2024 මාර්තු 30 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරයේ වින්දිතයෝ සාන්තුවරයට!

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 82

2019 අප්‍රේල් 21, පාස්කු ඉරු දින මෙරට ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර සහරාන් ප්‍රමුඛ ඉස්ලාමීය  මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් ප්‍රහාර මාලාවක් සිදු කළහ. එම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 273 දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර 500කට අධික පිරිසක් තුවාල ලැබූහ. මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වූ බවට චෝදනා එල්ල විය. පැවැති ආණ්ඩුව මෙන්ම වර්තමාන ආණ්ඩුවෙන්ද අගතියට පත් පිරිසට සාධාරණයක් මෙතෙක් ඉටු නොවුණු අතර එම ප්‍රහාරයට වගකිවයුත්තන් තවමත් නිදැල්ලේ සිටින බවට මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ විවිධ අවස්ථාවන්හිදී ප්‍රකාශ කළහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා කවුරුන්ද යන්න තමන් දන්නා බව පසුගියදා ප්‍රකාශ කිරීමත් සමඟ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේවනවිට රට තුළ කැළඹීමක් නිර්මාණය වී තිබේ.

2024 අප්‍රේල් 21 දිනට පාස්කු ප්‍රහාරය සිදු වී වසර පහක් සම්පූර්ණ වෙයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සාන්තුවරභාවයට පත් කිරීම සඳහා කතෝලික සභාව කටයුතු කරමින් සිටින බවත්, එම බැතිමතුන් 273 දෙනාගේ නම් ශුද්ධාසනයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවටත් කාදිනල් හිමිපාණෝ පසුගියදා ප්‍රකාශ කළහ.

“2019 අප්‍රේල් 21 වැනිදා පල්ලිවල මැරුණු අය තමන් විශ්වාස කරපු දේ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළා. එදා පල්ලියට ආවේ ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරපු නිසා. අනිත් සාන්තුවරයන් වගේ ක්‍රිස්තුස් වහන්සේට ආදරය කරපු නිසා ඔවුන් ජීවිතය පූජා කළා. පුද්ගලයකු සාන්තුවරයකු ලෙස නම් කළ හැක්කේ ඔහුගේ ජීවිත පූජාවෙන් වසර පහක් සම්පූර්ණ වූ පසුවයි. ඒ නිසා අපි මේ වසරේ අප්‍රේල් 21 වැනිදා පාස්කු ඉරිදා වින්දිතයන් සාන්තුවරයන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරනවා. ක්‍රිස්තියානි ධර්මය යනු පල්ලිවල ආගමික වතාවත්වල නිරත වීම පමණක් නොවේ. අපි යුක්තිය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. අන්‍යයන්ගේ යුක්තිය වෙනුවෙන් කතා කළ යුතුයි. පල්ලිය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ෆ්‍රුන්සිස් පාප් වහන්සේ අපට උගන්වා තිබෙනවා.” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙම ප්‍රාණ පරිත්‍යාගී පිරිස ශුද්ධවරයට එසවීමේ ක්‍රියාමාර්ගය කෙබඳු දැයි දේශය විමසා බැලුවේ ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ගරු පියතුමන්ගෙනි. ඒ සම්බන්ධයෙන් පියතුමා මෙලෙස සඳහන් කළේය. 

''මින් ඉහත ශ්‍රී ලංකාවෙන් ශුද්ධවරයට පත් කර ඇත්තේ ජුසේ වාස් පියතුමන් පමණයි. අති උතුම් තෝමස් කාදිනල් කුරේ හිමිපාණන්ගේ නමත් මේ වන විට වතිකානයට ඉදිරිපත් කර තිබෙනවා. කිසියම් තැනැත්තෙක් ශුද්ධවරයට ඔසවා තැබීමේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ ක්‍රියාවලියක් තිබෙනවා. මුලින්ම ඒ සම්බන්ධයෙන් වතිකානයෙන් ඉල්ලා සිටිය යුතුයි. එය එකවර ලැබෙන්නක් නොවෙයි. එම කාර්යය සිදුවන්නේ. ක්‍රමානුකූලව පියවරින් පියවරයි. ප්‍රථමයෙන් ඔහු හෝ ඇය නම් කරන්නේ ''දේව සේවක'' නමින්. ඉන්පසු ''වන්දනීය'' ලෙසින් නම් කරනවා. ඉන්පසු ''භාග්‍යවන්ත'' භාවයට පත්කෙරෙන අතර ඉන් පසුවයි ''ශුද්ධවන්ත'' භාවයට පත් කෙරෙන්නේ.

මේ සඳහා ඇතැම්විට වසර විස්සක් විසි පහක් වැනි කාලයක් ගත විය හැකියි. කිසියම් තැනැත්තෙක් ශුද්ධවරයට පත් කිරීමට එම තැනැත්තාගේ මරණින් පසු යම් යම් ප්‍රාතිහාර්ය සිදු කිරීම්, ඔවුන්ගෙන් යම් වරප්‍රසාද ඉල්ලා යදින පිරිසගේ බලාපොරොත්තු ඉටුවීම් වැනි කරුණු සැලකිල්ලට ගැනෙනවා. පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය ඇතැම් අය වෙතින් එවැනි දේ සිදු වූ බවට මත පවතිනවා. ප්‍රාණ පරිත්‍යාගිවරයෙක් ශුද්ධවරයට එසවීමට වෛද්‍ය සාක්ෂි ද තිබිය යුතුයි. අපි හිතමු කිසියම් පුද්ගලයෙක් පිළිකා රෝගයෙන් පෙළෙන අතර ඔහු සුවපත් කළ නොහැකි යැයි වෛද්‍යවරුන් ලිඛිතව දැනුම් දී තිබෙන මොහොතක එම පුද්ගලයා කිසියම් ප්‍රාණ පරිත්‍යාගිවරයකුට හෝ දේව සේවක ලෙස නම් කර ඇති තැනැත්තකුට නොකඩවා යාච්ඥා කිරීමෙන් පසු කිසියම් සුවයක් ලැබුණොත්, වෛද්‍යවරුන් ඒ පිළිබඳව සහතික කළහොත් එය වෛද්‍ය සාක්ෂියක් ලෙස පිළිගත හැකියි. එම ප්‍රාණ පරිත්‍යාගිවරයා ප්‍රාතිහාර්යයක් සිදු කර ඇති බවට වන තොරතුරු කතෝලික සභාව වතිකානයට ඉදිරිපත් කරනවා. එමෙන්ම ඔහුගෙන් ලැබෙන වරප්‍රසාද ගැනත් සොයා බලනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් (විශ්වාසයේ විරුවන්) ලෙස ප්‍රකාශයට පත් කිරීමට කතෝලික සභාව මේ වන විට වතිකානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් වතිකානයෙන් අපට දැනුම් දේවි. මේ පිරිසට ජීවිත අහිමි වූයේ ඔවුන් එදින දිව්‍ය පූජාවට සහභාගී වූ නිසයි. මේ පිරිස අවිහිංසක පිරිසක්. ඔවුනට ජීවිතය අහිමි කෙරුණේ ඔවුන්ගේ වරදකින් නොවෙයි. මෙම සිදුවීම පාදක කරගෙන මේ රටේ පවතින ජරාජීර්ණ ආර්ථික, සමාජීය ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කරන්නටත් යම් ආකාරයක පරිවර්තනයක් කරන්නටත් හැකි වුණා. මේ අයට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම තුළ අපේ කිතුනු කැඳවීම සම්බන්ධයෙන් විමසා බලන්නට මෙන්ම කිතුනු වගකීම් නිසි පරිදි ඉටු කරන්නට මගපෙන්වීමේ ඉඟියක් ද වුණා. මේ ජීවිත පරිත්‍යාග කළ පිරිස සමාජයට යමක් කරන්නට දෙවියන් වහන්සේ විසින් තෝරාගත් පිරිසක්. ඒ නිසා ඔවුන් තම විශ්වාසයේ විරුවන් (Heroes Of Faith) පිරිසක්. අනාගතයේ යම් දිනෙක මේ පිරිස ශුද්ධවරයට ඔසවන්නට හැකි වේවි. නමුත් අපේ පළමු පියවර වන්නේ ඔවුන් විශ්වාසයේ විරුවන් ලෙස නම් කිරීමයි. චීනය, ජපානය සහ යුරෝපයේ ඇතැම් රටවල මෙලෙස සමූහ වශයෙන් දිවි පිදූ පුද්ගලයන් පසුකාලීනව ශුද්ධවන්තයන් බවට පත් කර තිබෙනවා.

මේ පිරිස විශ්වාසයේ විරුවන් ලෙස නම් කරන ලෙසට මේ වන විට වතිකානයට දන්වා තිබෙනවා. ඒ සම්බන්ධ ඉදිරි කටයුතු සඳහා කාදිනල් හිමිපාණන් නුදුරු දිනයක වතිකානයට යෑමට නියමිතයි.'' යනුවෙන් සඳහන් කළේය.

ක්‍රි.ව. 1545 දී පමණ එවක යාපනයේ රාජ්‍ය කළ පළමුවැනි සංකිලි රජු පෘතුගීසීන් විසින් ඉන්දියාවේ සිට මන්නාරමට ගෙන එන ලද මන්නාරම දූපතේ කතෝලිකයන් 600 - 700 ක් පමණ සමූල ඝාතනය කළේය. ඔවුනට දිවි අහිමි කෙරුණේ කතෝලික දහම ඇදහූවන් වූ බැවිනි. මේ පිරිස හඳුන්වනු ලබන්නේ මන්නාරමේ ප්‍රාණ පරිත්‍යාගීවරුන් ලෙසිනි. මේ පිරිස ශුද්ධවරයන් ලෙස නම් කිරීම සඳහා අතීතයේ ඉල්ලීමක් සිදු වී නොමැත. ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් කෙරුණි නම් ඔවුන් ද ශුද්ධවරයන් ලෙස නම් කරන්නට ඉඩ තිබූ බවයි. 

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:05