2024 මාර්තු 30 වන සෙනසුරාදා

ව්‍යාපාරික පිරිසක් මාර වාසියක් ගනිද්දී පාරිභෝගියකයා හාන්සියි

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

මේ වන විට වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යවල මිල පවතින්නේ ජනතාවට දරාගත නොහැකි මට්ටමකය. ඒ නිසා පාරිභෝජනය අඩු වී ඔවුන්ගේ එදිනෙදා ආහාරවේල් පවා සීමා කිරීමට සිදුවෙයි. පෝෂ්‍යදායක ආහාර නොමැති වීම නිසා රටේ දරුවන්ගෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව මේ වන විට අනාවරණය වෙමින් පවතී. මේ නිසා රටේ ඊළඟ පරම්පරාව රෝගීන් බවට පත්වීමේ අවදානමක් මතුව තිබෙන බව පෙනෙයි.

වගකිවයුත්තන් භාණ්ඩ හා සේවා මිල පහත හෙලන්නට විවිධ ක්‍රියාමාර්ග ගත්ත ද මේ වන විට ඒ සියල්ල අසාර්ථක වී තිබෙන බව පෙනේ. බදු අඩු කිරීම, ආනයනය කිරීම, නිෂ්පාදන සාධකවල මිල පහළ හෙලීම, වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් වටලා නීතියේ රුහැනට හසු කිරීම, මිල පාලනය කිරීම ආදී විවිධ ක්‍රියාමාර්ග ගත්තද එහි ප්‍රතිඵලයක් නැති බව කිව යුතුය. පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ගොඩනගා ඇති පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව ආදී ආයතනවලින් නිසි කාර්යභාරයක් සිදුවේද යන්න ගැටලු සහගතය.

ආණ්ඩුව පාරිභෝගිකයාට සහන සැලසීම සඳහා ගන්නා පියවරවලින් ලැබිය යුතු වාසිය පාරිභෝගිකයාට කාන්දු නොවී එය අතරමැදියන් සහ ඇතැම් ව්‍යාපාරිකයන් විසින් ගසාගන්නා තත්ත්වයට පත්ව තිබේ. පසුගිය දිනවල සීනිවලට පැවැති කිලෝවට රුපියල් 50 වූ බද්ද ශත 25 දක්වා පහළ බැස්සූ විට එහි ප්‍රතිලාභ ජනතාවට නොව ඇතැම් ආනයනකරුවන් ලබාගැනීම මෙයට හොඳ උදාහරණයකි. එසේම අමුද්‍රව්‍ය මිල අඩු වූ විට භාණ්ඩ මිල අඩුවිය යුතු නමුත් එය සිදුවන්නේ ඉතාම සුළු වශයෙනි. විවිධ හේතු කියමින් සියයට 400කින් පමණ භාණ්ඩ මිල වැඩි කළ ද ඒවා පහළ වැටෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයකිනි.

වැට් බද්ද සියයට 3කින් වැඩි කළ විට එය දඩමීමා කරගෙන ඇතැම් භාණ්ඩ සහ සේවාවල මිල සියයට 30ක් දක්වා වැඩි වී ඇත. වැඩි කළ වැට් බද්ද කිහිප වතාවක්ම එකම භාණ්ඩයකට අයකිරීම මෙයට හේතුවයි. පෞද්ගලික ආරෝග්‍ය ශාලා ගාස්තු, ඖෂධ මිල, වඩාත් ඉල්ලුම ඇති ආහාර ද්‍රව්‍ය, ප්‍රවාහන ගාස්තු, කුලී ගාස්තු ආදිය විශාල ලෙස වැඩිකර ඇති අතර ඒවායේ මිල අඩු කිරීමට ආණ්ඩුව පියවර ගන්නා විට එයින් පාරිභෝගිකයාට ඇතිවන සහනය කොල්ලකෑමේ තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබේ. බිත්තර, මස්, මාළු ආදී යම්තම් හෝ පෝෂණ ගුණයක් ලබාගත හැකි ද්‍රව්‍යවල මිල අඩු නොකර විවිධ හේතු දක්වමින් පාරිභෝගිකයා සූරා කන වෙළෙඳ මාෆියාවක් ඇතිව තිබේ. උදාහරණයක් වශයෙන් සහල්, බිත්තර, මස්, මාළු හා එළවළුවල මිල තීරණය කිරීමට නිෂ්පාදකයාට හා වෙළෙන්දාට අවස්ථාව ලැබී තිබේ. ඔවුන් හේතු ඉදිරිපත් කරන්නේ මිල අඩු කිරීමට නොව එසේ නොකිරීමටය. මේ නිසා අද වන විට පාරිභෝගිකයා අසරණ වී සිටී මිල අඩු කිරීමට යැයි ඇතැම් භාණ්ඩ ආනයනය කළ ද ඒවා අඩු මිලට පාරිභෝගිකයාට නොයෑම නිසා ආනයනය කිරීමෙන් ප්‍රතිඵල නොලැබී තිබේ. වෙළෙඳපොළ පාලනය කිරීමට රජය කටයුතු නොකරන බව පෙනී යයි.

වසරකට ආසන්න කාලයකට පසු අද වන විට ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 299.29 දක්වාද විකුණුම් මිල 308.90 දක්වා ද පහළ ගොස් තිබුණද එයට අනුරෑපව ආනයන භාණ්ඩවල මිල අඩුවන බවක් දක්නට ඇත. මේ වාසිය ලබාගන්නේ අදෘශ්‍යමාන බලවේගයක් මගිනි.

උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල තවත් ඉහළ යාමේ ප්‍රවණතාවක් තිබියදී ඇමැතිවරුන් තවමත් සිටින්නේ %සොයා බැලීමේ^ තත්ත්වයකය. පසුගිය දා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මෙසේ ප්‍රකාශ කර තිබුණි. එය කොතරම් ඇල් මැරුණු කියමනක්ද යන්න සිතා බැලිය යුතුය.

''ඉදිරි දිනවල වෙළෙඳපොළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට කරුණු සොයා බලමින් සිටිනවා. උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර මිල අඩු කරනවා. ඉදිරියේදී සහල් මිල අඩු කිරීමට ගොවියන් සහ සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡා කරනවා. ආහාර නිෂ්පාදකයන් බොහෝ කොටසක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීමට එකඟ වී තිබෙනවා. මේ නිසා ඉදිරියේදී බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දැමීමට හැකිවේවි. බොහෝ වෙළෙඳුන් අතර පවතින වෙළෙඳපොළ මාෆියාව නිසා හිතූ ගණන්වලට ඔවුන් ආහාර අලෙවි කරන අතර එය මැඩලීමට කටයුතු කරනවා.'' මේ සියල්ල අනාගත වාක්‍ය පමණක් බව පෙනේ.

බිත්තර මිල වැඩිවීමේ ගැටලුව පිළිබඳ අදහස් දක්වන බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පවසන්නේ ග්‍රෑම් 35 ට බර අඩු බිත්තර රුපියල් 40 බැගින් කෝටි 4ක් වුවද ලබා දිය හැකි බවයි.

''අපි ලොකු බිත්තර මිල අඩු කළේ වෙන හේතුවක් නිසා නොවෙයි. මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් බිත්තර නිෂ්පාදනය වැඩි වී තිබෙන නිසයි. බිත්තර නිෂ්පාදනයට යන වියදම සාපේක්ෂයි. 'බැට්‍රිකේප්' ක්‍රමයට මහා පරිමාණ ලෙස නිෂ්පාදනය කරන විට සේවක වැටුප් වියදම අවම ලෙසයි යන්නේ. මේ දිනවල බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 30 – 32 අතරයි. සාමාන්‍ය ගොවිපළක වියදම රුපියල් 30 – 35 වන අතර මධ්‍ය පරිමාණ ගොවිපළක වැය රුපියල් 35 ඉක්මවා යනවා. කුඩා පරිමාණ ගොවිපළවල වියදම 37 – 38 පමණ වන අතර විටෙක රුපියල් 40 ක්ද වෙනවා. ලබන බදාදා වන විට රුපියල් 50 ට අඩුවෙන් දෙන්න පුළුවන් වේවි. රුපියල් 4 ක ප්‍රවාහන ගාස්තුවක්ද එකතු වන අතර බිත්තර බිඳෙන පාඩුවද එකතු විය යුතුයි. පවතින රස්නය නිසා සතුන් විශාල ලෙස මේ දිනවල මිය යමින් පවතිනවා.''

බදාදා වන විට බිත්තරය රුපියල් 50 ට අඩුවෙන් දෙන්න පුළුවන් යැයි සභාපතිවරයා පැවසුවද මෙම ලිපිය ලියන බ්‍රහස්පතින්දා (21) වන විට රුපියල් 50 ට අඩුවෙන් අලෙවි කරන දේශීය බිත්තරයක් සොයාගත නොහැකි විය. එසේම කිලෝවක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150ක් පමණ අඩු කරන බව වෙළෙඳ ඇමැති පැවසුවද තවම එවැන්නක් සිදුව නැත.

මේ අතර වී මිලදී ගැනීමට රජය මැදිහත් වීම අවම මට්ටමකට පත්ව තිබුණේ වී අලෙවි මණ්ඩලයට වී මිලට ගැනීමට භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් නොකිරීම හේතුවෙනි. මේ නිසා ලැබෙන අස්වනු අඩු මිලට වී මෝල් හිමියන්ට ලබා දීමට ගොවියන්ට සිදුව තිබිණ. පෞද්ගලික වී මෝල් අබියස විශාල දිගු පෝලිම්ද දැකගත හැකි විය.

පාරිභෝගික සේවා අධිකාරිය වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් වැටලීම සඳහා මේ වන විට වෙනම අංශයක් විවෘත කර එහි අධ්‍යක්ෂ ලෙස හිටපු උසස් පොලිස් නිලධාරියකු වන සංජය ඉරසිංහ පත්කර ඇත. ඔහුගෙන් දැනට කරගෙන යන වැඩපිළිවෙළ ගැන විමසූ විට පැවසුවේ දැනට නඩු 600ක් පමණ පවරා ඇති නමුත් මිල පහළ හෙලීම නීති මගින් කිරීම අපහසු අතර වෙළෙඳුන් සමඟ සාකච්ඡා කර කළ යුතු බවයි. දැනටමත් ආනයනකරුවන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර ඉදිරියේදීද කතා කර එකඟතාවක් ඇතිකර ගන්නා බව කීය. කෙසේ නමුත් ඔහු පවසන්නේ පාරිභෝගික භාණ්ඩ බොහොමයකට පාලන මිලක් පනවා නොමැති නිසා වැඩි මිලට විකිණීම් වැටලීමට හැකියාවක් නොමැති බවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල රටේ පවතින තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ ආණ්ඩුව තමන්ට හිතෛෂී ව්‍යාපාරික කණ්ඩායමකට අසාධාරණ ලාභයක් උපයා ගැනීමට ඉඩ දී බලා සිටින්නේ ඔවුන් ලබන ලාභයෙන් කොටසක් තමන්ගේ දේශපාලන කටයුතු සඳහා ලබාගැනීමේ පරමාර්ථයෙන් විය හැකි යැයි සැක සිතෙන බවය. පොදු ජනතාවට සහනයක් සැලසීමට නම් ඇතැම් ගජ මිතුරු ව්‍යාපාරික කණ්ඩායම් ලබන විශාල ලාභය ජනතාවට ලබා දිය යුතු වුවත් අද වන විට එවැනි තත්ත්වයක් දක්නට නැතැයි ඔහු කියයි.

''2022 වසරේ මාර්තු ආරම්භයේ සිට 2023 පෙබරවාරි දක්වා ශ්‍රී ලංකා රුපියලේ අගය දැඩි ලෙස අවප්‍රමාණ වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය 46% ඉක්මවා ඉහළ ගියා. මේ නිසා භාණ්ඩ හා සේවා රුසක මිල ගණන් අසීමිත ලෙස වැඩි වුණා. මෙයට අතිරේක වශයෙන් වැඩි වූ ඉන්ධන මිල, විදුලිය, ජලය, ප්‍රවාහන ගාස්තු, පොලී අනුපාතිකය ආදිය ද මෙම තත්ත්වයට බලපෑ බව කිව යුතුයි.

එහෙත් 2023 පෙබරවාරියේ සිට ක්‍රමයෙන් රටේ ආර්ථිකය යම් පමණකට යහපත් වන බවක් පෙන්නුම් කළා. 2023 මාර්තුවල සිට රුපියල 15% කින් පමණ ශක්තිමත් වුණා. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360 සිට 300 දක්වා බැස්සා. එහෙත් සිද්ධ වූ දේ තමා භාණ්ඩ ආනයනකරුවන් මෙම වාසිය ජනතාවට නොදී ඔවුන් තනියම අයත් කර ගැනීම. ඉහළ නැංවූ මිල ගණන් පහළ ගියේ කලාතුරකින්. එහෙම නැතිනම් විශාල මිලකින් වැඩි වූ භාණ්ඩවල මිල රුපියල පහළ බැසීමට සාපේක්ෂව ඉතාම සුළු ප්‍රමාණයකින් තමා පහළ දමලා තියෙන්නේ. ඔවුන් විවිධ කරුණු දක්වමින් මිල මට්ටම එසේම තබා ගත්තා. සහල්, සීනි, තිරිඟු පිටි, සැමන්, හාල් මැස්සන්, කිරිපිටි, මස්, මාළු, බිත්තර, පරිප්පු, අර්තාපල් ආදී අත්‍යවශ්‍ය ආහාරවල මිල සිතූ තරම් අඩු වූයේ නැහැ. එසේම බදු අඩු කළ විටත් ඒ වාසිය ජනතාවට දුන්නේ නැහැ. රජය ගැසට් මගින් භාණ්ඩ මිල පාලනය කිරීමට ගත් උත්සාහය ද ව්‍යවර්ථ වුණා. 

ව්‍යාපාරිකයන් නිතරම උත්සාහ කළේ ස්වකීය ලාභය උපරිම කිරීමටයි. එහෙත් ඔවුන් සමාජයට වගකීම් සහිත ව්‍යාපාරිකයන් විය යුතුයි. ව්‍යාපාරිකයන්ද සමාජයේ කොටසක් නිසා ඔවුන්ට ආර්ථිකය ගැන විශාල වගකීමක් තියෙනවා. එහෙත් ලංකාවේ ව්‍යාපාරිකයන් වැඩි කොටස අවස්ථාවාදී ව්‍යාපාරිකයන්. වෙළෙඳපොළ තරගකාරීත්වය මත මිල තීරණය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් එකතු වී මිල තීරණය කිරීම නිසා රට තුළ %කතිපයාධිකාරී^ තත්ත්වයක් නිර්මාණය වුණා. මුළු රටේම මිල තීරණය කරන්නේ එක්තරා කණ්ඩායමක් මගින්. ආනයනයේදී මෙම තත්ත්වය විශේෂයෙන් දක්නට ලැබෙනවා. සමස්ත වෙළෙඳපොළම අතළොස්සක් ඇති කරගෙන. මිල තීරණය කරන්නේ ඒ අයයි.
පාරිභෝගිකයන්ට මිලට ගත හැකි අන්දමේ වෙළෙඳපොළක් නිර්මාණය කළ යුතු වෙනවා. එහෙත් එවැන්නක් දකින්න නැහැ. ආණ්ඩුව මුළු වෙළෙඳපොළම ව්‍යාපාරිකයන් පැලැන්තියකට බාර දීලා. එසේම රජයේ ඇමැතිවරුන් අතර මහා සම්බන්ධීකරණයක් නැහැ. විශේෂයෙන්ම කෘෂිකර්ම හා වෙළෙඳ වැනි අමාත්‍යංශවල ඇමැතිවරුන් අතර මත ගැටුම් ඇතිවෙලා. දෙගොල්ල දෙපැත්තට අදිනවා. පාරිභෝගිකයාට හිමිවිය යුතු සහන අතරමග නැවතිලා.

රට තුළ නිෂ්පාදනය කළ හැකි බොහෝ දේවල් පිටරටින් ගෙන්වනවා. ගම් මට්ටමින් භාණ්ඩ නිෂ්පාදන වැඩපිළිවෙළවල් පටන්ගත හැකියි. අපේ රට හැමදේම හැදෙන රටක්. ඒ නිසා බාධා ඉවත් කරලා ජනතාවට අවශ්‍ය දේවල් රට තුළ නිෂ්පාදනය කළ යුතුයි. එහෙත් අද කරන්නේ යම් භාණ්ඩයක මිල ඉහළ ගිය ගමන් එයට හේතු සොයා නොගෙන ආනයනය කිරීමටයි. මේ ආනයනය නිසා දේශීය නිෂ්පාදකයන්ට විශාල හානියක් වෙනවා. අපට පෙනෙන්නේ ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට අසීමිත අවස්ථාවක් දී ඇති බවයි. ඔවුන් ලබාගන්නා අතිරේක ලාභයෙන් කොටසක් දේශපාලන කටයුතුවලට ආණ්ඩුවට දෙන බවට මේ වන විට ජනතාව අතර සැකයක් මතුවෙලා තියෙනවා.''

I යසවර්ධන රුද්රිගූ