකට පෙර ලියන ලද අනාවැකියක් ගැන ද කතාබහ පැතිර ගියේය. ඉන් පළවූයේ දූපත් අධිරාජ්‍යයේ, රජකුගේ බලය අත්හැරීම සහ අනපේක්ෂිත අනුප්‍රාප්තිකයකුගේ නැගීම ගැනය. මෙම අනාවැකි III චාල්ස් රජු සහ ඔහුගේ පුත් හැරී කුමරු වටා ගෙතී ඇති බවට තතු පළව තිබුණේ ප්‍රධාන රාජකීයයන්ගේ හදිසි අසනීප අනාවරණයත් සමඟිනි.

මේ අතර කැතරින් කුමරිය ගැන තොරතුරු වසන්ව තිබූ කාලසීමාව තුළ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අසත්‍ය වාර්තා වැපිරෑ බවට දැන් රුසියානු ඔන්ලයින් ක්‍රියාකාරීන් කණ්ඩායමක් වෙත ද චෝදනා එල්ල වී තිබේ. මෙබඳු අසත්‍ය තතු වැපිරෑ රුසියානු අන්තර්ජාල ක්‍රියාකාරීන් සතු ගිණුම් 48ක් ගැන ද වාර්තා වී තිබුණි.

I සුගත්