2024 මාර්තු 30 වන සෙනසුරාදා

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දවසක තියන්න පුළුවන්ද?

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 60

පාන් කියාගන්න බැරි රටේ ජනතාවත්, පාත්ති හොයා හොයා ගිහින් කැරට් අල ගලවන දේශපාලකයනුත් දැන් සිටින්නේ ඡන්ද උණුසුමකය. ඒ පාර්ලිමේන්තු මැතිවරණයක්ද? නැතිනම් ජනාධිපතිවරණයක්ද? යන්න තවම නිශ්චිත නැත. කෙසේ වෙතත් නොවැම්බර් මාසයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. මේ අතරේ පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූ වෙනස්ම කතාවක් අපගේ ''දේශය'' පුවත්පත පසුගියදා අනාවරණය කළේය. එනම් මැතිවරණ සඳහා දැවැන්ත වියදමක් යන හෙයින් ඡන්ද වියදම අඩුකර ගැනීම සඳහා මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය යන දෙකම එකම දිනයක පැවැත්විය යුතු බවයි. 

එම පුවතට අනුව මෙම ඡන්ද දෙක වෙන වෙනම පවත්වන්නේ නම් රුපියල් බිලියන 2000ක පමණ වියදමක් දරන්නට සිදුවෙයි. එකවර ඡන්ද දෙකම පවත්වන්නේ නම් මෙම වියදම සෑහෙන තරම් අඩු කරගත හැකි බවද ඔහු කීය. එසේම ඡන්ද දෙකම එකම දිනක පවත්වන්නේ නම් වෙනම ඡන්ද පෙට්ටි සහ වෙනම නිලධාරී පිරිසක් පත් කිරීමෙන් මෙම කටයුත්ත ඉටු කරගත හැකි බව තමන්ගේ අදහස යැයි ද කතානායකවරයා පැවසුවේය. මෙකී යෝජනාව පසුගිය කාලයේත් වරින් වර කිහිප දෙනෙක් ඉදිරිපත් කළහ. හිටපු අමාත්‍යවරයකු වූ දයා ගමගේ 2018 දී පැවසුවේ සාධාරණ මැතිවරණ සංස්කෘතියක් සහ විධිමත් පාලනයක් පවත්වාගෙන යෑමට නම් පළාත් සභා මැතිවරණ සියල්ල පමණක් නොව පළාත් පාලන, පාර්ලිමේන්තු මැතිවරණ ද ජනාධිපතිවරණය ද එක දිනයක පැවැත්විය යුතු බවයි. එසේම හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාත් මෙයට වසර ගණනාවක පටන් පුන පුනා පැවසුවේ ඇමෙරිකාවේ සෙනෙට් මැතිවරණ කොංග්‍රස් මැතිවරණ එකම දවසේ පවත්වන බවත් ඉන්දියාව පවා එක දවසේ එක ඡන්දයකට වඩා පවත්වන බවත් අපේ රටේ එක දවසේ ඡන්ද එකකට වඩා පැවැත්වීමට නොහැකි වන්නේ කෙසේද? කියාය. එක දවසේ ඡන්දය දැමීමට මෙරට ජනතාවට හැකියාව ඇති බවත් පවසන හර්ෂ ද සිල්වා මහතා කීවේ එය එසේ නොහැකි යැයි පැවසීම මෙරට ජනතාවට කරන අපහාසයක් බවයි. 

පාර්ලිමේන්තු මැතිවරණය සහ ජනාධිපතිවරණය යන දෙකම එක දවසේ තැබීමේ කතානායකවරයාගේ යෝජනාව සම්බන්ධයෙන් අප විමසුවේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වූ මහින්ද දේශප්‍රිය මහතාගෙනි. මේ සම්බන්ධයෙන් ඔහු පැවසුවේ මෙය ප්‍රායෝගික නොවන ක්‍රියාවක් බවයි.

මෙරට මැතිවරණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සමුදායකින් සපිරි ඔහු  සඳහන් කළේ මෙසේය. 

“ජනාධිපතිවරණයකදී තරග කරන අපේක්ෂකයන්ට සහාය දෙන පක්ෂ මහ මැතිවරණයකදී වෙන වෙනම තරග කළොත් මෙය ප්‍රශ්නකාරී වෙනවා. උදාහරණයක් හැටියට 2019 දී ගෝඨාභය රාජපක්ෂට සහාය දක්වපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි පොහොට්ටුවට ඡන්දෙ දුන්නෙ ජනාධිපතිවරණයේදී. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අංගජන් රාමනාදන්ලා අත ලකුණෙනුත්, ඩග්ලස් දේවානන්දලා වීණාව ලකුණෙනුත් ඡන්දෙ ඉල්ලුවෙ. ඔය මැතිවරණ දෙකම එක දවසෙ තිබුණා නම් එයාලා කැන්වසින් කරන්නේ කොහොමද? ඒ වගේම තමයි සජිත් ප්‍රේමදාසගේ හංසයාට සහාය දක්වපු කණ්ඩායමේ සුමන්තිරන් මහතා ප්‍රමුඛ පිරිස ගෙය ලකුණෙන් ඡන්දෙ ඉල්ලුවා. විජයකලා මහේෂ්වරන් ප්‍රමුඛ කණ්ඩායම අලියා ලකුණෙන් ඡන්දෙ ඉල්ලුවා. පාර්ලිමේන්තු මැතිවරණයයි ජනාධිපතිවරණයයි කියන්නේ දෙකක්. ජනාධිපතිවරණය ලංකාවටම එකයි. පාර්ලිමේන්තු මැතිවරණය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස්. මේක ප්‍රායෝගික නැති වැඩක්. හැබැයි මේ මැතිවරණ දෙක දවස් දෙකක හෝ සතියක් හැර තියන්න පුළුවන්. එකම දවසෙ එකම ආසනේ ඡන්ද දෙකක් කවදාවත් තියල නෑ.” 

ප්‍රජාතන්ත්‍රවාදයේ සැණකෙළිය ලෙසින් හඳුන්වන පෙබරවාරි 14 වැනිදා ඉන්දුනීසියාව ලොව තුන්වැනි විශාලතම තනි දින මැතිවරණය පවත්වයි.

ඔවුහු එහිදී ජනාධිපති, අගමැති පමණක් නොව පාර්ලිමේන්තු සහ ප්‍රාදේශීය නියෝජිතයන්ද පත්කර ගනිති. ඉන්දුනීසියාවේ මිලියන 270 ක ජනතාවගෙන් මිලියන 204කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී ඇති අතර ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය නොවන අතර මැතිවරණ දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සාමාන්‍යයෙන් ඉහළ මට්ටමක පවතී. ඉන්දුනීසියාව පුරා ජාතික දේශපාලන පක්ෂ 18ක් පවතින අතර පාර්ලිමේන්තු ආසන 575ක් ලබා ගැනීමට නියමිතය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාත්, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාත් සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයක උත්සාහ ගත්තද එම උත්සාහ ව්‍යර්ථ විය. කෙසේ වෙතත් ඡන්දය කෙසේ පැවැත්වුවද කතිරය ගහන්නේ ජනතාවය. එහෙයින් සර්ව සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ජනතා මනාපයට කරන උපරිම සාධාරණයකි. ඇඳුම් මාරු කරන වේගයෙන් පක්ෂ මාරු කරන දේශපාලකයන් සිටින රටකට එක දවසේ මැතිවරණ ක්‍රමය කෙතරම් ගැලපේදැයි දේශපාලනඥයන්ම වඩාත් සිතා බැලිය යුතුය.

I සසංක චලන ගිම්හාන